UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් දළදා ඉතිහාසය

අසිරිමත් දළදා ඉතිහාසය

ඓතිහාසික සෙංකඩගලපුර පිහිටි දළදා මන්දිරය තුළ වැඩ සිටින ජීවමාන බුදුන් වහන්සේ වශයෙන් සලකනු ලබන උතුම් දළදා වහන්සේ ලංකාවාසීන් මෙන්ම මුලු මහත් ලෝකවාසී බෞද්ධයින් විසින් මහත් හරසරින් පිළිගන්නා වූ පරම පූජනීය වස්තුවකි. බුුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශරීරය ආදාහනය කළත් උන්වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව සතර දළදාව, ලලාට ධාතුව, අකුධාතු හා ග්‍රීවා ධාතු යන ධාතූන් වහන්සේලා හැර අනික් සියලු ශාරීරික කොටස් කුඩා කැබලිවලට බිඳී ගියහ. මෙම ප්‍රධාන ධාතූන් වහන්සේලාගෙන් සතර දළදා වහන්සේලා වැඩ සිටින ස්ථාන ලෙස දැක්වෙන්නේ තව්තිසා භවන, ගන්ධාර දේශය , කාලිංග දේශය හා නා ලොවයි.

ලක්දිව ලිය වී ඇති දළදා සිරිත, දාඨාවංශය,දළදා පූජාවලිය ආදී ධාතු වංශකථාවන්හි සඳහන් අන්දමට ඉහතින් සඳහන් කළ සතර දළදාවන්ගෙන් දෙනමක්ම වර්තමානය වන විට පිහිටා තිබෙන්නේ ලංකාද්වීපයෙහිය. නා ලොව තිබූ දකුණු දළදා වහන්සේ කාවන්තිස්ස රජුුගේ කාලයෙහි මහාදේව තෙරුන්ගේ ශිෂ්‍ය මිහිඳු නම් තෙරුන් වහන්සේ නමක් විසින් නාග භවනයෙන් ගෙනවුත් ගිරි අබා රජු විසින් තම මෙහෙසියගේ නමින් කරවන ලද සෝමවතී චෛත්‍ය රාජයා තුළ තැන්පත් කර ඇත. මහනුවර දළදා මාළිගාවෙහි තැන්පත්ව තේවා පවත්වනු ලබන්නේ ලක්දිව අනික් දළදා වහන්සේ යි. මුලදී කාලිංග දේශයේ තැන්පත් කර තිබූ මෙම වම් දළදා වහන්සේ ගුහසීව රජු හා පඬි රජු අතර ඇති වූ යුද්ධයේදී දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් හේමමාලා හා දන්තකුමරුට බාරදී ඇත. ඒ දෙදෙනා විසින් 4 වන සියවසේ එනම් ක්‍රි. ව. 310 දී ලක්දිව රජ කළ සිරිමේඝවර්ණ රජුගේ කාලයේ ලක්දිවට වැඩමවන ලදී. ලක්දිවට වැඩම වූ දා පටන් දළදා වහන්සේ රාජ්‍යයේ සංකේතයක් බවට පත් කරමින් ශ්‍රී මේඝවර්ණ රජු දළදා වහන්සේ මහත් හරසරින් පෙරහරන් වඩම්මවා තම සිංහාසනය මත වඩා හිඳුවා පුද පූජාවන් සිදු කර ඇත. ලක්දිවට වැඩම කළ දා පටන් දළදා වහන්සේ උදෙසා විවිධ පුද පුජා පැවැත් වූ අතර දළදා පෙරහර ද ආරම්භ කොට එය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා චාරිත්‍ර ලේඛනයක් ද පිහිටුවා ඇත. එම චාරිත්‍ර ප්‍රකාරව පසුකාලවල සිටි රජවරු දළදා පෙරහර පවත්වා ඇත. එපමණක් නොව මෙය ලක්දිව වාර්ෂික රාජකීය උත්සවයක් බවට ද පත් කර ඇති අයුරු දළදා පුවත් පිළිබඳ විස්තර කෙරෙන ඉහත සඳහන් කළ වංශ කථාවන්ගෙන් පැහැදිලි වේ. පස්වෙනි සියවසේ ලක්දිවට පැමිණි චීන ජාතික පාහියන් භික්ෂූන් වහන්සේ දළදා වහන්සේ උදෙසා මහත් හරසරින් පුද පූජා හා පෙරහර පැවැත් වූු අයුරු තම දේශාටන වාර්තාවන්හි දීර්ඝ වශයෙන් විස්තර කර ඇත.

අනුරාධපුර යුගයේ පටන් පැවති පුද සිරිත් හා දළදා පෙරහර වරින්වර ඇති වූ ආක්‍රමණ කාලවලදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට නොහැකි වුවත් ,අනෙකුත් සමයන්හි දී දළදා වහන්සේ උදෙසා දර්ශනීය මාළිගා කරවා පොළොන්නරු,දඹදෙණි,කුරුණෑගල, යාපහුව ආදී, යුගවල සිට රජවරු හා භික්ෂූන් වහන්සේලා අඛණ්ඩව දළදා පෙරහර පවත්වා ඇති බවට මූලාශ්‍ර ග්‍රන්ථයන්හි සඳහන් වේ. දළදා වහන්සේ වෙනුවෙන් අති උත්කර්ෂවත් පුදපූජා හා පෙරහර පවත්වා ඇති රජ කෙනෙක් ලෙස පොළොන්නරු මහා පරාක්‍රමබාහු රජතුමා විශේෂ තැනක් ගනී. එතුමා ලක්දිව තුන් සිංහලයම එක්සේසත් කොට දළදා වහන්සේ රාජකීය වස්තුවක් සේ සලකා දළදා මැදුරක් ඉදිකරන තෙක් සිංහාසනය මත වඩා හිඳුවා ලක් රාජ්‍යය දළදා වහන්සේට පුජා කොට ඇත. නිශ්ශංකමල්ල රජතුමාද වර්තමානයේ නටබුන් වී ඇති පොළොන්නරුවේ හැටදා ගේ කරවා දළදා වහන්සේ එහි තැන්පත් කොට ඇත. පොළොන්නරු රාජධානිය අවසන් සමයේ ඇති වූ කාලිංග මාඝගේ ආක්‍රමණ නිසා දළදා වහන්සේ කොත්මලේ ප්‍රදේශයට වඩමවා ගොස් පුද පූජා පවත්වා ඇත. දඹදෙණි යුගයේ රාජ්‍යය කළ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා බෙලිගස් නුවර දඹදෙණි පව්ව මත මාලිගාවක් කරවා එහි වඩා හ¼ිදුවා පුරාණ චාරිත්‍ර සිදු කළ ආකාරයෙන්ම නැවතත් පුද පූජා හා පෙරහර පවත්වමින් දළදා වහන්සේට ගෞරව දක්වා ඇත. එවර ද දළදා වහන්සේට ලක් රාජ්‍යය පූජා කොට ඇත.

මේ කාලයේ ආර්ය චක්‍රවර්තීන්ගෙන් ඇති වූ ආක්‍රමණ නිසා බුවනෙකබාහු රජතුමා දළදා වහන්සේ යාපහුවේ විශාල මාළිගාවක් කරවා එහි වඩා හ¼ිදුවා සැලකිලි සත්කාර සම්මාන ආදිය නොපිරිහෙළා සිදුකළ බව වංශ කථාවන්හි සඳහන් වේ. එහෙත් දළදා වහන්සේ ආර්ය චක්‍රවර්තීන් විසින් පැහැරගෙන ගොස් ඉන්දියාවේ පඬි රජුට බාර දී ඇති අතර හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා පඬි රජු හා මිත්‍ර වී නැවතත් දළදා වහන්සේ ලක්දිවට වැඩමවාගෙන අවුත් පුදසත්කාර සිදු කර ඇත. පරාක්‍රමබාහු රජතුමා හා සටන් වැදුණු දෙවන බුවනෙකබාහු රජු දළදා වහන්සේට කුරුණෑගල මාළිගාවක් සාදවා එහි දළදා වහන්සේ තැන්පත් කළේ ය. රජවරු අතර මෙසේ දළදා වහන්සේ වෙනුවෙන් සටන් ඇති වූයේ රාජ්‍යයේ සංකේතය දළදා වහන්සේ වූ නිසා ය.

මෙසේ රාජධානියෙන් රාජධානියට වැඩම කළ දළදා වහන්සේ අන්තිමට වැඩම කරවන ලද්දේ මහනුවර රාජධානියටයි. ක්‍රි.ව. 1592 දී කොනප්පු බණ්ඩාර කන්ද උඩරට රාජ්‍යය පෘතුගීසීන්ගේ අනුග්‍රහය ඇතිව දොන් පිලිප් තෙමේ මරා විමලධර්මසූරිය යනුවෙන් රජ විය. දෙල්ගමු රජමහා විහාරයේ කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩමවා මුලින් දෙමහල් ප්‍රාසාදයක් හා නැවත තෙමහල් ප්‍රාසාදයක් බවට පත්කොට දළදා වහන්සේ එහි ස්ථාපිත කොට ලක් රාජ්‍යය දළදා වහන්සේට පුජා කොට ඇත. මෙසේ ්තෙවරක්ම ලක් රාජ්‍යය දළදා වහන්සේ උදෙසා පුජා කළ බව සඳහන් කළ හැකිය. අද දක්වාම ප්‍රතිසංස්කරණය වෙමින් පවත්නේ විමලධර්මසූරිය රජු විසින් කරවන ලද එම දළදා මන්දිරය යි.

කෝට්ටේ රාජධානි සමයේ ආරම්භ වූ විදේශීය ආක්‍රමණ සිංහල රාජාවලිය අවසන් වන තෙක්ම පැවතුණි. පෘතුගීසි, ඕලන්ද, හා ඉංග්‍රීසි ආක්‍රමණිකයින් විසින් රාජ්‍ය සංස්ථාව තුළ දළදා වහන්සේ සතුව පැවති බලපෑම අවබෝධ කරගෙන දළදා වහන්සේ පැහැර ගැනීමට හා විනාශ කිරීමට විවිධ උපක්‍රම යොදන ලදී. රාජ්‍ය උරුමය අපේක්ෂා කළ ඇතැමි රජවරු ද දළදා වහන්සේ පැහැර ගැනීමට මාන බැලුහ. මේ හේතු නිසා කෝට්ටේ රාජධානි සමයේ සිට සිංහල රාජාවලිය අවසානය තෙක් දළදා වහන්සේ උදෙසා පැවැත්වූ පුජා චාරිත්‍ර, ප්‍රදර්ශන හා පෙරහර ප්‍රසිද්ධියේ සිදු නොවූහ. එහෙත් වර්ෂ 1753 දී මෙරටට උපසම්පදාව රැගෙන ඒමට මූලිකව ක්‍රියා කළ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් සියම් දේශයේ උපාලි හිමියන්ට සතර මහා දේවාලයන්හි පෙරහර නැරඹීමට සැලසූ අවස්ථාවේ දළදා වහන්සේ උදෙසා ද මෙවැනි පෙරහරක් සිදුකළ යුතු බවට දන්වා ඇත. සතර දේවාලයන්හි ඉදිරියෙන්ම දළදා පෙරහර පැවැත්විය යුතු බවට දැන්වී ය. ඒ අනුව එදා සිට මේ දක්වාම එම පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් සිදුකරමින් එන අයුරු දැක ගත හැකිය. ඒ ඒ කාලවලදී ඇති වූ ව්‍යසන නිසා විනාශ වී ගිය දළදා මන්දිරය කීර්තී ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කොට දළදා වහන්සේට රන් කරඬුවක් හා තවත් විශාල කරඬු කිහිපයක් ම තනවා ආරක්ෂිත විධිවිධාන සකස් කරවීීය . එහි අයිතිය මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ මහානායක මා හිමිවරුන්ට බාර කරවීය. වර්තමානයේ මහත් ගෞරවයෙන් සිදු කරන පූජාවන්ගේ ආරම්භය ඇතිවූයේ මෙතුමාගේ කාලෙය් දීය. දළදා මැදුරට යාබදව පත්තිරිප්පුවක් ද සාදවා ඇත්තේ මේ රජතුමා විසිනි. මෙම රජුගේ කාලයේ ඇතිවූ ලන්දේසීන්ගේ ප්‍රහාර හමුවේ රජුගේ අනුග්‍රහය ද ඇතිව මල්වතු මහාවිහාරයේ රඹුක්වැල්ලේ රතනජෝති මහානායක මාහිමිපාණන් හා අස්ගිරි විහාරයේ නාවින්නේ ධම්මදස්සී මහානායක මාහිමිපාණන් දෙනම දළදා වහන්සේ කිතුල්පේ මැද මහනුවර ආදී ප්‍රදේශලට වැඩමවා ගොසින් සඟවා තබා ගනිමින් කළයුතු පුද සිරිත්ද කරමින් අනෙකුත් සංඝරත්නයේ ද ආරක්ෂාව යටතේ තබාගෙන ඇත. කීර්තී ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු රාජාධිරාජසිංහ රජුගේ කාලයේදී ද වනාන්තරවල ආරක්ෂා කරමින් පැවැති දළදා වහන්සේට පුදසත්කාර කළ ආකාරය කෙවුළුගම තල්පතේ විස්තර කර ඇත. මහනුවර සතුරු භය පැමිණි කල්හි මහවාසලින් යෙදී රඹුක්වැල්ලේ රතනජෝති වන මම සහ නාවින්නේ නායක උන්නාන්සේ ද පොතුහැර උන්නාන්සේද කණුමුල්ලේ උන්නාන්සේ හා උභය විහාරීය තවත් උන්නාන්සේලා කිහිප නමක්ද ගිහි පක්ෂයෙන් අලදෙනියේ යටවත්තේ දෙන්නා ඇතුළුව තවත් කීප දෙනෙක්ද දළදා වහන්සේ වඩමවාගෙන පෙරහර ලෙසින් මැද මහනුවරට වැඩමවූයේය.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk