UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය

අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය

වේඬරුවේ උපාලි අනු නා හිමි

විහාරවංශ කථාවේ වසර 652 ක ඉතිහාසයක් ඇති සෙංකඩගල පුරවරයේ අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ විහාරය ක්‍රි.ව. 1347-1375 සමයේ ගම්පොල යුගයේ රාජ්‍ය මෙහෙයවූ තෙවන වික්‍රමබාහුරජතුමා විසින් සිය මෑණියන්වූ චන්ද්‍රවතී බිසව සිහිපත් කිරීම මුල්කරගෙන ඉදිකර ඇති බව පොතපතින් දැක්වේ.

එම වර්ෂය ක්‍රි.ව. 1364 වශයෙන් දැක්වෙන අතර, චන්ද්‍රවති බිසවගේ ආදාහන කටයුතු ද මෙහි දී සිදුකර ඇත. සිහිවටනයක් ලෙස චන්ද්‍රාවති නමින් රෝපණය කළ බෝධින් වහන්සේ නමද අදත් මෙහි වැඩහිඳියි. චන්ද්‍රවති බිසවගේ භෂ්මාවශේෂ මෙහි තැන්පත් කළ නිසා මෙම පූජනීය ස්ථානය ආදාහනමලුව වශයෙන්ද හඳුන්වනු ලැබේ. වික්‍රබාහු රජතුමා විසින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය අනුව මෙහි විහාර මන්දිරයක් ඉදිකොට ඇත.ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණයකර සංඝාවාසයක් ද මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කර ඇති බව සඳහන් වේ. සියම් දේශයේ ප්‍රවර උපාලි මාහිමියන් අස්ගිරිය ගෙඩිගේ විහාරයේ වැඩ සිට ශාසනික මෙහෙවරෙහි යෙදී සිටියදී අපවත්වීමෙන් උන්වහන්සේගේ ආදාහනය ද මෙහි දී සිදුකර ඇත

ශ්‍රී දළදා සමිඳු මහනුවරට වැඩමවූ මුල් දිනයේ සිට අද දක්වා දළදා වහන්සේ හා ගෙඩිගේ විහාරය අතර අඓතිහාසික සම්බන්ධතාවයක් පවතී. ශී‍්‍ර දළදා සමිඳුන් උදෙසා සිදුකෙරෙන පුදසිරිත් චාරිත්‍ර සම්ප්‍රදායන්වල ආරම්භය ගෙඩිගේ විහාරය මුල්කරගෙන සිදුකෙරේ.

ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ දී සෙංකඩගල පුරවරයේ වීදි සංචාරය කර ගෙවදීමෙන් පසු ශුභ නැකතින් ශ්‍රී දළදා මන්දිරයෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටුකරගෙන පිටත්වන සිව්දේවාල දිය කැපුම් මංගල්‍යය පෙරහර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරයට පිවිස පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලබයි. දළදා සමිඳුන්ට පවත්වන පුද සිරිත් විරිත් පූජාවන් ඒ පරිද්දෙන්ම ගෙඩිගේ විහාරයේදී පැවැත්වේ. සිරිත් පරිදි පවත්වනු ලබන දවල් පෙරහර ගෙඩිගේ රජමහා විහාරයේ දී පැවැත්වේ. විහාරයේ තැන්පත් කර තබන පෙරහර කරඬුව සම්බන්ධ වගකීම් සහ භාරකාරත්වය අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමි ප්‍රධාන අස්ගිරිය මහා විහාරයේ මහා සංඝරත්නය වෙත පැවරේ. දියවඩන නිලමේගේ සහ ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ බස්නායක නිලමේගේ නිර්දේශය මත පෙරහර කරඩුවේ ආරක්ෂාව නිමිත්තෙන් බස්නායක නිලමේ කෙනෙකු ද චාරිත්‍ර පැවැත්වීමට සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාලිගාවේ පල්ලේමාලේ රාලත්, තේවා ශබ්ද පුජාවන් අඛණ්ඩව පැවැත්වීමට හේවිසි වාදකයින් සමඟ කවි කාර මඩුවත් පත් කරේ. මෙම චාරිත්‍ර විධි ශී‍්‍ර දළදා මාලිගාවේ රාජකාරිය සිදුකරන පිරිස විසින් ම පවත්වන අතර මුළුතැන් බුද්ධ පූජාව ශ්‍රී දළදා මාලිගාවේ සිට පංචතූර්ය නාද හේවිසියෙන් ගෙන එනු ලබන්නේ ය. ශ්‍රී දළදා සමිඳු උදෙසා පවත්වනු ලබන සියලු පුද චාරිත්‍ර පූජාවන් ශ්‍රී දළදා මාලිගාවෙන් හැර දක්නට ලැබෙන එකම පූජනීය ස්ථානය මෙම ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාරය යි. එසේ ම ශ්‍රී දළදා මාළිගාවේ දළදා පෙරහර ගමන් කරන එකම විහාරස්ථානය ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජ මහා විහාරයයි

පසුගිය දශකය තුළ ගෙඩිගේ රජමහා විහාරයේ විහාරාධිකාරි, අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමිපාණන් විසින් ගෙඩිගේ විහාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂාකරගෙන සිදුකරන ලද ශාසනික සේවාව ශ්‍රේෂ්ඨත්වයෙන් සැලකිය යුතුයි. නව විහාර මන්දිරයක් සමඟ අංග සම්පූර්ණ සංඝාවාසය උපාලි මා හිමි ස්මාකරය, ධර්මශාලා මන්දිරය ඓතිහාසික බෝධින් වහන්සේ වටා රන් වැට, සලපතල මලුව සහ දැනට නිමවෙමින් පවතින නැගෙනහිර දිසාවේ මහ වාහල්කඩ , තායි බෞද්ධ රජයෙන් පුජා කරන ලද සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ශී‍්‍ර ධර්මකිත්ති දහම් පාසලේ තෙමහල් ධර්ම මන්දිරය තවත් ව්‍යාපෘතියකි.

සෙංකඩගල පුර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය සම්බන්ධ අස්ගිරිය මහා විහාර භික්ෂූ සංගමය මගින් සකස් කළ විස්තරයෙන් මෙම ලිපිය සැකසිණි.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk