UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුක සේ ලැබිය යුතු දුලබ සම්පත් හතර

දුක සේ ලැබිය යුතු දුලබ සම්පත් හතර

“කිචෙඡා මනුස්සපටිලාභො,
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිචේඡා බුද්ධානං උප්පාදො”

බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ බුද්ධවග්ගයට අයත් ඉහත ගාථා පාඨයෙන් අදහස් වනුයේ මිනිසත් බව ලැබීම දුෂ්කර බව ය. එයට හේතු වන්නේ අංගවිකල භාවයෙන් තොරව පරිපූර්ණ මිනිස් සිරුරක් සහිතව ඉපදීමට බොහෝ පින් අවශ්‍ය බැවිනි. එසේම මිනිසාගේ දිවි පැවැත්ම ද දුක් සහිත වේ. ජීවත් වීම සඳහා වෙහෙස මහන්සි වී ධනය උපයා ගත යුතු ය. එසේ නොමැති නම් මහත් වූ දුක් කරදර මැද ජීවිකාව ගෙන යා යුතු වේ. එම නිසා දිවි පැවැත්ම ද දුෂ්කර වේ. තවද සත්ත්වයාගේ දෙලොව යහපත පිණිස උතුම් ධර්ම ශ්‍රවණය කිරීම ද ඉතා දුර්ලභ කරුණකි. බුදුවරයෙකුගේ උප්පත්තිය ද ඉතා දුර්ලභ වේ. මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ ඒරකපත්ත නාගරාජයා මුල් කරගෙන ය.

ඒරකපත්ත නාගරාජයා, පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උතුම් මිනිසත්බව ලැබ බුදුසසුනෙහි මහණදම් පිරූවෙකි. එකල උන්වහන්සේ ගඟකින් එතෙර වීමට අඟුලකට නැගීමට තැත් කරද්දී ඒරු අත්තක් අල්ලා ගන්නා ලදී. අඟුල දියත් වෙද්දී අත්තෙන් එක් පතක් කැඩුණි. එසේ පතක් කැඩීමෙන් සුළු ඇවැතක් සිදු විය. ඒ ඇවැතින් මිදීම සඳහා ඇවැත් දෙසීමක් නොකළ හෙයින් අපවත්වන වේලෙහි ඇවැතින් මිදුණු නැති බව සිහිවී පසුතැවිලිව අපවත් වී ඔරුවක් පමණ නාගරාජයෙකුව උපන්හ. මහානුභාව සම්පන්න ඒ නා රජු ඒරකපත්ත නම් විය.

බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරුව පිහිටි රුක් මුලකට ඒරකපත්ත නාරජුටත්, එහි රැස්ව සිටි පිරිසටත් සැලසෙන සෙත සලකා වැඩි සේක. බුදුරජාණන් වහන්සේ මහා රුක් මුල වැඩ සිටින සිටින බව දැනගත් ඒරකපත්ත නාරජු, බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ, මෙතෙක් කල් මිනිසත් බව නොලැබීම නිසාත්, බණ ඇසීමක් හෝ බුදුකෙනෙකුත් නොදිටීම නිසාත් හඬන්නට විය. මේ හැඬුම අරභයා මිනිසත් බව ලැබීම දුලබ බවත්, මිනිසෙක්ව දිවි රැකුම දුෂ්කර බවත්, සදහම් ඇසීමට ලැබීම දුලබ බවත්, බුදුවරුන්ගේ උපත දුලබ බවත් දක්වා වදාළ සේක.

ලෝකයේ වාසය කරන සත්ත්වයන් අතුරෙන් මිනිසා තරම් උසස් මනසක් ඇති වෙතත් සත්වයෙකු නොමැත. මිනිසාගේ සිත උතුම් ලොව්තුරා බුදුබව දක්වා දියුණු කළ හැකි ය.

සියලු මිනිස් දුර්ගුණයන්ගෙන් මිදී, කෙලෙස් ගිනි නිවා, වීර්යයෙන්, උත්සාහයෙන්, ප්‍රඥාවෙන්, යථාභූත ඤාණදර්ශනයෙන් බුද්ධත්වය ලැබිය හැක්කේ පාරමීදම් පිරූ අතිඋතුම් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය රත්නයකටමය. මෙබඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීමේ දුර්ලභත්වය කෙබඳු දැයි උපමා කොට දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ කාණකචෙඡ්‍යාපම උපමාව ගෙනහැර දැක් වූ සේක. සිය වසරකට වරක් මුහුදෙන් මතුවන එක ඇසක් ඇති කැස්බෑවෙකු දියෙන් මතුවන විට ගොවියෙකු විසින් ගොවිකමට ගෙන ඉවතලූ වියදණ්ඩක් ඇළ දොළ ගංගා මාර්ගයෙන් මුහුදට වැටී මහා චණ්ඩ මාරුතයෙන් මුහුදේ ඒ මේ අත ගසාගෙන යන විට ඒ වියදණ්ඩෙහි සිදුර මාට්ටු වී සියවසකට වරක් මතුවන විට ඒ මාට්ටු වූ වියසිදුරෙන් එකැස් කැසබුවෙකුට අහස බලන්නට ලැබෙන්නාක් මෙන් මිනිසත් බව ලැබීම අතිශයින් දුර්ලභ වූවකි.

මෙතරම් කලාතුරකින් ලැබෙන මනුෂ්‍ය ප්‍රතිලාභ අකුසලයෙන් මිදී කුසල් දහම්හි හැසිරෙමින්, සිහිබුද්ධිය උපදවාගෙන උසස් ගති පැවතුම් ඇතිව උසස් මිනිසුන් සේ ජීවත් වීමට උත්සාහවත් විය යුතුව ඇත. එහෙත් මිනිස් සමාජයේ බොහෝ දෙන අකුසල ධර්මයන්හි හැසිරෙමින් නොමිනිස් ගණයට වැටෙමින්, පවින්, නපුරෙන් යුක්තව කටයුතු කරනු දක්නා ලැබේ. අප උත්සාහවත් විය යුත්තේ පරමාර්ථ මනුෂ්‍යයෙකු වශයෙන් සුචරිතයෙහි හැසිරීමටය.

බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ ජීවිතයක් ඇති කර ගැනීමෙහිලා ඉවහල් වන මනුෂ්‍ය ධර්ම හතක් දක්වා වදාළ සේක. දෙමවුපියන් පෝෂණය කිරීම, කුලදෙටුවන් පිදීම, මුදු මොළොක් වචන කතා කිරීම, කේළාම් නොකීම, මසුරු මළ දුරු කිරීම, සත්‍ය වචන කතා කිරීම, ක්‍රෝධය මැඩ ගැනීම යනු ඒ සත්පුරුෂ මනුෂ්‍ය ධර්ම හතයි.

මවුපියෝ බ්‍රහ්මයෝ ලෙසත්, පූර්වාචාරීන් ලෙසත්, දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් ආහුණෙය්‍ය ගුණයෙන් යුක්ත බවත් දැක්වෙයි. ඔවුන් කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන ගුණ සාධාරණව පවතී. දරුවන් විසින් පිළියෙල කරගෙන එනු ලබන ආහාරපානාදිය හා වස්ත්‍රාදිය පිළිගැනීමට සුදුසු බැවින් ආහුණ්‍යෙය ගුණයෙන් යුක්ත ය. මවුපියන් සිය දූපුතුන් කෙරෙහි මහත් සේ ආදර කරුණා ගුණයෙන්, අනුකම්පාවෙන් දරුවන් රැක බලා ගැනීමට, හදා වඩා ගැනීමට විඳින දුක් අපමණ ය. මෙබඳු උතුම් ගුණ ඇති දෙමාපියන්ට සංග්‍රහ කිරීම, උපස්ථාන කිරීම දරුවන්ගේ සත්පුරුෂ ගුණයකි.

කුලදෙටුවන් පිදීම යනු සිය පවුලේ අයට ගෞරවයෙන්, සුහදත්වයෙන් ආදරයෙන් සැලකීම ය. එවිට ආරක්ෂාවත්, සමගියත් ගොඩනැගේ. පුද්ගලයන් විරසක වන සේ කේළාම් කීම බරපතල පාපයකි. එසේම ක්‍රෝධයෙන් අනර්ථය උපදී. ක්‍රෝධ වූ විට සත්‍ය, අසත්‍ය, යුක්තිය, ධර්මය නොවැටහේ. අන්ධව ක්‍රියා කිරීමට සිදුවේ. එසේ කිපෙන සුළු තැනැත්තා මුළු සමාජයටම අපි‍්‍රය වේ.

යහපත් මනුෂ්‍ය ජීවිතයක් ඇතිකර ගැනීමෙහිලා, දක්ෂතාවය, විමසා බලා ක්‍රියා කිරීම, සංවිධානයට සමර්ථ වීම යන උට්ඨාන සම්පදාව ද, මහන්සියෙන්, දැහැමි ලෙස උපයා සපයා ගන්නා වස්තුව සොර සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ රජයෙන් හෝ හානියකට පත් නොවන සේ රැක බලා ගැනීමෙන් ආරක්ඛ සම්පදාව ද ඇතිකර ගත යුතු වේ.

ඇසුරට සුදුසු මිතුරෙක් තෝරාගැනීම සොයා බලා කළ යුත්තකි. තමන්ගේ වාසියම තකන අඤ්ඤදත්ථුහර නම් පාප මිත්‍රයන් සේවනය නොකළ යුතු ය. කතාවෙන් පමණක් හිතවත්කම් පෙන්වමින් මඟහරින වචීපරම මිතුරන්ගෙන් ද ඈත්වීම යහපත් වන්නේ ය. හොඳ නරක කවරක් වුවත් තමන්ට වාසියක් ලබා ගන්නා රිසියෙන් ඒවා අනුමත කරමින් කතාබස් කරන අනුප්පියභාණි මිතුරා සේවනයට නොගත යුතු ය. පිරිහීමට මුල්වන කරුණු වන මත්පැන් පානය, අවේලාවේ වීදි සැරිසැරීම, සූදුව යන කරුණුවලට සහාය වන අපායසහායක නම් මිතුරන් ද සේවනය නොකළ යුතු ය. කල්‍යාණ මිත්‍රයෝම සේවනය කළ යුතු ය.

මනුෂ්‍යාත්මභාවයක් ලබා ගැනීම ඉතාම දුර්ලභ සිද්ධියක් බැවින්, ලැබූ මනුෂ්‍යාත්මභාවය උතුම් මනුෂ්‍ය ධර්ම සිය ජීවිතය තුළ සංවර්ධනය කර ගැනීමෙන් මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටත්, පරලොව ජීවිතය සැපවත් කර ගැනීමටත් මෙම උතුම් පොහෝ දිනයේ දී අදිටන් කර ගනිමු. තෙරුවන් සරණයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk