ලේක්හවුස් අනාගතය සුරක්ෂිත කරන අවබෝධතා ගිවිසුමක්

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සහ ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හුවමාරු කරගත් අවස්ථාව මෙහි දැක්වේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෝෂනී පීරිස්, නියෝජ්‍ය ලේකම් ඊ. එම්. එස්. බී. ජයසුන්දර, නීති නිලධාරිනී නීතිඥ යුරේකා වේලාරත්න, සැලසුම් අධ්‍යක්ෂ ඩබ්. පී . සෙව්වන්දි, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, අතිරේක සාමාන්‍යාධිකාරි විරාජිත් බොයිස් යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
 
රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය විධිමත් කිරීම සඳහා ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහයන්ගේ උපදෙස් පරිදි ස්වේච්ඡා විශ්‍රාම වන්දි ක්‍රමයක් යටතේ සේවක සංඛ්‍යාව පහත හෙළීමට අදාළ වන්දි කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනියට රුපියල් මිලියන 300 ක් ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට රුපියල් මිලියන 300 ක් ද, මහා භාරකරුවාගේ සෘජු පාලනයට අයත් නොවන එමෙන්ම මහා භාරකර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කොටස් හිමියා වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට විශේෂ ප්‍රදානයක් ලෙස රුපියල් මිලියන 300ක් ද 2023 අයවැය මඟින් ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ ලබාදීමට තීරණය වී තිබේ.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් කළ විශේෂ ඉල්ලීමකට අනුවය.

සෘජුවම ලේක්හවුස් ආයතනයට එම මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයට ප්‍රතිපාදන නොමැති නිසා ලේක්හවුස් ආයතනය ගැසට් කර තිබෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ඊට මුදල් ලබා දීමට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න අය වැය අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලක්ෂන් භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් දිලිත් සිල්වා යන නිලධාරීන් සහභාගී වූ රැස්වීමකදී තීරණය වී ඇත. එහිදී ජනමාධ්‍ය අමාත්‍යංශයත් ලේක්හවුස් ආයතනයත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ යුතු බවත්, එහි ප්‍රගතිය වරින් වර ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍යාංශයට ලබාදිය යුතු බවටත් එම අවබෝධතා ගිවිසුමේ කොන්දේසි නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න ජනමාධ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයට වාර්තා කළ යුතු බවත් එහිදී තවදුරටත් තීරණය වී තිබේ.

2022 අවසන් වන විට 1,200ක්ව තිබුණු ලේක්හවුස් සේවක සංඛ්‍යාව 972 දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙම වසර අවසන් වන විට එහි සංඛ්‍යාව 900 දක්වා අඩු කිරීමට නියමිතය. එමෙන්ම 2024 වසර අවසන් වන විට ලේක්හවුස් ආයතනයේ ස්ථීර හා කොන්ත්‍රාත් පදනම මත සිටින සමස්ත සේවක සංඛ්‍යාව 850 දක්වා අඩු කිරීමට එම අවබෝධතා ගිවිසුම මඟින් එකඟ වී ඇත.

මේ අතර නිසි කාර්ය සාධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමටත් පුහුණුව හා සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගන්නා අතරම, වාර්ෂික කාර්ය සාධන සමාලෝචනයේදී සේවකයාගේ වත්මන් කාර්ය සාධන මට්ටම ඇගැයීමටත් කටයුතු සිදු කරනු ඇත.

පසුගිය සැප්තැම්බර් මාසය සිට මේ දක්වා ලාබ ලබන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්ව ඇති ලේක්හවුස් ආයතනයට මින් ඉදිරියට ගිවිසුම් ගත සේවක සංඛ්‍යාව ඉක්මවා යන පරිදි බඳවා ගැනීම් සිදු කරන්නේ නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගත යුතු බව ද මෙම ගිවිසුමේ සඳහන් වේ.

එමෙන්ම සෑම අවස්ථාවකම ස්ථාවර මූල්‍ය තත්ත්වයක් පවත්වා ගෙන යෑමට හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතු බවත්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාංගමික සංස්ථා පත්‍රය යටතේ දක්වා ඇති සමාගම පිහිටුවීමේ අරමුණු 61 පිළිබඳ නැවත සමාලෝචනයක් සිදු කිරීමටත් සංශෝධන අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා නියමිත අනුමැතීන් ලබා ගෙන සුදුසු පරිදි යාවත්කාලීන කිරීමටත්, මෙම අවබෝධතා ගිවිසුම මඟින් එකඟතාව පළකර තිබේ.