UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා සාහිත්‍යය

දළදා සාහිත්‍යය

මූලාශ්‍රයන් ඇසුරෙන් දළදා සිරිත, දළදා පූජාවලිය, දාඨා ධාතු චාරිත්‍ර ආදී පොත පත ලියැවුණි. මේ සෑම ග්‍රන්ථයකම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවන් සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. ඒ සමඟම ලක්දිවට එල්ල වූ විවිධාකාර සතුරු ආක්‍රමණවලදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා විවිධ ස්ථානවලට රැගෙන ගිය ආකාරය, දළදා වහන්සේ උදෙසා නොකඩ කොට පුද පූජා පැවැත්වූ ආකාරය පසුකාලීනව ලියැවුණු දළදා සිරිත, දළදා පූජාවලිය ආදී පොත්පත් වල ද සඳහන් වෙයි. දළදා සිරිත දළදා සාහිත්‍යයෙහි විශිෂ්ටම කෘතියයි.

මහනුවර සෙංකඩගලපුර වැඩ සිටින වාම ශ්‍රී දළදා වහන්සේ බෞද්ධයාගේ පරම පූජනීය වස්තුවයි. දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සුපින්බර පුවත නිසා අද දළදා සාහිත්‍ය ගැන සඳහන් පොත් පත් බහුල වී තිබෙයි.

ලක්දිව කිත්සිරිමෙවන් රාජ්‍ය කාලයේ කළිඟු රටේ රජු යුද්දෙන් පැරදී රජුගේ දියණිය වූ හේමාමාලා කුමරිය , දන්ත කුමරු සමඟ බමුණු වෙස්ගෙන ලක්දිව අනුරපුරයේ ඉසුරුමුණිය වෙත දළදා වහන්සේ රැගෙන ආහ. පින්බර හේමමාලා කුමරිය බොහොම ශ්‍රද්ධා භක්තියෙන් දළදා වහන්සේ කරඬුවක තබාගෙන කෙස් කළඹෙහි සඟවා ගත්තේ එහි ආරක්ෂාවටයි. ඒ කරඬුව අදත් දළදා මාළිගාවේ කරඬුවෙහි විරාජමානව බැබළෙයි.

මේ සුවිශේෂී පූජා වස්තුව නිසාම දළදා සාහිත්‍ය ගැන දීර්ඝ කාලීනව ලියැවුණු පොත පත බහුලයි. එහෙත් එයින් විද්‍යමාන වන්නේ ඉන් කිහිපයක් පමණි. අනුරාධපුර යුගයේ ලියැවුණු එළු දළදා වංශයේ ඇති කරුණු තහවුරු කරගත්තේ චූල වංශයෙනි. එය අද අභාවයට පත් වුණත් පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ කාලයේ ධර්මකීර්ති නම් ස්වාමීන් වහන්සේ නමක් එළු දළදා වංශය පාලියට නැගුවේ දාඨා වංශය නමිනි. ශබ්ද රසයෙන් පිරි මෙහි ගාථා 415කින් සමන්විතය. එහි සඳහන් වූයේ සම්බුද්ධ පරිනිර්වාණයේ සිට කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේ දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ පුවත පිළිබඳ සවිස්තරයයි. එසේම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පුජාවන් මෙන්ම චාරිත්‍ර සම්ප්‍රදාය පිළිබඳවත් මෙහි සඳහන් විය. චූල වංශ කථා සාහිත්‍යය මේ ගැන සාක්ෂි දරයි.

පසු කාලීනව මේ මූලාශ්‍රයන් ඇසුරෙන් දළදා සිරිත, දළදා පූජාවලිය, දාඨා ධාතු චාරිත්‍ර ආදී පොත පත ලියැවුණි. මේ සෑම ග්‍රන්ථයකම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජාවන් සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම පිළිබඳ තොරතුරු සඳහන් වෙයි. ඒ සමඟම ලක්දිවට එල්ල වූ විවිධාරකාර සතුරු ආක්‍රමණවලදී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා විවිධ ස්ථානවලට රැගෙන ගිය ආකාරය, දළදා වහන්සේ උදෙසා නොකඩ කොට පුද පූජා පැවැත්වූ ආකාරය පසුකාලීනව ලියැවුණු දළදා සිරිත, දළදා පූජාවලිය ආදී පොත්පත් වල ද සඳහන් වෙයි. දළදා සිරිත දළදා සාහිත්‍යයෙහි විශිෂ්ඨම කෘතියයි. කුරුණෑගල රාජධානියේ හතරවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ රචිත මෙහි කතුවරයා ලෙස පැවසෙන්නේ දෙව්රූ දම්පසඟිතාවන්ය. කුරුණෑගල යුගයේ පරාක්‍රම බාහු රාජ්‍ය කාලය දක්වා සංෂිප්ත විස්තරය සහ අතීතයේ සිට පැවැති දළදා පුද සිරිත පිළිබඳ තොරතුරු මෙහි අන්තර්ගතය.

දළදා පූජාවලියේ කතුවරයා අඥාත ය. නමස්කාරයෙන් ඇරැඹෙන දළදා පූජාවලිය පොළොන්නරු යුගයේ රචනා වූ පාලි දාඨක වංශයේ සිංහල පරිවර්තනයකි.

අනුරපුරට වැඩම කරවූ දළදා වහන්සේ තැන්පත් කළ මාළිඟාව සොළී ආක්‍රමණයෙන් විනාශ විය. එම නිසා තිස්සමහාරාමයේ ථුපයක දළදා වහන්සේ තැන්පත් කළ බව පොත පතෙහි සඳහන් ය. එමෙන් ම සොළී ආක්‍රමණ අවසානයේ නැවත වතාවක් දළදා වහන්සේ් වැඩ සිටි ස්ථූපයෙන් වෙන්කරවා පොළොන්නරුවට වැඩම කරවූහ. මේ ඓතිහාසික පුවත පොත පතෙහි මෙන්ම තිස්සමහාරාමයේ සෙල්ලිපියක ද සඳහන් වෙයි. එබැවින් වාම දළදා වහන්සේ අනුරපුර යුගයේදී ම තිස්සමහාරාමයේ තැන්පත් කළ බව අපට පිළිගත හැකියි.

පොළොන්නරු යුගයේ දී දළදා වහන්සේගේ ආරක්ෂාව පතා පළමු වන විජයබා රජතුමා ඇප කැප විය. එතුමා තිස්සමහාරාමයේ වැඩසිටි දළදා වහන්සේ පොළොන්නරුවේ මාළිඟයක් තනා තැන්පත් කළේය. එහි ආරක්ෂාවට වේලයික්කාර ද්‍රවිඩ හමුදාවක් යෙදවූ බවට වේලයික්කාර සෙල්ලිපියට අනුව සඳහන් වෙයි. සෙල්ලිපිවල සඳහන් තොරතුරුත්, සාහිත්‍යය පොත පතෙහි සඳහන් තොරතුරුත් එකට ගැළපීමේදී ඒවා පසුකාලීන තොරතුරු ලෙස ඉතිහාසඥයන් විසින් විග්‍රහ කරනු ලැබ තිබේ. මෙසේ අනුරාධපුර යුගයේ දී දළදා වහන්සේට රැකවරණය සලසමින් බොහොම ශ්‍රද්ධාවෙන් පුද පූජා පැවැත්වූ අතර පසුව පොළොන්නරු යුගයේදී පළමුවන පරාක්‍රමබාහු රජතුමා බලයට පත් වූ අවස්ථාවේදී කාලිංග මාඝ යුද්ධයෙන් පොළොන්නරුව ආක්‍රමණය කළ නිසා දළදා වහන්සේ කොත්මලේට වැඩම කරවූහ. කාලිංග , මාඝ ආක්‍රමණය අවසානයේ දී තුන්වන විජයබා රජතුමා කොත්මලේ වැඩ සිටි දළදා වහන්සේ බෙලිගලට වැඩම කරවා තෙමහල් ප්‍රාසාදයක තැන්පත් කළහ. පළමු බුවනෙක බාහු රජතුමාගේ යුගයේ දී ආර්ය චක්‍රවර්තී විසින් දළදා වහන්සේ පඬි රටට රැගෙන යනු ලැබුවේය. එහි රාජ්‍ය කළ රජතුමාට දළදා වහන්සේ බාර දුන්නේය. ලක්දිව තුන්වන පරාක්‍රමබාහු රජතුමා පඬි රටේ රජතුමා සමඟ මිත්‍ර සබඳතා පවත්වා නැවත දළදා වහන්සේ ලක්දිව පොළොන්නරුවේ වඩා හිඳවූයේය.

එකල ලක්දිව රාජ්‍ය කළ තුන්වන බුවනෙකබාහු රජතුමා පොළොන්නරුවේ වැඩසිටි දළදා වහන්සේ දඹදෙණියට වැඩම කරවූවේය. මේ පින්වත් රජතුමා තමන්ගේ මාළිගාව සමීපයේම දළදා මාළිගයක් තනා එහි තැන්පත් කළ දළදා වහන්සේට දෛනිකව වත් පිළිවෙත් නිබඳවම සිදු කළේය. මුඛ පරම්පරාගතව ආ සිරිත් විරිත් තව දුරටත් ඉදිරියට රැක ගැනීමට අවශ්‍ය නිසා දාඨා ධාතු චාරිත්‍ර නමින් පොතක් ද රචනා කළේය.

හයවන පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේ දළදා වහන්සේ නැවත වතාවක් කෝට්ටේ රාජධානියට වැඩම කරවූහ. සංදේශ සාහිත්‍යයෙහි සඳහන් සේ දළදා මාළිඟයක් තනා දළදා වහන්සේ එහි තැන්පත් කළේය. මෙහිදී දළදා වහන්සේ වැඩ සිටි කුටිය බාර වූයේ හිරිපිටිය රාළටයි. ඉන්පසු රජ වූ අන්‍ය ආගමිකයෙක් වූ ධර්මපාල රජතුමාගේ කාලයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව සැලසුවේය. හිරිපිටිය රාළ විසින් දළදා වහන්සේ කොත්මලේ බෙංගමුව විහාරයට වැඩම කරවනු ලැබීය. සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වූ පසුව පළමුවන විමල ධර්මසූරිය රජතුමා දෙල්ගමුවේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවර සෙංකඩගල නුවරට වැඩම කරවූයේය.

මහනුවර යුගයේ රචනා වූ කුඩා පද්‍යය සංග්‍රයක් වූ දළදා හටන පස්වන සියවසේ ලංකාවට පැමිණි පාහියන් භික්ෂූන් වහන්සේගේ දේශාඨන වාර්තාවෙහි සඳහන් වූ දළදා පෙරහර පිළිබඳව වර්ණනාත්මක විස්තරයක් ඇතුළත්ය.

ක්‍රි.ව 1818දී වැලිගල කිවිඳු විසින් රචනා කරන ලද දාඨාගොත් ප්‍රදීපයෙහි දළදා ප්‍රාතිහාර්ය පිළිබඳ විස්තර ඇතුළත්ය.

ක්‍රි.ව 1925දී පමණ ලියැවුණු දළදා වතුර විශේෂිතය. දීර්ඝ කාලීන නියං සමයක දළදා ප්‍රදර්ශනය පැවැත්වීමෙන් පසු මහ වැසි ඇද හැළීම වස්තු විෂය කරගනිමින් ලියැවුණේ දළදා වතුරයි. එය කවි 158කින් සමන්විතය.

කන්ද උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් විජිතයක්ව පැවැති යුගයේ දළදා පුවත පිළිබද ලියැවුණු අවසාන කෘතිය දළදා විත්ති වෙයි. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලයේ පැවැත්වූ පුද පූජාවල විස්තර කිරීමට රචනා කර ඇත. ඉංශ්‍රීසි ජාතිකයන් මහනුවර රාජ්‍ය ආක්‍රමණය කළ අවස්ථාවේ දළදා හිමියන් සඟවා තැබූ ආකාරය මෙහි සඳහන්ය.

කොළඹ යුගයේදී දළදා වංශ කාව්‍ය ලියැවුණි. පද්‍ය 238ක් වූ මෙහි කතුවරයා වන්නේ කේ. එම් සිල්වා මහතාය. ධර්මසේන හිමියන්ගේ පාලි දාඨාවංශයේ ආභාෂය මෙම කෘතියට ලැබී ඇත. තවද කොළඹ යුගයේදී දළදා කාව්‍ය, දළදා වරුණ ආදී කෘතීන් ද ලියැවුණි.

බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස බැබළෙන වාම ශ්‍රී දළදා වහන්සේ ගැන ලියැවුණු පොත පත දළදා සාහිත්‍යයයි. එය වර්තමානයේ මෙන්ම වසර දහස් ගණනක් මතු අනාගතයටත් මහඟු දායාදයක් වන්නේය.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk