UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු පුද දළදා තේවා

බුදු පුද දළදා තේවා

ශ්‍රී ලාංකීය බෞද්ධයින් තුළ පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයින් තුළම තථාගත බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව ඇත්තේ අසීමිත ගෞරවයකි. මේ නිසාම අතීතයේ සිට අනෙකුත් පූජ්‍ය වස්තූන්ට වඩා දළදා වහන්සේ විෂයෙහි අනේකවිධ පුජාවන් පවත්වන්නට බෞද්ධයෝ උත්සුක වූහ. මේ නිසාම දළදා පූජා චාරිත්‍ර විශේෂයක් ආරම්භ වූවා සේ ම එය බෞද්ධ ජන සංස්කෘතිය තුළ සුවිශේෂී අංගයක් බවට ද පත්විය.

මෙහි ඓතිහාසික පසුබිම විමසා බැලීමේ දී ප්‍රාථමික පුද පූජා හා විශ්වාසයන්ට හුරු පුරුදුවී සිටි ප්‍රාග් බෞද්ධ ලාංකිකයෝ අනුබුදු මිහිඳු හිමියන් වහන්සේ බුදුදහම හඳුන්වා දීමත් සමඟ එහි ඇති උසස් හරපද්ධතීන් සමඟ අනුගත වන්නට වූහ. මේ නිසාම ගස් ගල්, පර්වත, අව්ව, වැස්ස වැනි ස්වභාවික වස්තූන් විෂයෙහි පුද පූජා පැවැත්වු මොවුහු රත්නත්ත්‍රය විෂයෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන වන්දනාමාන කිරීමට හුරු වූහ. ධාතු වන්දනාව, බෝධි වන්දනාව, ප්‍රතිමා වන්දනාව වැනි වන්දනාමාන ක්‍රම ගොඩ නැ¼ගුනේ හුදෙක් අන්ධානානුකරණයෙන් සිදුකරන ඇදහිල්ලක් ලෙස නොව බුදුපියාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය විෂයෙහි කරනු ලබන ආමිස පූජාවක් ලෙසයි.

බෝධියාගමනයත් සමඟ විශේෂිත පූජා චාරිත්‍ර සමුදායක් ඒ වටා ගොඩනැඟුනා සේම ඊටත් වඩා සුවිශේෂී ලෙසින් දළදා වහන්සේ වෙනුවෙන් පුද පූජා පැවැත්වීමට මොවුහු උත්සුක වූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ඇති අනෙකුත් සියලුම පූජා වස්තූන්ට වඩා සුවිශේෂී ගෞරවයක් මෙන් ම විශේෂිත පූජා චාරිත්‍ර සමුදායක් දළදා වහන්සේ මුල්කරගෙන විකාශය වන්නට විය.

අද අපි දකින්නේ කිත්සිරිමෙවන් රජ දවස සිට ක්‍රමිකව විකාශනය වී මහනුවර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වඩාත් ක්‍රමවත් ලෙසින් සකස් වූ සුවිශේෂී දළදා පූජා විධි සමුදායකි. මෙම පූජාවන් අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රධාන කොටස් තුනකට බෙදාගත හැකි ය.

දෛනිකව සිදු කෙරෙන තේවාව සහ පූජාවන්

සතිපතා කෙරෙන මංගල්‍යය හෙවත් නානුමුර මංගල්‍යය

වාර්ෂික මංගල්‍යය හෙවත් සතර මංගල්‍යය යනුවෙනි

දෛනික තේවාව

දළදා වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කළ අවදියේ සිට එය ජීවමාන බුදුරදුන් සේ සලකා කටයුතු කිරීමට මෙරට බෞද්ධයෝ උත්සුක වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ජීවමාන බුදුපියාණන් වහන්සේට එදා අනඳ මාහිමියන් කළ උපස්ථානයක් දළදා වහන්සේ විෂයෙහි පැවැත්වීමට මෙරට ගිහි පැවිදි උතුමෝ වගබලා ගත්හ. මේ නිසා දවසට තුන් විටක් දළදා වහන්සේ උදෙසා ජීවමාන බුදු පියාණන් වහන්සේ ලෙසින් සළකා තේවාව සිදුකිරීමටත්, පුද පුජා පැවැත්වීමටත් පටන් ගත්හ.

අලුයම තේවාව

අලුයම තේවාව ආරම්භ වන්නට පෙර පාන්දර 05.15 ට පමණ අලුයම්දුරය හෙවත් හේවිසි වාදනය පැවැත්වේ. තේවාව භාර නාහිමිවරුන් සහ ගිහි තේවා සහායකයින් දළදා මැදුරේ වැඩ ඉන්න මාළිගයේ දොර යතුරු සමඟ අළුයම 05.30 ට පැමිණෙන තෙක් මෙම හේවිසි වාදනය සිදුකෙරේ. වැඩ සිටින මාළිගයේ දොරගුළු විවෘත කර ඇතුල් මාළිගයට වැඩම කරන තේවාව භාර නාහිමිවරු හා රාජකාරි කරුවන් ප්‍රථමයෙන් ම අලුයම තේවාව සිදු කරති. ඒ සඳහා ද නැවත හේවිසි වාදනය ආරම්භ කරන අතර එය අලුයම පූජාව අවසන් වන තෙක් එක දිගටම සිදු කිරීම ද විශේෂත්වයකි.

අලුයම තේවාව නිම වූ පසු සුළු වේලාවකට සැදැහැවතුනට වන්දනාමාන කිරීම සඳහා උඩුමාලේ දොරවල් විවෘතව තබනු ලැබේ. ඒ අතරතුර දළදා වහන්සේ උදෙසා මාළිගාවේ මුළුතැන් ගේ ඒ වන විටත් සකස්කොට ඇති මුළුතැන් පූජාව හේම කදින් උඩුමාලයට වැඩමවා කත්තියන රාළට බාර දේ. ඔහු විසින් එම පුජාවන් මහරන් පාත්‍රවලට බහා නියමිත වේලාව එළඹෙනතුරු සූදානමින් සිටී.

හරියටම අලුයම 06.00 ට දළදා වහන්සේ උදෙසා බුද්ධ පූජාව හෙවත් මහමුළුතැන් පූජාව පවත්වනු ලැබේ. එදා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාගේ නියමය පරිදි එතුමාගේ මුළුතැන්ගේ සකස් කළ රාජ භෝජනය මෙසේ මුළුතැන් පූජාවක් ලෙස දළදා වහන්සේට පූජා කිරීමට රජතුමා කටයුතු යෙදී ය. එය අදටත් නොකඩවා සිදු කිරීම මෙහි ඇති සුවිශේෂී භාවය යි. මේ සඳහා හාල් සේරු 32 ක බත් දානය සහ ව්‍යංජන තිස් දෙකක් ද ඊට සරිලන අවුල්පත් ද පූජා කරනු ලැබේ.

නවපෑතේවාව හෙවත් දවල් බුද්ධ පූජාව

මේ සඳහා දළදා මාළිගාවේ ඇතුළු මාලයේ දොරවල් විවෘත කරනු ලබන්නේ පෙරවරු 09.00 ට පමණයි. එහි දී පළමුවෙන් ම සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා සුළු වේලාවකට උඩ මාලයේ දොරවල් විවෘතව තබනු ලැබේ. ඒ දවල් පූජාව සකස් කරගන්නා තුරු පමණි. මේ අවස්ථාවේ හේවිසි වාදනය කරනුයේ හේම කදින් පූජාව වැඩම කරන විටයි. අනතුරුව පෙරවරු10.00 ට දවල් බුද්ධ පුජාව හෙවත් මුළුතැන් පූජාව පවත්වනු ලැබේ. මෙහිදී ද අලුයම පූජාව හා සමානව ම හාල්සේරු 32 ක දානය සහ පෙර කී පරිදි අවශේස ව්‍යංජන හා අවුල්පත් ද පූජා කරනු ලැබේ.

සන්ද්‍යා තේවාව

පස්වරු 06.15 ට සන්ද්‍යාධූරය හෙවත් හේවිසි පූජාවක් ආරම්භ වේ. 06.25 ට පමණ වැඩසිටින මාලයේ දොරවල් විවෘත කරන මොහොත දක්වා හැන්දෑධුරයේ හේවිසි නාද කෙරේ. සවස තේවාව 06.30 ට පටන් ගන්නා අතර ඒ මොහොතේ නැවතත් තේවාව සඳහා හේවිසි නාදකෙරෙන අතර එය නොකඩවා ගිලන්පස පූජාව අවසන් වන තුරුම සිදුකිරීම මෙහි ඇති විශේෂත්වය යි. සවස ගිලන්පස සකස්කරන තුරු සැදැහැවතුන්ට වන්දනා කිරීමට උඩුමාලේ දොරවල් විවෘත කෙරේ. ඒ අතරතුර පානීය වර්ග 14කින් පමණ සමන්විත සුවිශේෂි ගිලන්පස කත්තියන රාළ විසින් සූදානම් කරන අතර මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ ඒ දින භාරගත් සැදැහැවතුන් විසින් සපයනු ලැබේ. පස්වරු 07.00 ට පළමු ගිලන්පස පූජාව පැවැත්වෙන අතර ප.ව. 07.30 ට දෙවන ගිලන්පස පූජාවක් ද පැවැත්වීම දළදා මාළිගාවටම ආවේණික චාරිත්‍රයකි. දිනක් රජතුමා ප්‍රමාදවීම නිසා එතුමාට පූජාව පැවැත්වීමට නොහැකි විය. එනිසා එතුමාගේ ඉල්ලීම පරිදි දෙවන ගිලන්පස පූජාවක් පැවැත්වීමේ චාරිත්‍රයක් ආරම්භ විය. දෛනික වශයෙන් සිදුවෙන මේ පූජාවන් කිසිදු වෙනසකින් තොරව ඒ හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර සමඟ නිසි වේලාවටම සිදු කිරීම දළදා මාළිගාවේ ඇති වැදගත් ම ලක්ෂණයයි.

සතිපතා කෙරෙන මංගල්‍යය

සතිපතා කෙරෙන මංගල්‍ය යනු නානුමුර මංගල්‍යයයි. මෙය බදාදා දිනවල සිදුකරනු ලැබේ. මේ හා බැඳි චාරිත්‍ර සමුදායක් ඇත. බදාදා අලුයම තේවාව නිමවා ඇතුල් මාලයේ ඇති සියලු තේවා උපකරණ සුද්ධ පවිත්‍ර කර දළදා ගේ සහ අවට පිරිසුදු කිරීමක් සිදුකෙරේ. බදාදා දිනවල නානුමුර මංගල්‍යයට ගනු ලබන තේවා භාණ්ඩ ද මෙලෙස පිරිසුදු කොට දුම් අල්ලා මල් ආසනය මත තබා නානුමුරයට අවශ්‍ය සියලු දේ සූදානම් කර තබයි.

අනතුරුව තේවාවභාර නාහිමිවරු හා ගිහි තේවා සහායකයින් සියලු දෙනා දෙහි ඇඹුල් ගා ස්නානය කරති. එදා දිනට ආවේණික සිවුරු පිරිකර හැඳ පොරවාගෙන පෙ.ව. 09.00 ට නානුුමුර මංගල්‍යය සඳහා ඇතුල් මාළිගයට පිවිසෙති. මේ වන විට දළදා මාළිගාවේ සියලු රාජකාරිකරුවන් පැමිණ සිටිය යුතු ය. නිල සතරේ පනික්කිවරු –කවිකාර මඩුව , ආලත්ති අම්මලා – විදානේවරු ආදීන් ඒ අතර වෙති. 09.15 පමණ නානුමුර මංගල්‍යය ආරම්භ වේ. හක්ගෙඩි රාල විසින් හක්ගෙඩිය නාදකිරීමත් සමඟ පඤ්චතූර්ය නාද මධ්‍යයේ නානුමුර මංගල්‍යය පවත්වනු ලැබේ. මෙදින කවිකාර මඩුව ,ආලත්ති අම්මලා, හේවිසිකරුවන් තම තමන්ට ආවේණික වූ චාරිත්‍ර ඉටුකළ යුතු ය. නානුමුර මංගල්‍යය අවසන මෙම නානු සැදැහැවතුන්ට බෙදා දෙන අතර මේවා ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටිති. මෙදිනට කුඩා දරුවන් දළදා වහන්සේට බාර කිරීම ද විශේෂත්වයකි.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk