UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිව් මහා මංගල්‍යය

සිව් මහා මංගල්‍යය

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි සිදුකෙරෙන නන් විධ පූජා විධි අතර වර්ෂයේ දුරුතු මාසයට යෙදෙන අලුත් සහල් මංගල්‍යය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ හෝ නිකිණි මාසයට යෙදෙන ඇසළ පෙරහර මංගල්‍යය, ඉල් මාසයට යෙදෙන කාර්තික මංගල්‍යය යන සතර මංගල්‍යය ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව සිදුකෙරෙන චිරාගත සම්ප්‍රදායික මංගල සම්මත ප්‍රධාන මංගලෝත්සවයන් ය.

අලුත් සහල් මංගල්ලය

දුරුතු පුර පසළොස්වක පොහොය දිනට නියමිතව ඇති අලුත් සහල් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වෙන උතුම් දළදා පූජෝපහාර මංගල්‍යයකි. මෙය අලුත් සහල් මංගල්‍යය, අලුසාල් මංගල්‍යය, අලුසල් මංගල්‍යය , අලු සහල් මංගල්ලය යනුවෙන් ව්‍යවහාරයෙහි පවතී.

රාජ්‍ය වර්ෂ 310 වැන්නේදී ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමෙන්, අනතුරුව කිත්සිරිමෙවන් මහ රජු විසින් තුන් වරක්ම මුතු මැණික් ආදී මහාර්ඝ වස්තුවෙන් සපිරුණු මේ ලක් රජය ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ විෂයෙහිද පූජා කළ බව වංශ කතාවන්ගෙන් හෙළිවේ. එතැන් සිට මෙම මහ පොළොවේ සැබෑ අයිතිකරු බුදුරජාණන් වහන්සේ බවට විශ්වාසයක් බෞද්ධ සමාජය තුළ තහවුරු විය. ඒ නිසාම රටේ සෞභාග්‍යය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කොට සිය වාර්ෂික අස්වැන්නෙන් අග්‍රභාගය, බුද්ධ පූජාවට හා දේව පුජාවට වෙන් කොට පිදීමේ සිරිත ඇරැඹිණි. ගොවීහු ස්වකීය ගොවිතැන් කටයුතු ආරම්භයේදීම අස්වැන්නේ ප්‍රථමභාගය අලුත් සහල් මංගල්‍යය පිදීමට භාර වෙති. ඒ අනුව දළදා වහන්සේ විෂයෙහි පැවැත්වෙන මෙම උතුම් චාරිත්‍රය ආරම්භ විය.

මූලික වශයෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ සිට, ශ්‍රී දළදා මාළිගාව පෙරටු කොට සතර දේවාලයන්හි පෙරහර පල්ලෙකැලේ අටුව කරා ගමන් කිරීම, දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් වී සහල් බෙදා දීම, පසු දා ගංගාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ශ්‍රී දන්ත ධාතු මන්දිරය කරා විත් සුභ මුහුර්තියෙන් ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ ගොක් කොළින් සරසා සැකසු සුවිශේෂී ස්ථානයක වී සහල් ගබඩා කිරීම හා අවසාන වශයෙන් වර්ෂයේ දුරුතු මස පසළොස්වක පොහොය දිනට යෙදෙන සුබ නැකැත් මුහුර්තියෙන් අලුත් සහල් සේරු අසූවකින් ආහාර සම්පාදනය කරවා, ව්‍යාංජන තිස් දෙකක් හා කැවිලි පිළියෙළ කරවා සුබ නැකැත් වේලාවට දෛනික මුළුතැන් බුද්ධ පූජාව සමඟ හාල් සේරු අසූවක දානය සූදානම් කර කිරිබත් පාත්‍රය පිරෙන සේ දානය පිළියෙළ කර දළදාවහන්සේ විෂයෙහි පූජා කිරීම සිදුවේ.

දුරුතු පුර පසළොස්වක පෝය දිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් හා ආලත්ති අම්මාවරු ලවා අලුත් සහල් පිරිසුදු කොට තබා පෝය දින පෙරවරුවේ ලිප බැඳ එය වටා කහ දියර ඉස අලුත්සහල් සේරු 80 කින් බුද්ධ පූජාව සූදානම් කරවනු ලැබේ. එම පූජාව සඳහා අවුල්පත් හා ව්‍යාංජනද සූදානම් කර ගනිති.

උඩමාලේ පිරිත් කොටුවෙන් ඇතුළුවූ විට පිවිසෙන හඳුන් කුඩම තුළ හාල්සේරු අසුවකින් පිසූ ආහාර පිරවිය හැකි විශාල කිරිබත් පාත්‍රය තැන්පත් කොට තබා මහානායක මාහිමිපාණන් වහන්සේද, තේවාවභාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනෙකුත් තේවාභාර ස්වාමීන්වහන්සේලාද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලකරුවෝද මහත් ශ්‍රද්ධාවෙන් කිරිබත් පාත්‍රය පිරෙන තෙක් දානය බෙදති. ව්‍යංජන අවුල්පත් හා පලතුරු ආදිය පුජාසනය මත වෙනම තැන්පත් කිරීමෙන් අනතුරුව සියලු දාන වස්තු ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජා කරති. මෙම පුජාව කෙරෙනුයේ දිනපතා අමුතු මුළුතැන් බුද්ධ පුජාවට අමතරවය. සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද මෙකී වේලාවේදිම අලුත් සහලින් පිසූ අහරින් බුද්ධ පුජා හා දේව පුජා සිදු කරති.

අලුත් අවුරුදු මංගල්ලය

අලුත් අවුරුද්ද උදෙසා කිරි ඉතිරවීම චාරිත්‍රය ද ශ්‍රී දළදා මාළිගාවේදී සිදුවේ. රටට ජනතාවට සෞභාග්‍යය , සමෘද්ධිය ප්‍රාර්ථනා කොට ප්‍රධාන දොරටුව, අරමුදල අබියස දොරටුව හා පල්ලේමාලේ දොරටුව යන තුන් ස්ථානයේදී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ. මෙම අවස්ථාවට තේවාභාර හිමිවරුද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවන්ද සහභාගි වෙති. කිරි ඉතිරවීම සඳහා එළකිරි වැනි සත්ව කිරි භාවිතා නොකරන අතර ඒ වෙනුවට පොල්කිරි යොදා ගැනීම සිරිතය. මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පුජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පුජා මුළුතැන් මංගල්‍යය සිදුකරති.

එළඹෙන ආසන්නම බදාදා දිනයේද නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදුහඳුන්, රත්හඳුන්, කුංකුම, ගෝරෝචන , කුංකුමප්පුථ ,විෂ්ණු ක්‍රාන්ති, ගොඩමානෙල් අල, නස් නාරං මුල්, බෙලි මුල්, නෙළුම් දඬු, වෙනිවැල් ගැට, ඊතණ , ඉඹුල් මැලියම්, දිවුල් මැලියම්, සුවඳ කොට්ටම් , අමු කහ ,වියළි ඉඟුරු ආදිය සම සමව ගෙන සාදනු ලබන නානු, කුඩා මුට්ටු වල අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සදහන් වන විහාරස්ථාන හා සතර දේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදාදීම චිරාගත සම්ප්‍රදායයි. මෙම නානුවලින් නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාලවලදි නානුමුර මංගල්‍යයන් සිදුවේ.

ඇසළ පෙරහර මංගල්ලය

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිවු මහාදෙවියන්ට බැතිපුද පිණිසත්, කලට වැසි ලැබ කෙත්වතු අස්වැන්නෙන් සරුසාර වීම පිණිසත්, හෙළයේ සංස්කෘතික අභිමානය ලොවට විදහා දැක්වීම පිණිසත් වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය හෙළයේ ශාසනික හා සංස්කෘතික අභිමානය ලොවට විදහා දක්වන මහාසංස්කෘතික මංගලෝත්සවයක් වන්නේය. බුදුදහම තුළින් උරුම වූ හැදියාව, සාරධර්ම , හැඩගැස්ම, ඥානය, කලාශිල්ප, සදාචාරය, ගුණධර්ම, සිරිත්විරිත්, නීතිරීති, හා නිර්මාණ ආදියෙහි ශී‍්‍රශෝභාවය දෙස් විදෙස් හැමදෙනා හමුවෙහි ප්‍රදර්ශනය කරනුයේ ව්‍යවහාර වර්ෂයෙන් 310 වැන්නේ සිට අද වන තුරු චිරාගත සම්ප්‍රදායානුකූල පුදසිරිත් නොකඩ කොට පවත්වන වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්ලය තුළිනි. අටලෝ දහමට අනුව තම ජීවිත දැක්ම හැඩගසා ,ගත් හෙළ කලාකරුවා ස්වකීය කලාකාමිත්වය හා නිර්මාණ කුසලතාවය ආත්මාර්ථයෙන් තොරව සමාජයේ හා දහමේ ප්‍රගමණය පිණිසත්, බුද්ධාලම්භන පී‍්‍රතිය හා ආගම දහම කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ජනිත කරවීම පිණිසත්, කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ලෝකයා හමුවෙහි ඉස්මතු කොට දක්වනුයේ සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍යය තම එකම වේදිකාව කොටගෙනයි.

කිත්සිරිමෙවන් මහරජුගේ අභිෂේකයෙන් නමවැන්නේදී හේමමාලා, දන්තකුමරු විසින් ලක්දිවට වැඩමවූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රුවන්මය කරඬුවක වඩාහිඳුවා, තම හිසමතින් මේඝගිරි මහාවිහාරය් සිට ඇතුළු නුවරට වැඩමවූයේ මහපෙරහරින් බව දාඨාවංශයෙන් හෙළි වේ. දළදා වහන්සේ ලැබීමෙන් සක්විති රජය ලැබුණාක් මෙන් මහත් බුද්ධාලම්භන පී‍්‍රතියට පත් කිත්සිරිමෙවන් මහරජතුමා ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ දී මුල්ම දළදා පෙරහර ආරම්භ කළේය. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් නවලක්ෂයක් දන විසඳා, දළදා වහන්සේ වැඩසිටි මුල් දළදා මාලිගාව වූ ධම්මචක්කගේහයේ සිට අභයගිරි විහාරය වෙත අලංකාර විසිතුරු පෙරහරකින් දළදා වහන්සේ වැඩමවා, අනූ දිනක් තිස්සේ ප්‍රදර්ශනය කරවා, මතු රජවන රජුන් විසින්ද මෙම පුජා චාරිත්‍රය පැවැත්විය යුතු බවට චාරිත්‍ර ලේඛනයක් ලියවු බව මහාවංශයෙන් හා දාඨාවංශයෙන් හෙළිවේ.

අනුරපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගඟසිරිපුර, කෝට්ටේ, සීතාවක යන රාජධානින්හිද රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම අසිරිමත් ඇසළ පෙරහර මංගල්‍යය රාජ්‍ය වර්ෂ 1592 වැන්නේ සිට අද දක්වා ගුණාත්මක හා සංඛ්‍යාත්මක වශයෙන් අභිවර්ධනය වෙමින් ජාතියට දායාද වී තිබීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම මහත් අමන්දානන්දයට හේතුවනු නිසැකය.

කාර්තික මංගල්ලය

මානව ඉතිහාසයේ මුල සිටම වාගේ අග්නි පූජාව විශේෂ වැදගත්කමකින් යුතුව සලකා ඇත. හින්දු සමයේ අග්නි පූජාව තුළින් උපන් ප්‍රදීප පූජාව, දඹදිව උපත ලැබු බුදු සමයෙහි ද ආමිෂ පුජාවක් වශයෙන් ප්‍රධාන තැනක් ගන්නා පූජාවක් බවට පත්විය. අසු හාර දහක් ධර්මස්කන්ධය සංකේතවත් කොට අසු හාරදහසක් පහන් පුජා පින් කම් පැවැත්වීම බෞද්ධයන් අතර අදත් බහුලව පවතී. ස්කන්ධ පුරාණයට අනුව කැති නැකතින් උපන් කාර්තිකේය හෙවත් කඳු සුරිඳු උදෙසා ඉල් මැදි පෝය දින ප්‍රදීප පූජා පැවැත්වීම හින්දූන් තුළ දුරාතීතයේ පටන් පැවැතෙන පූජා චාරිත්‍රයකි.

මහනුවර යුගයේදි දෙවන රාජසිංහ රජතුමාගේ සමයෙහි ද ප්‍රදීප පුජාමය කාර්තික උත්සවය පැවැති බව රොබට් නොක්ස්ගේ වාර්තාවෙහි සඳහන් වේ. කන්ද උඩරට නායක්කර් වංශික රජදරුවන් යටතේ කාර්තිකයෙහි, ප්‍රදීප පූජෝත්සවය පැවැත්වීම වඩාත් ප්‍රචලිත වූවායැයි සිතිය හැකිය. මහාවංශයේ සඳහන් වන අයුරින් ශ්‍රී විජය රාජසිංහ රජතුමා “ස්වකීය පුරයෙහිද රටවලද ඒ ඒ තැන චෛත්‍යයන්හි එක දවසින්ම පහන් පුද කෙරෙත්වායි ආඥා කොට ජන සමූහයා රැස් කරවා එක් ලක්ෂ අනූදහස් සත් සියයක් පහනින් පුජාවක්ද කළේය. මෙසේ එකල්හි රජ තෙමේ ලංකාද්වීපය භූමිය උස්ව බබළන පහනින් තාරකාවන් විසින් ගැවසුණු අහස සේ කළේය” යනුවෙන් විචිත්‍ර ප්‍රදීප පූජාවක් පැවැත්වු බව කියැවේ. සිවු මහා මංගල්‍යයට අමතරව වාර්ෂික වෙසක් පෙරහර මංගල්‍යය, පොසොන් පෙරහර මංගල්‍යය, හා වාහලනාග උපසම්පදා පෙරහර මංගල්‍යය මංගලෝත්සවයක්ද අඛණ්ඩව සිදු කරේ. ශී‍්‍ර දළදා වහන්සේ මුල්කොට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අදටත් පවත්නා චිරාගත සාම්ප්‍රදායික තේවා චාරිත්‍ර විධි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි අග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන් වහන්සේ විසින් ඉටුකරනු ලැබුවා වූ බුද්ධෝපස්ථාන, බුදු පුද චාරිත්‍රයන්හි ජීවමාන නිදර්ශනයකි. ඒ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ ජීවමානව වැඩ සිටින ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ආගමික, සංස්කෘතික, සාමාජික හා පුරාවිද්‍යාත්මක අග්‍රගණ්‍ය සංකේතයක් වශයෙන් මෙන්ම, සමස්ත ලෝකවාසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සුරක්ෂිතව පැවැතීම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම බුද්ධාලම්භන පී‍්‍රතියට හේතුවනවා නොඅනුමාන ය.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk