UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා විසිතුරු

දළදා විසිතුරු

රාජකීය සළුපිළි හඳවා අලංකාර ලෙස සරසන ලද හස්තියෙකු පිට නැඟී රාජ පුරුෂයකු අණබෙර ගහමින් පින් කැමැති ගිහි පැවිදි දෙපක්ෂයම මනා කොට මාර්ග සමතලා කොට මහා මාර්ග, වීථි නිසිලෙස සරසත්වා. නා නා පුෂ්ප වර්ගත් විසුරුවත්වා. දන්ත ධාතූන් වහන්සේට සුවඳ විලවුන් පූජා කරත්වා යැයි ප්‍රකාශ කරමින් නගර සංචාරය කරයි. පසුව දන්ත ධාතූන් වහන්සේ ප්‍රධාන මාර්ගය ඔස්සේ අභයගිරි විහාරයට වැඩම කරවති

සම්මාසම් බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ශරීර ධාතූන්ගෙන්, සප්ත මහා ධාතූන් හැර ඉතිරි අස්ථි සියල්ල මුං පියලි, කඩ සහල්, අබ ඇට යන විවිධ ප්‍රමාණයන්ට වෙන් වී ගියේ ය. ලලාට ධාතු, අකු ධාතු දෙනම, සතර දළදාව යන මේ කොටස් එම නොකැඩී නොබිදුණු සප්ත ධාතුවෝ වෙති.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ශේෂ වූ එම සතර දළදාවන් වැඩ සිටින ස්ථාන බුද්ධවංශ පාලියේ ධාතු භාජනීය කථාවේ එක් ගාථාවක දක්වා ඇත. “එකා දාඨා තිදස පුරෙ - එකා නාග පුරේ අහු එකා ගන්ධාර විසයෙ - එකා කාලිංග රාජිනො” ලොව්තුරු බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් ”ඛේම” මහරහතන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේ ලබා ගත්හ. අනතුරුව ඛේම මහරහතන් වහන්සේ විසින් දළදා සමිඳුන් කලිඟු රටේ දන්ත පුරයට වැඩම කරවන ලදී. එකල පාලකයා වූ බ්‍රහ්මදත්ත රජු විසින් කරවන ලද ප්‍රාසාදයක තැන්පත් කොට වන්දනා මාන කර ඇත. බ්‍රහ්මදත්ත රජුගේ ඇවෑමෙන් පසු ඔහුගේ පුත් කසී රජු ද, ඔහුගේ පුත් සුන්දර රජු ද, ඉන්පසු රජ වූ ගුහසීව රජු ද දළදා වහන්සේ එහිම රඳවා ඉමහත් බැතියෙන් ආරක්ෂා කර ගත්හ.

පසු කල ගුහසීව රාජ සමයේ පඬු නම් රජුගෙන් දළදා වහන්සේට නොයෙකුත් හිරිහැර, තාඩන පීඩන ගැහැට පැමිණිය ද, පසු කල බුදු දහමින් පැහැදුණු පඬු රජු විසින් දළදාව පැළලුප් නුවරට වැඩම කරවා පුද සත්කාර කරන ලදී. එහිදී සතුරු ආක්‍රමණයක් ඇතිවූ නිසා නැවත දළදා වහන්සේ කලිඟු රටට වැඩම කරවුයේ ය. මේ අතරතුර උදේනි රජ පුත් දන්ත කුමරුට කලිඟු රජුගේ දියණිය වූ හේමමාලාවන් සරණ පාවා දෙනු ලැබුවේ ය. මහා වංශයේ සඳහන් වන කාලය අනුව ක්‍රි.ව. 3103 දී සතුරු ආක්‍රමණයන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා මේ දෙදෙනා දළදා හිමි කොණ්ඩයේ සඟවාගෙන මාවටු තොටින් ලක්දිවට ගොඩබට වූයේ මහසෙන් රජ පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේදී ය. එසේ වැඩම කළ දළදා වහන්සේ කිත්සිරිමෙවන් රජු මහත් හරසරින් පිළිගෙන අනුරාධපුර මහමෙව්නා උයනේ කරවන ලද අලංකාර මණ්ඩපයක වඩා හිඳුවා බැති සිතින් පුද සත්කාර කර ඇත.

කළිඟු රට දන්ත පුරයේ සිට දළදා වහන්සේ ලක්දිවට වැඩම වූ පසු උන් වහන්සේට පැවැත්වූ පුද පුජා ඒ ආකාරයෙන්ම පැවැත්වීම ඇරැඹුණු බව ඉතිහාසය සාක්ෂි දරයි. කිත්සිරිමෙවන් රජු දන්ත ධාතූන් වහන්සේ ජනයාට දැක ගැනීම සඳහා මහ පෙරහරින් මහමෙව්නා උයනට වැඩම කළ අයුරු දළදා සිරිතෙහි දැක්වේ. ඒ හැර 5 වන සියවසේ පැවැත්වූ දළදා පූජා සියැසින් දුටු පාහියන් භික්ෂුන් වහන්සේ ද විස්තර කොට ඇත. රාජකීය සළුපිළි හඳවා අලංකාර ලෙස සරසන ලද හස්තියෙකු පිට නැඟී රාජ පුරුෂයකු අණබෙර ගහමින් පින් කැමැති ගිහි පැවිදි දෙපක්ෂයම මනා කොට මාර්ග සමතලා කොට මහා මාර්ග, වීථි නිසිලෙස සරසත්වා. නා නා පුෂ්ප වර්ගත් විසුරුවත්වා. දන්ත ධාතූන් වහන්සේට සුවඳ විලවුන් පූජා කරත්වා යැයි ප්‍රකාශ කරමින් නගර සංචාරය කරයි.

පසුව දන්ත ධාතූන් වහන්සේ ප්‍රධාන මාර්ගය ඔස්සේ අභයගිරි විහාරයට වැඩම කරවති. බුදු මැඳුරක් තුළ වැඩ හිඳීමින් භික්ෂුන් වහන්සේලාගෙන් හා ගිහියන්ගෙන් දිවා රෑ නොකඩවා සුවඳ දුමින් හා ප්‍රදීපාලෝකයෙන් පුද පූජා දියෙන් බුහුමන් ලැබ අනූ දිනකට පසු දළදා මන්දිරය වෙත ආපසු වැඩම කරවති. ඇසළ පෙරහරේ ඉතිහාසය සොයා බලන විට අපට පෙනී යන්නේ අතීත රජදරුවන් විසින් දළදා වහන්සේ උදෙසා මහත් හරසරින් යුතු පුද පූජාවන් පවත්වා ජනයාටත් රටටත් සෙත ශාන්තිය ප්‍රාර්ථනා කළ බවයි.

දෙවි සැණකෙළියක් ලෙස ඇරඹි ඇසළ පෙරහර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ එදා (සෙංකඩගල) අද මහනුවරට වැඩම වූ පසු අද පවත්වන්නා වූ අයුරින්ම යුතු දළදා පෙරහර බවට විකාශනය වූයේ ක්‍රි.ව. 1756 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී ය. වැලිවිට සරණංකර සංඝරාජ මා හිමියන්ගේ අනුශාසනා අනුව මෙතෙක් හැම බදාදා දිනවල හා පෝය දිනයන්හි මාළිගාව තුළ පැවැත්වූ පෙරහර දළදා කරඬුවද නාථ, විෂ්ණු, පත්තිනි, කතරගම යන සතර දේවාල පෙරහරම පෙරටුව ගමන් කරවීමට කටයුතු යොදන ලදී. එදා සිට රාජ අනුග්‍රහය ඇතුව දළදා පෙරහර වාර්ෂිකව අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන ආ නමුත් ක්‍රි.ව. 1815 දී ලංකාව ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වීමෙන් පසු පෙරහර කිරීම නවතා දැමීය. ඉන් පසු ඇතිවූ මහා විරෝධතාවන්ගෙන් පසු යළිත් පෙරහර පැවැත්වීමට ඉදිරිපත්වූ එකල මෙරට ආණ්ඩුකාර සර් එඩ්වඩ්ඞ් බාන්ස් ක්‍රි.ව. 1828 දී රජයේ වියදමින් පෙරහර පවත්වන ලදි. එම පෙරහර පැවැත්වූ දවසේ දළදා වහන්සේ මහා ප්‍රාතිහාර්යයක් පෑ බවද සඳහන් වේ.

 එනම් එතෙක් කල් පැවති මහා නියංසමය නිමකොට පුරා සතියක්ම නොකඩවා ධාරානිපාත වර්ෂාවක් ඇතිවීම ය. එවක් පටන් නොකඩවා පැවති පෙරහර යළි ක්‍රි.ව. 1848 ආණ්ඩුකාර ටොරිංටන්ගේ කාලයේ නතර විය. එය බෞද්ධයනට ඇතිවූ මහ කැළලක්, දළදා සමිඳුන්ට කළ අගෞරවයක් වූයෙන් ඔවුන් දැක්වූ විරෝධය මැඬලීමට යුද්ධ නීතිය පවා පැනවීමට සිදු විය. මේ උද්ඝෝෂණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් එකී ආණ්ඩුකාරවරයා නැවත එංගලන්තයට යැවීමට ද සමත් විය. ඉන්පසු එංගලන්තයේ පත්කළ විශේෂ කොමිසමක් අනුව ශ්‍රී දළදා පෙරහර වාර්ෂිකව පැවැත්විය යුතුයැ’යි සඳහන් කළ අතර අද දක්වා පවත්වන්නේ අපේ ලොව්තුරා බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටින ශ්‍රී දළදා වහන්සේට කරන ගෞරව උපහාරයක් වශයෙනි. වර්තමානයේ වාර්ෂික මංගල්‍යය අතර පෙරහර මංගල්‍යය හෙවත් ඇසළ මංගල්‍යය දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන පුජා චාරිත්‍ර අතර සුවිශේෂි තැනක් උසුලනු ලබයි. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවී සිටි ප්‍රාග් බෞද්ධ වැසියෝ නිසිකලට වැසි ඵල ලබා ගැනීමේ අටියෙන් අව් වැසි ආදිය දේවත්වයෙන් සලකා නොයෙක් පූජාවන් පැවැත්වීමට පුරුදු වී සිටියහ. බුදු දහම මෙරටට හඳුන්වා දීමත් සමඟ එකී ප්‍රාථමික විශ්වාස බුදු දහම සමඟ මිශ්‍ර වී විකාශනය වී ගිය බව පෙනේ.

එහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ මෙරටට වැඩම වීමත් සමඟ දළදා වහන්සේගේ පිහිටාරක්ෂාව තුළින් නිසිකල වැසි ඵල ලබා සිය ගොවිතැන් බත් කටයුතු සාර්ථක කරගත හැකි බව ඔවුහු විශ්වාස කළහ. අතීතයේ සිටි පැරැන්නෝ ඇසළ මාසය දෙවියන් උදෙසා කැපකළ මාසයක් සේ සැලකූහ. දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවට දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබනු වස් ඇසළ මාසය තුළ පෙරහර පැවැත්වීමට ඔවුහු උත්සුක වූහ. මහනුවර රාජධානි සමය වනවිට දේවාල පෙරහරට පමණක් සීමාවී තිබූ මෙම ඇසළ පෙරහර ස්‍යාමෝපසම්පදාව පිහිටුවීම සඳහා සියම් රටින් මෙරටට වැඩි ප්‍රවර උපාලි මහ තෙරුන්ගේ සහ උභය මහා විහාරයේ මහානායක හිමිවරුන්ගේ මග පෙන්වීම අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහර ද ඊට එකතු කොට වර්තමාන පෙරහර සමාරම්භ කළ බව පිළිගැනේ. සතර දේවාලවල කප් සිටුවීමේ චාරිත්‍රයෙන් වර්තමාන පෙරහරේ සමාරම්භය සිදුවන අතර දින 05 ක් කුඹල් පෙරහර ද දින 05 ක් රන්දෝලි පෙරහර ද පවත්වා දිය කැපීමේ මංගල්‍යයෙන් මෙකී ඇසළ පෙරහර නිමාවට පත්වේ. මේ අන්දමට දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අවදියේ පටන්ම දළදා වහන්සේ උදෙසා ආරම්භ වූ පුද පූජා අද දක්වාම නොනැසී පැවතීම මෙහිලා දැකිය හැකි විශේෂත්වය යි.

දළදා වහන්සේගේ වත්මන් භාරකාරත්වය දරන උභය මහා විහාරයේ අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනමත් දියවඩන නිලමේතුමාත් එමෙන් ම අඛණ්ඩව කටයුතුවල නියැලෙන (මුර මාරු ක්‍රමයට) උභය මහා විහාරීය මහා සංඝයා වහන්සේත් උත්සුක වන්නේ මෙම පෞරාණික චාරිත්‍ර විධි ආරක්ෂා කර ගනිමින් එදා රාජකීයයන් විසින් දළදා වහන්සේ උදෙසා ඇති කළ මෙම පුජා විදීන් මතුවටත් ආරක්ෂාකර තැබීමටයි. වර්තමානයේ අප කාගෙත් වගකීම හා යුතුකම වන්නේ එකී උත්කෘෂ්ඨ උරුමය මතුවටත් ආරක්ෂා කරදීමයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk