UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා පෙරහර අනාගතයට සුරැකීම

දළදා පෙරහර අනාගතයට සුරැකීම

ඇසළ උත්සවය මූලික කොටගෙන පැවැත් වූ ඇසළ පෙරහර සම්පූර්ණයෙන් ම දළදා පෙරහරක් බවට පත් වන්නේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමී වූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මා හිමියන්ගේ මූලිකත්වයෙනි.

ඓතිහාසික දළදා පෙරහර සහ විකාශනය පිළිබඳව අධ්‍යයනය යොමුකළ විට පෙනී යන මූලික ලක්ෂණය වන්නේ, එය කන්ද උඩරට රාජ්‍යයේ පැවති සතර දේවාලයන්හි වාර්ෂිකව වත්පිළිවෙත් සිදු කළ උත්සවයක් ලෙස පැවැත් වූ බවයි. විශේෂයෙන් ම නාථ දෙවියන්, විෂ්ණු, කතරගම දෙවියන් හා පත්තිනි දේවිය, ආශ්‍රිත වත් පිළිවෙත් සිදු කිරීම මහනුවර යුගයේ නායක්කාර වංශිකයන් යටතේ පැවතුණ අධි පෙළපත් ආශ්‍රිතව වන්දනා පිළිවෙත් සඳහා මේ කටයුතු ආරම්භ වූ බවයි.

දේව වන්දනාවක් ලෙස පැවතුණු එම උත්සවය, රණකාමී උත්සවයක් ආකාරයටත් පැවැත්වුණු බව මූලාශ්‍ර ග්‍රන්ථවල පෙන්වා දී ඇත. අනුරාධපුර යුගයේ සිට ම ඇසළ පෙරහරක් පැවැත් වූ බව මහාවංශයේ සඳහන් වේ. අපේ රට විදේශ ආක්‍රමණවලට මැදිහත් ව ලබාගත් ජයග්‍රහණ සමඟ අත් කරගත් කොඩි, සේසත්, මුරායුධ, හෙල්ල ආදී දේ පෙරහරේ ගෙනයමින් කිසියම් වූ රණකාමීත්වයක්, මෙන් ම සංදර්ශනකාමීත්වයක් පෙන්නුම් කළ අතර, රජතුමාගේ බලය පෙන්වන උත්සවයක් ලෙසට පෙරහර පැවැත් වූ බව සඳහන් වේ.

18 වන ශතවර්ෂයේ දී විශේෂයෙන් ම කන්ද උඩරට බෞද්ධ පුනරු ද ව්‍යාපාරයක් ඇතිවිය. ඒ පුනරුද ව්‍යාපාරයට නායකත්වය දෙනු ලැබුවේ වැලිවිට අසරණ සරණ සරණංකර නා හිමියන් ය. විශේෂයෙන් ම මෙම කාලය වන විට විහාරාරාම ගණින්නාන්සේලා අතට පත් වූ යුගයකි. මෙවන් වූ යුගයක නැවත වතාවක් බුදුසමය පුනරුත්ථාපනය කිරීම සඳහා සියම් දේශයට ගොස්, සියම් උපසම්පදාව රැගෙන විත් නැවත වරක් බුදු සමය ස්ථාපිත කිරීමත් සමඟ ජාතික, ශාසනික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසුව වැලිවිට සරණංකර හිමියෝ රජතුමාගෙන් ඉල්ලීමක් කළහ. එනම් සතර මහා දේවාලයන් හි පවත්වන දේවාල පෙරහරට දළදා පෙරහරෙහි කොටසක් එකතු කරන ලෙසටයි. ඒ අනුව ඇසළ මංග්‍යලය දළදා වහන්සේට කරන ගෞරවයක් ලෙසත්, පුද පූජාවක් ලෙසත් සතර දේවාල පෙරහරට ඉදිරියෙන් දළදා පෙරහර සංවිධානය වුණි. එදා දළදා පෙරහර සංවිධානය කිරීමේ දී රජතුමාගේ පූර්ණ අනුග්‍රහය, සහයෝගය ලැබුණි.

පැරැණි රාජාණ්ඩු ක්‍රමය යටතේ විහාරාරාමවලට හිමිව තිබූ ඉඩම්වලට අමතරව සෙසු ඉඩම් අයිතිකරු වූයේ රජතුමා ය. ඇසළ පෙරහර එනම් දළදා පෙරහර වෙනුවෙන් විවිධ කාර්යයන් කරන්නා වූද, එමෙන් ම පෙරහරට සහභාගි වන්නා වූ ඒ ඒ පවුල්වල ශිල්පීන්, ඒ ඒ කලාකරුවන්, ඒ ඒ නිර්මාණකරුවන් වෙනුවෙන් රජතුමා රාජසභාව යටතේ ගම්වර ප්‍රධානය කළේ ය. එමෙන් ම මුල් යුගයේ දී උඩරට කලා සම්ප්‍රදායේ විශිෂ්ටතම පාරම්පරික ශිල්පීන්, කලාකරුවන් මෙම පෙරහරට සහභාගි විය. ඒ සඳහා ඒ පැරණි පරම්පරාවල අය පාරම්පරික කලාකරුවන්ට ගම්වර ප්‍රධානය කළ අතර රාජසභාව විසින් ඒ අයට රාජකාරී පවරනු ලැබීය.

දළදා පෙරහර පැවැත්වීමේ දී පෙනී යන වැදගත් කාරණය වන්නේ ආර්ථිකමය පදනමයි. වැඩවසම් සමාජය තුළ මෙවන් වූ උත්කර්ෂවත් පෙරහරක් සංවිධානය කිරීමට හැකි වන්නේ, සෑම ක්ෂේත්‍රයකම සහභාගිත්වයෙනි. චාරිත්‍රනුකූලව පැවැත්වෙන දළදා පෙරහර ඇතුළෙ පෙරහර, කුඹල් පෙරහර, රන්දෝලි පෙරහර යනුවෙන් පැවැත්වේ. රන්දෝලි පෙරහර පාවාඩ පෙරහර සහ උඩුවියන් පෙරහර යැයි කොටස් දෙකක් ද පැවැත්වෙන අතර මෙම උඩුවියන් රැඳවීම සඳහා කණු සපයන, කණුවලට ලණු ඇඳීම වැනි කුඩා, කාර්යයන් සඳහා ද ගම්වර ප්‍රධාන කිරීම රජ දවස රජතුමා සහ රාජ්‍ය සංස්ථාව විසින් සිදු කරන ලදී. එලෙස කටයුතු සිදු කළේ පෙරහරේ සාර්ථකත්වය උදෙසා ය. ඒ වගේ ම පෙරහරේ ගමන් කරන කවිකාරමඩු, ඇත් පන්ති, බෙර, කොඩි, මුරායුධ, ආදී ගෙනයන සෑම ශ්‍රමිකයෙක් ම, එනම් රාජකාරීකරුවෙක් වෙනුවෙන් ම ඉඩම් හිමි විය. මෙවන් වූ පිරිසකගෙන් ලැබෙන කාර්යභාරයේ ශක්තිමත් බව මත ශතවර්ෂ ගණනාවක් තිස්සේ විකාශනය වෙමින් අඛණ්ඩව පවත්වාගෙන එමින් ඓතිහාසික පෙරහරක් බවට පත් ව තිබේ.

වර්තමානය වන විට පෙරහර යම් ආකාරයකට සමාජ පරිණාමයට පත්වෙමින් තිබේ. වැඩවසම් ක්‍රමය සෙමින් සෙමින් ක්ෂයවෙමින් ඒ වෙනුවෙට මුදලේ අගය, ආර්ථිකමය බලය, වෙළෙඳපොල සමාජය, ධනවාදය සමාජයේ වැඩෙමින් පවතී. මේ සංදර්භය තුළ ඓතිහාසික දළදා පෙරහරේ තිබෙන ගෞරවණීය සංදර්ශනමය ගුණය, භක්ති පූර්වකව පවත්වාගෙන යෑම, ආරක්ෂා කර ගැනීම ද යම් ආකාරයකට ගැටලුවක් වන ආකාරය, මේ පිළිබඳව අධ්‍යනය කරන සමාජ, මානව විද්‍යාත්මක, සන්නිවේදන විද්‍යාත්මක පර්යේෂකයින් හඳුනාගෙන ඇත.

උදාහරණයක් ලෙස මෙහි තිබෙන ගැඹුරු දාර්ශනික සංකල්පය වන්නේ දළදා වහන්සේට ගුණාත්මක වශයෙන් අගය කිරීම, වන්දනා කිරීම, පුද පූජා පැවැත්වීම යන අර්ථයයි. පැරණි පාරම්පරික සතර දේවාල වන්දනා කිරීමට අමතරව දළදා වන්දනය මේ පෙරහරේ දී ප්‍රමුඛ වේ.

වර්තමානයේ පෙරහරේ තිබෙන විශිෂ්ට අර්ථය අනාගතය සඳහා පවත්වාගෙන යන්නෙ කෙසේද? යන කාරණයට මුහුණපාන ඉතාම වැදගත් කේන්ද්‍රීය ප්‍රශ්නයකි. සමාජයේ ආකල්ප, වටිනාකම් සාරධර්ම, පුරුෂාර්ථ මේ සියල්ල ඉතා වේගයෙන් පරිණාමය වෙමින් පවතී. සමාජය වඩා වේගයෙන් වාණිජකරණය වෙමින්, රුපියල් ශත සමාජය දක්වා ගමන් කරමින් පවතී. මේ කාරණය තුළ විශිෂ්ට ගණයේ කලාකරුවන්, කලාකරුවන්ගේ පරම්පරා, කලා සම්ප්‍රදායන්, ඒ වගේ ම විශිෂ්ටතම උඩරට ගුණාත්මකභාවය සංරක්ෂණය කරන්නේ කෙසේ ද යන කාරණය ගැටලු සහිත ය.

පෙරහරේ උත්කර්ෂවත් ම අංගයක් වන ඇත්පන්ති ඉතාමත් වේගයෙන් අඩුවෙමින් පවතී. ඊළඟ කාරණාව පෙරහරේ ගුණාත්මක භාවය පිළිබඳවය. පෙර දවස සුරබා ගුරුණ්නාන්සේ වැනි විශිෂ්ට ගණයේ විවිධ කලාකරුවන් මෙන් ම ඒ ඒ යුගවල සිටි විශිෂ්ට ගණයේ කලාකරුවන්ගේ පරම්පරාවන්ගේ දෙවෙනි තුන්වෙනි පරම්පරා එනම් නූතන පරම්පරා මෙම වෘත්තියේ යෙදී ඉන්නවාද? යන කාරණයයි. ඒ අය මේ කාර්යයට සම්බන්ධ කරගන්නේ කෙසේ ද යන්න සංකීර්ණ ප්‍රශ්න සමුදායක ගැටලුවකි.

පෙර දවස සේ ලංකාවේ සිටි විශිෂ්ටතම කලාකරුවන් රංගනය කරන ආකාරය දකින්නට පුළුවන් පෙරහරක් දර්ශනය කිරීම අවශ්‍යව තිබේ. එහෙත් වර්තමානයේ එය කරන්න පුළුවන් ද? කියන කාරණය අප මුහුණපාන ගැටලුවකි. මෙම කරුණු ගැන සමාජ විද්‍යාඥයන් මෙන් ම මානව විද්‍යාඥයන්, සෞන්දර්යවේදීන් ඉතාම බරපතල ලෙස විමසා බැලීමේ අවශ්‍යතාවයක් තිබේ.

අද අප ජීවත්වන සමාජය ඉතා වේගයෙන් කාර්මීකරණය වෙමින් තිබේ. වාණිජකරණයට ලක් වෙමින් තිබේ. එක් පැත්තකින් වැඩවසම් සමාජ මූලයන් වේගයෙන් බිඳ වැටෙමින් පවතින අර්බුදයට ලක්වෙමින් පවතින වකවානුවකි. අනෙක් පසින් බලන කල සමාජයේ සමානාත්මතාව, පොදු බව කුසලතා, පිළිබඳ ඇගයීම එක්තරා ප්‍රමාණයකට වර්ධනය වෙමින් පවතින යුගයකි. මෙවන් වාතාවරණයක දී රටේ ප්‍රධාන කලාකාමී උත්සවය වන ඇසළ පෙරහර කෙසේ පවත්වාගෙන යා යුතු ද යන්න, සාකච්ඡාවට ලක් කළ යුතු වේ. ඇසළ පෙරහරේ අනාගත සංරක්ෂණ කාර්යයෙහි ලා එය ඉතා වැදගත් වන බැවිනි. මේ කතිකාවට පෙරහර කරවන වගකිව යුත්තන්, රජය, ආගමික ආයතන, ප්‍රජාව, බුද්ධිමතුන් යන මේ සියලු දෙනාගේ ම ඉතා සියුම්, සංවේදී අවධානයක් යොමු වීම වැදගත් වේ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk