UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වත් නොපිරූ කල සිල් කෙසේ පිරේද?

වත් නොපිරූ කල සිල් කෙසේ පිරේද?

වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට දෙආකාරයකින් උපදෙස් දෙනු ලැබේ. රෝගය හඳුනා ගන්නා හෙතෙම පළමුව රෝගියාට නොකළයුතු, අගුණ දේ කියාදෙයි. මේ මේ ආහාර පාන නොගත යුතු ය. මේ මේ ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. අධික වෙහෙසවීම්, අනිසි නින්ද ආදිය අගුණය. මෙබඳු උපදෙස් හැඳින්විය යුත්තේ විරති හෙවත් වාරිත්‍ර ලෙසය. වෙන්විය යුතු පැවතුම් ලෙසය.

එසේ නොකළ යුතු අගුණ දේ කිරීමෙන් රෝගය උත්සන්න වීමද ඖෂධාදියෙහි ගුණ නොලැබීමද වේ යැයි වෙදැදුරෝ පෙන්වා දෙති. ඒ එක් අතෙකිනි. අනෙක් අතින් ඔවුහු රෝගියාට කළයුතු දේ, ගුණ දේ කියාදෙති. මේ මේ ආහාර පාන ගත යුතු ය. මෙසේ ව්‍යායාමයද, නින්දද, ඇවතුම් පැවතුම්ද කළ යුතු ය. මේ මේ බෙහෙත් මේ මේ පිළිවෙළට ගැනීම අවශ්‍යයැයි වෙදැදුරෝ පෙන්වා දෙති.වෛද්‍යවරයාගේ මෙබඳු උපදේශ හැඳින්විය යුත්තේ චාරිත්‍ර හෙවත් පිළිපැදිය යුතු සමාදන්විය යුතු දේ ලෙසය. මෙපරිද්දෙන් අපථ්‍ය, අගුණ දෙයින් වළකින පථ්‍ය, ගුණ දේ භාවිත කරන රෝගියා සුවපත් වෙයි. එලෙස වාරිත්‍රද චාරිත්‍ර ද නොසලකා හරින රෝගියා රෝගය උත්සන්න වීමෙන් මරණයට හෝ මරණ සමාන දුකටද පත් වන්නේ ය.

බුදුරජාණන් වහන්සේද වෛද්‍යවරයෙකුට සමානය. (වෙජ්ජුපමො ජිනවරො) උන්වහන්සේද සසර දුක නම් වූ මහරෝගයට පිළියම් කළහ. එනම් ජාති නම් වූ ඉපදීම ය. ජරා නම් වූ දිරායාම ය. ව්‍යාධි නම් වූ ලෙඩවීම ය. මරණ නම් වූ මේ ස්කන්ධයන් මගේ බිඳීයාම ය, ආදී වශයෙන් දක්වා ඇති සැමට සාධාරණ වූ දේශ, කාල, ජාති වෙනසක් නැතිව සියල්ලන්ටම උරුම වූ මහා රෝගයට පිළියම් කළ උන්වහන්සේගේ මහා ලෙඩ සුවකර ගැනීමට දෙවිදියෙකින් උපදෙස් දෙති. එම උපදෙස් ඇතුළත් වන්නේ ධර්මයෙහිය. ධර්මය බෙහෙතකට උපමා කළ හැකිවෙයි. (සද්ධම්මො ඕසධූපමො) ධර්මය තුළ නොකළ යුතු, නොවැඩිය යුතු, අපථ්‍ය, අගුණ දේ උගන්වා තිබේ. එනම් වාරිත්‍ර ඉගැන්වෙයි. ඒ සමඟම කළයුතු, වැඩිය යුතු ගුණ දායක, පථ්‍ය දේද දක්වා තිබේ. එනම් චාරිත්‍රයෝද ඉගැන්වේ.

බුදුරදුන් වදාළ චාරිත්‍ර මෙන්ම වාරිත්‍රද නොසලකන නොතකා හරින මානව සත්වයෝ දුකින් දුකටම පත්වෙති. එකී වාරිත්‍රද චාරිත්‍රද අනුගමනය කිරීමෙන් ජාති, ජරා, මරණාදී දුකින් මිදීම වේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, බොරු ප්‍රකාශන කිරීමාදී පාපක අකුසල ධර්මයන් නොකර සිටීම හෙවත් විරතියෙන් පමණක්ම සීලයක් සම්පූර්ණ වන්නේ නැත. ඒ වූකලි විරතිසීලය පමණකි. වාරිත්‍ර මාණය පමණකි. එසේ ඇතැම් ක්‍රියා කාරකම්වලින් වැළකී වසන තිරිසන් සත්තුද සිටිති. ඇතැම් සත්තු මාංශ භක්ෂණයෙන් තොර වෙති. අනුන් නොරවටන, මද්‍යසාර භාවිත නොකරන තිරිසන් සතුන් බොහෝ ය. විවිධ හේතු සාධක මත නොයෙකුත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටින මිනිස්සු ද සිටිති. සිතා මතා වරදින් වැළකීමද සීලයෙකි. එය වාරිත්‍ර සීලයයි. ආත්ම ගෞරවය සලකාගෙන හෝ ලෝක සම්මතයට ගරු කරමින් හෝ ධර්මයෙහි වරදකැයි කියැවෙන නිසා එසේ පවින් වළකින්නෝ ද වෙති. සීලයෙහි චාරිත්‍ර පක්ෂයක්ද තිබේ. එනම් කළ යුතු හොඳ දේ කිරීමයි. එය චාරිත්‍ර සීලය ලෙස හැඳින්වෙයි. එමගින් කළයුත්ත, සසර සැපවත් නැවැත්ම උදෙසා හෝ සසර පැවැත්ම උදෙසා නොකළයුත්ත නොකිරීම මෙන්ම කළයුත්ත කිරීම සම්පූර්ණ කළ යුතු බව බුදු දහම නන් අයුරින් පෙන්වා දෙයි. වත් නොපුරා සිල් නොපිෙර්යැයි කියන ලද්දේ එබැවිනි. අගුණ අපථ්‍ය දෙයින් වැළකීමෙන් පමණක් රෝග සුව වන්නේ නැත. ගුණ දේ කිරීමද අවශ්‍යය.

චරිත සංවර්ධනය නම් වූ සීල ශික්ෂාව පුරන්නා විසින් ද එයට අහිතකර දෑ හැර දමා හිතකර දෑ වැඩි දියුණු කරගත යුතු වෙයි. මේ සියලු නිදසුන් මඟින් ප්‍රකටවන්නේ වාරිත්‍ර ශීලය සමඟම එක්ව ගත් චාරිත්‍ර ශීලයද ඇති කල්හිම සීලය සම්පූර්ණත්වයට පත්වන බවය. පවින් බැහැර වීමට මෙන්ම ඒ සමඟම පිනෙන් සරුවීමටද දහම උගන්වන්නේ එබැවිනි. පුද්ගල පෞරුෂය පරිපූර්ණ වන්නේද විරති සමාදාන දෙකට සමබරව පවත්නා කල්හි ය.

සීලය යනු කුමක්දැයි නිර්වචනය කරමින් බුද්ධඝෝෂ මාහිමියෝ මෙසේ සඳහන් කරති. සතුන් මැරීම් ආදියෙන් වළකින්නාගේ ද වත් පිළිවෙත් ආදිය පුරන්නාගේද චේතනාදිය සීලය නම් වන්නේ ය. මෙම විග්‍රහය අනුවද හුදෙක් ප්‍රාණඝාත අදත්තාදානාදියෙන් වැළකීම, විරතිය අවශ්‍යය. එහෙත් එපමණින් සිල් නොපිරේ. වත් පිළිවෙත්ද පිරිය යුතුයි. එය සමාදානය හෙවත් චාරිත්‍රයයි. නොකළ යුත්ත නොකරනු සමඟම කළයුත්ත කිරීමද අවශ්‍යය. එයම පිරිපුන් සීලය වේ.

බ්‍රහ්ම ජාල, සාමඤ්ඤඵලාදී දික් සඟියේ මුල් සූත්‍රවලද තවත් බොහෝ දේශනාවලද සීලය විස්තර කර ඇත්තේ වාරිත්‍රය මෙන්ම චාරිත්‍රයද ඇතුළත් කරමිනි. ඒ අනුව ප්‍රාණඝාතය හැරදමා ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළකී. (ඒ සඳහා වූ) දඬු මුගුරු නොදරන්නේය. ආයුධ භාවිතා නොකරන්නේ ය. මේ වාරිත්‍ර ශීලයයි. නොකළ යුත්ත නොකිරීමයි. පවට පිළිකුල ඇත්තේ ය. මෛත්‍රියෙන් මිතුරු සිතින් වසන්නේ ය. සියලු සත්වයිනට හිතවත් බවද සානුකම්පිත බවද ඇත්තේ ය. මේ චාරිත්‍ර ශීලයයි. කළ යුත්ත කිරීමයි. මෙපරිද්දේ වාරිත්‍රය නම් නුදුන්දේ ගැනීමය. සොරකමය. චාරිත්‍රය නම් දුන්දේ පිළිගැනීමය. සිතිනුත් දෙන දේ කැමති, එය ඉවසන සුළු වීමය. වාරිත්‍රය නම් අබ්‍රහ්ම චරියාවෙන් වැළකීමය. චාරිත්‍රය නම් බ්‍රහ්මචාරී වීමය. වාරිත්‍රය නම් බොරුකීම් දුරලා බොරුකීමෙන්, රැවටීමෙන්, වැළකීමය. චාරිත්‍රය නම් ඇත්ත කීමය. ඇත්තෙන් ඇත්ත ගළපා, පිළිගත හැකි වචන ඇතිව ලොව නොරැවටීමය. වාරිත්‍රය, නොකළයුත්ත නම් කේළාම් කීමය. මෙතැනින් අසා මොවුන් ඔවුන්ගෙන් බිඳුවීමට එතැන්හි නොකීමය. චාරිත්‍රය කළ යුත්ත නම් බිඳුනවුන් අසමගි වුවන් සමගි කිරීමය. සමගියට රුකුල් දෙමින් සමඟ වූවන් හා එක්ව, සමගිය වඩන වචනම කීමය. රළු වදන් හැර දැමීම වාරිත්‍ර ශීලයයි. නිදොස් වූ කනට මිහිරි, පි‍්‍රය උපදවන, සිත් ගන්නාසුළු චාරිත්‍ර ශීලයයි. හිස් බොල් වචන කීම නොකළ යුත්තයි. සුදුසු වේලාවේ කතා කිරීම පලදායක දෙයක්ම කතා කිරීම කළ යුත්තයි. මෙසේ චූල සීලය විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ විසින් හුදෙක් පවින් වැළකීම, වාරිත්‍රය, නොකළයුත්ත නොකිරීම පමණක් උගන්වා නැත. එයින්ම සිල් නොපිරෙන්නේ ය. වැරදි දේ නොකරන ඉන් වළකින අතරම හරිදේ කිරීම, එය පිළිපැදීමද තුළින් සීලය පිරිපුන් වන්නේ ය. වත් නොපුරා සිල් නොපිරේ යැයි උගන්වා ඇත්තේ එබැවිනි.

බුදු දහමෙහි උගන්වන සීල ශික්ෂාව සමාධි ශික්ෂාවට අවශ්‍ය පසුබිම සකස් කරයි. එමගින් කායික වාචසික සංවරය ඇති කරමින් මානසික සංවරයට මග සලසයි. කායික හා වාචසික සංවරය වූකලි බාහිර සංවරයකි. බුදු දහම අනුව හුදෙක් ඇතුළු හදවතින් නූපන්, සිත් සතන්හි නැති හැදියාවක් බාහිර වශයෙන් පමණක් නොපෙන්විය යුතු ය. එසේ පෙන්වීම තමාද ලෝකයද රැවටීමකි. කුහකකමකි. බොරු සෝබනයකි. ඒ අනුවද නොකළ යුත්ත නොකර, වාරිත්‍රය පමණක් ඇතිව සිටීමද ඇතුළත එනම් අධ්‍යාත්මය අපවිත්‍රව තබා ගනිමින් බාහිර වශයෙන් පමණක් ව්‍යාජ සංවරකමක් පෙන්වීමක් විය හැකිය. එබැවින් සතුන් මැරීමෙන් ඒ සඳහා දඬු මුගුරු අවි ආයුධ භාවිතයෙන් වැළකී සිටීමත් සමගම සියලු සතුන්ට මෛත්‍රී සහගතව, කාරුණිකව කටයුතු කිරීමටද සීලයෙහි හෙතෙම පිටතින් බාහිර වශයෙන් මෙන්ම ඇතුළතින් ද සිල්වත් වෙයි. ඔහුගේ කය මෙන්ම සිතද සංවරය. දියුණුය. එසේම නුදුන්දේ නොගන්නේ සොරකමින් වැළකුනේ සොර සිතද නැත්තේ ය. එබැවින් පිටතින් මෙන්ම ඇතුළතින්ද සිල්වත්ය. මෙසේ වත් පිරීම හෙවත් කළ යුත්ත කිරීම එනම් චාරිත්‍රයද අනුගමනය කිරීම අව්‍යාජ වූ අවංක වූ අධ්‍යාත්මිකවද වැඩිදියුණුවට පත්වූ පුද්ගලයෙකු ගොඩනගන්නේ ය.

පව්කම් නොකර, අකුසල ධර්මයන්ගෙන් වැළකී සිටීමෙන්ම සැබෑ බෞද්ධයෙකු විය හැකියැයි ද එපමණකින්ම සසර මෙලොව පරලොව සැපවත් කර ගත හැකියැයිද ඇතැම්විට කල්පනා කරනු ලැබේ. එහෙත් එය නිවැරදි නැත. අගුණ අපථ්‍ය දෙයින් වැළකීමෙන්ම රෝග සුව නොවන්නාක් මෙනි. එබැවින් උපන් මිනිසුන් විසින් පින්කම්ද කළ යුතු ය. කුසල් දහම් ද වැඩිය යුතු යැයි බුදුදහම උගන්වයි. පව්කම් අකුසල් නොකර සිටීම විරතියයි. විරමනයයි. පින්කම්, කුසල් වැඩිම සමාදානයි. චාරිත්‍රයයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk