UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැ සිතයි දෙව් බැතියයි මිනිස්කමයි එක් තැන් වන කතරගම වාර්ෂික ඇසළ මහා මංගල්‍යය

සැදැහැ සිතයි දෙව් බැතියයි මිනිස්කමයි එක් තැන් වන කතරගම වාර්ෂික ඇසළ මහා මංගල්‍යය

උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් එන හින්දු බැතිමතුන් අප රටේ මෙන්ම විවිධ රටවලින් එන කිතුනුවන් හා ඉස්ලාම් බැතිමතුන් මෙම සර්වාගමික පූජනිය පුද බිමේ ඇසළ මංගල මහෝත්සවයට සහභාගි වීම අනාදිමත් කාලයක සිට සිදුවන ලෝකයේ එකම පින් බිම වනවා. සමස්ත බෞද්ධ මහ ජනතාවගේ අති මහත් වන්දනාමානයට හා භක්ත්‍යාදරයට පාත්‍ර ව ඇති සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන රුහුණු කතරගම ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයත් ඒ හා බැදුණු රුහුණු කතරගම මහසෙන් මහා දේවාලයත් කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහා මංගල්‍යය පිළිබඳ සිහිපත් කළ යුතුව ඇත.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඇතුලු බොහෝ සමිති සමාගම් රාශියක අනුග්‍රහය මත මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය ජූලි මස 24 වන දින ආරම්භ වී අගෝස්තු 07 වන දින දක්වා රාත්‍රි මහා දේවාල පෙරහර චාරිත්‍රයන් සිදු කිරිමට නියමිතය. අගෝස්තු 08 වැනි දින ඓතිහාසික මැණික් ගඟේ දිය කැපීමේ මහා මංගල්‍යය සුභ මොහොතින් සිදු කර එම චාරිත්‍ර අවසන් කිරීමෙන් පසු කතරගම වාර්ෂික ඇසළ මංගල්‍යය පෙරහර නිමාවේ. ඒවගේම කතරගම මහා දේවාලයේ පැවැත්වෙන වාර්ෂික මහා ඇසළ මංගල්‍යය පුණ්‍ය මහෝත්සවයේ පිරිත් නිලය සිදු කරන්නේ රජ සමයේ සිට කිරි වෙහෙර විහාරස්ථානයෙනි . එය සම්ප්‍රදාය වේ. කතරගම මහසෙන් මහා දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ බෞද්ධාගමික පුණෝත්සවය ආරම්භ වූයේ් ජුලි මස 30 වන දිනයි. මහා දේවාලයේ වාර්ෂික පෙරහර නිම විමට පෙර පුරා සතියක් තිස්සේ පැවැත්වෙන මහා පරිත්‍රාන ධර්ම දේශනයක් සහ දිනපතා බුද්ධ පුජා, බෝධි පුජා, ගිලන්පස පූජා ඇතුලු මහා දානමය පින්කම් රාශියකින් ද සමන්විත වන පෙරහරට සමගාමීව සිදු කරන මහා බෞද්ධාගමික පුණ්‍යඋත්සවයන් කිරි වෙහෙර රජමහා විහාරස්ථානයේ පැවැත්විමට අවශ්‍ය කටයුතු සිදු කර තිබේ. සති පිරිත් දේශනාවේ දොරකොඩ අස්නය සහ අනුශාසනාවකින් ද ශතාධික මහා සංඝයා විෂයෙහි පිරි නැමෙන මහා සංඝගත දක්ෂිණාවද අගෝස්තු 06 වන දින මෙම විහාරස්ථානයේ දී පැවැත්වේ. හෙළ රජ සමයේ සිට මේ දක්වා සිදු කරන හෙළ සිරිත් විරිත් අප විහාරස්ථානයෙන් වාර්ෂිකව අඛණ්ඩවම සිදු කෙරේ. රට පුරා විසිරි සිටින සැදැහැවත් බෞද්ධ දානපතියන් සහ දෙස් විදෙස් සංචාරකයින්ගේ කිරි වෙහෙර රජමහා විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ ද නොමසුරු දායකත්වයෙන් පැවැත්වෙන මෙම සාම්ප්‍රදායික පුණ්‍යෙීත්සවයේ අරමුණු වන්නේ සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකාද්විපයත් ආරක්ෂා කිරිමේ නියැලී සිටින බවට ජන විශ්වාසයක් ඇති කතරගම මහා සෙන් මහා දෙවිඳුන්ටත් මේ රටේ රාජ්‍යය නායක කාරකාදීන්ටත් සමස්ත රටවැසියාටත් ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය පැතීමයි. මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කතරගම ඇසළ පෙරහර මංගල්‍යයට සහභාගි වී භාර හාර ඔප්පු කිරිමටත්, කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදාගෙන කතරගම දෙවිඳුන්ගේ ආශිර්වාද ලබාගෙන තම තමන්ගේ ජිවිත ආරක්ෂාවන් සඵල කර ගැනිමටත් ලහි ලහියේ සුදානම් වන්නේ රුහුණු කතරගම වාර්ෂික ඇසළ මංගල්‍ය පුජෝත්සවයට සහභාගි වෙමින් බව කිව යුතුය. විවිධ ආගම්වල ඇතැම් බැතිමතුන් මේ සදහා සුදානම් වන්නේ පසුගිය වර්ෂයේ ඇසළ මහා මංගල්‍යය නිමා වු දින සිටය. බොහෝ දෙනා කතරගම පුද බිමට පැමිණිමේ අරමුණින් ඔවුන්ගේ දහඩිය මහන්සියෙන් දුක කඳුල කැටිකර වෙහෙස වී දෛනිකව හරි හම්බ කරන මුදලින් කොටසක් කැටවල දමා එක් රැස් කිරිමෙන් බව බොහෝ දෙනා විහාරස්ථානට පැමිණි අවස්ථාවලදී අප හා සඳහන් කරයි.

සමහර බැතිමතුන් දේව භක්තියෙන් යුතුව මස් මාංශ අනුභවයෙන් වැළකී මාස ගණනක් තිස්සේ පේ වෙමින් මෙම පුණ්‍ය මහෝත්සවයට සහභාගි වීමට පැමිණේ. මේ අසිරිමත් සූදානම අද ඊයේ ඇරඹුණු කටයුත්තක් නොවෙයි. ශත වර්ෂ 20කට වැඩි දිගු කාලයක් තිස්සේ සිදු වන බව ඓතිහාසික පැරණි ජනප්‍රවාදයේ තොරතුරු වලින් ද සනාථ වේ. ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් බැතිමතුන් සංචාරකයන් කතරගමට ඇලුම් කරන්නේ හේතු කිහිපයක් නිසා ය. කතරගම යනු සියවස් 25කටත් වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික පුදබිමක්. එහි ලිඛිත ඉතිහාසය බුදුරදුන් ජිවමානවම වැඩ විසු සමය දක්වා ඈතට විහිදී යයි. සමාජයේ දක්නට ලැබෙන ජාති කුල ආගම් පක්ෂ පන්ති ආදිය කිසිම භේදයක් නැතිව තමන්ට පිහිට පතන සර්ව ආගමික මධ්‍යස්ථානයක් මේ කතරගම පුද බිම. ඕනෑම බැති මතකුට පිහිටවන බලසම්පන්න මහේශාඛ්‍ය මහසෙන් සුරිඳුන් වැඩ වෙසෙන මහා දේවාලය පිහිටියේ කතරගම ය. මෙය සැබෑ මනුෂ්‍යත්වයේ අව්‍යාජත්වය පෙන්නුම් කරන ශුද්ධ වු පින් බිමකි. කතරගම මහා දේවාලයේ පිහිටා අත්තේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි ය. අතීතයේ මේ ප්‍රදේශය අති දුෂ්කර ශුෂ්ක ප්‍රදේශයක් වුවත් මේ වන විට ස්වභාව සෞන්දර්ය රස පහස ආශ්වාදනය කළ හැකි රමණිය පරිසරයක් මෙන්ම ස්වභාව සෞන්දර්ය විඳීමට කැමති නිස්කලංක පරිසරයක සුවය විඳින රිසි රසකාමින්ට මේ ප්‍රදේශය අපුරු අත්දැකිම් රාශියක් ලබා ගත හැකි තෝ තැන්නක් මෙන් ම උතුම් පින් බිමක් වේ. බුදුරදුන් සිය තුන්වන ලංකාගමනේ දී ශ්‍රී ලංකාවට වැඩමකළ ප්‍රදේශ අතර කතරගම ද එක් ස්ථානයකි. ඒ වන විට කතරගම ප්‍රාදේශිය පාලකයාව සිට ඇත්තේ මහසෙන් නම් ක්ෂත්‍රියයා බව සඳහන් වේ.ඔහුට අයත් විශාල කිහිරි උයනක් කතරගම පිහිටා තිබී බුදුරදුන් සිය සව්වන් පිරිවරාගෙන සමවත් සුවයෙන් වැඩ සිටියේ මේ කිහිරි උයනේ බව ඉතිහාස තොරතුරුවල සදහන් වේ. එකල බුදුරදුන්ගෙන් බණ ඇසු මහාඝෝෂක ඇතුලු පිරිස බුදු දහම වැළඳ ගෙන ඇති බව එම තොරතුරුවල සදහන් වන අතර මහා ඝෝෂ පාලකතුමන් සෝවාන් ඵලයට ද පත් වන්නේ ඉන් පසුවයි. ඒ අවධිය වන විට ලක්දිවට බුදු දහම පැමිණ තිබුණේ නැත. ඒ පසුබිම යටතේ කතරගම ප්‍රථම බෞද්ධ උපාසක උපාසිකාවන් වුයේ මේ මහාඝෝෂක ඇතුලු පිරිස විම වැදගත් සිද්ධියකි. කතරගම වැසියන් බුදු දහම කෙරෙහි කොතරම් පැහැදුනේ ද යත් බුදුරදුන් වැඩ සිට කිහිරි උයනෙහි බෞද්ධ ස්මාරකයක් ද ඉදිකළහ. වර්තමානයේ කිරිවෙහෙර චෛත්‍ය ලෙස අති පුජනීයත්වයට පත් ව ඇත්තේ එදා ඉදිකළ ඒ බෞද්ධ ස්මාරකයයි. පසු කාලින සැදැහැවත් බෞද්ධ රජ දරුවෝ මෙම ස්ථූපය නවිරකණය කර ගනිමින් ද ප්‍රතිසංස්කරණය කරමින් ද දිගින් දිගටම එය ආරක්ෂා කර ගැනීම නිසා කතරගම පුද බිමේ ප්‍රථම බෞද්ධ සංකේතය ලෙස ඓතිහාසික කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ මෙම පින් බිමේ විරාජ මානව වැජඹීමට ප්‍රධාන හේතු කාරණා වන බව සිහිපත් කළ යුතුය.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk