UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය

මහනුවර ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය

හෙළයේ විචිත්‍රවත්ම කලා මංගල්‍යය ලා සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 24 වන දින සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ආරම්භ විය. ප්‍රථම කුඹල් පෙරහර 29 දා වීදි සංචාරය කළ අතර රන්දෝලි පෙරහර ආරම්භ වූයේ අගෝස්තු මස 03 දින ය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දින වීදි සංචාරය කිරීමට නියමිත ය.

කලාකරුවන් දහසකට අධික පිරිසක් සමඟ අලි ඇතුන්ද අසූවක් පමණ සහභාගි වෙමින් දින එකොළහක් පුරා පවත්වන්නාවූ මෙවන් සංස්කෘතික මංගල්‍යයක් ලොව කිසිදු රටක දක්නට නොමැත. එක් පසෙකින් සංස්කෘතික මංගල්‍යයක් වුවද තවත් පසෙකින් මෙය දළදා සමිඳුන් උදෙසා මෙන් ම සතර මහ දෙවිවරුන් වෙනුවෙන් පවත්වන්නාවූ පූජෝපහාරයකි. පැරැණි රජ දවස පටන් රාජ්‍යය අනුග්‍රහය ලබමින් පැවැත්වු පෙරහර මංගල්‍යය අද ද පවත්වන්නේ රාජ්‍යය උත්සවයක් ලෙසිනි. ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත්ව පවත්වා අවසන් කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්ටය. වසර 2005 දී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්ව නිල කාලය අවසන් වූ පසු යළිත් 2015 වසරේ දී එම තනතුරට පත් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර මහනුවර ඇසළ පෙරහර සංවිධානය කරන්නේ 13 වන වරටය. මෙවර පෙරහරේ සංවිධාන කටයුතු සම්බන්ධව ඒ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව මංගල්‍යයන් හතරක් පවත්වනවා. දළදා පෙරහරත් ඉන් එකක් නේද?

දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය , අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික මංගල්‍යය හා ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙනවා. මේවා සතර මංගල්‍යයන් ලෙස හඳුන්වනවා. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වන මේ සියලු මංගල්‍යයන් අතරින් ජනතාවගේ වැඩිම අවධානය දිනාගන්නේ ඇසළ පෙරහර මංගල්‍යයයි. මෙරට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පවා අවධානයට ලක්වන උත්සවයක්. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර සමඟ පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාළ පෙරහර දින 11 ක් පුරා වීදි සංචාරය කරන්නේ කලාකරුවන් දහසකට වැඩි පිරිසක් සමඟයි. අලි ඇතුන් 80 ක් පමණ සාමාන්‍යයෙන් මේ පෙරහරට එක් වෙනවා. ලෝකයේ කොහේවත් මෙපමණ කලාකරුවන් පිරිසක් එක දිගට දින 11 ක් පෙරහර දක්වන උත්සවයක් නැහැ. ශ්‍රී ලංකාවේ අභිමානය ලෝකයට ගෙන යන ප්‍රබලතම අවස්ථාවක් ලෙස මහනුවර ඇසළ මංගල්‍යය පෙන්වා දෙන්න පුළුවන්. නැකැත් චාරිත්‍ර ගරුකරමින් පෞරාණික චාරිත්‍ර ආරක්ෂා කර ගනිමින් මේ පෙරහර මංගල්‍යය අප සංවිධානය කරන්නේ වාණිජ අරමුණු කිසිවකට මතුවීමට ඉඩ නොතබා ශ්‍රී දළදා වහන්සේට හා සතර මහ දෙවිවරුන්ට කරන පූජෝපහාරයක් ලෙසිනුයි. මෙවරත් විචිත්‍රත්වය ආරක්ෂා කර ගනිමින් පෙරහර මංගලය සංවිධානය කරන්න අප කටයුතු කළා.

මෙරට පෙරහර මංගල්‍යයන් රැසක් තිබුණත් ඒ සැම අතරින් මහනුවර ඇසළ පෙරහරට ප්‍රමුඛත්වය හිමිවෙනවා නේද?

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ දළදා වහන්සේයි. බුදුන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ අසිරිමත් වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ හිඳිනා දළදා මාළිගාව මූලිකත්වය ගෙන පවත්වන පෙරහර මංගල්‍යය මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයි. අපේ රටේ බෞද්ධ ජනතාවට පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවට දළදා වහන්සේ තරම් උතුම් වස්තුවක් තවත් නැහැ.අතීතයේ පටන් දළදා වහන්සේට වැඳුම් පිදුම් කළේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස සලකාගෙනයි. අදටත් එය එලෙසමයි. මහනුවර ඇසළ පෙරහරට රාජ්‍යය අනුග්‍රහය ලබා දෙන්නේ ඒ නිසයි. මෙවරත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු රාජ්‍යය අංශයේ සහයෝගය ලබා දී තිබෙනවා. පෙරහරේ හා පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධරින් 4000 ක් පමණ යොදවා තිබෙනවා. විදුලිය,ජල, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ප්‍රවාහන පහසුකම් සියල්ල රජය ලබාදී තිබෙනවා. මහනුවර නගර සභාව ද විශාල සහයෝගයක් ලබා දෙනවා.

පෙරහර මංගල්‍යයන් සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන් හිඟය කලක පටන් පවතිනවා. මෙවරත් එය තදින්ම දැනෙනවා නේද?

දැනට අපට ඉන්නේ හීලෑ අලින් 115 ක පමණ සංඛ්‍යාවක් පමණයි. මේ අය අතරින් බොහෝ දෙනකු දැන් ඉන්නේ වයස් ගතවයි. සමහර අලි ඇතුන් පෙරහර කාලෙට මද කිපෙනවා .මේ කාරණා සියල්ල බැලුවම ඇත්තටම පෙරහරේ ගමන් කරන්න පුළුවන් තත්ත්වයේ ඉන්නේ අලි ඇතුන් 80 ක පමණ සංඛ්‍යාවක් පමණයි. මෙවර නුවර, කතරගම හා දෙවුන්දර යන පෙරහර තුනම එකම දිනවල යෙදුණා. ඉන්න අලි ටික ඒ ඒ තැන්වලට බෙදී ගියාම ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. විශේෂයෙන් දේවාලවලට අවශ්‍ය අලි ප්‍රමාණය සොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා. ජනපති හා වනජීවි ඇමැති මැදිහත්ව දැනට අධිකරණය භාරයේ සිටින අලි අතුන් 15 දෙනකු පමණ මහනුවර පෙරහරට ලබා දෙන්න කටයුතු කළා. ඒ සම්බන්ධව අප ජනාධිපතිතුමාටත් වන ජීවි ඇමැතිතුමාටත් අධිකරණයටත් ස්තූතිවන්ත වෙනවා. හැබැයි මේක තාවකාලික පිළියමක් විතරයි. අපේ සැබෑ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න ඕන. නැත්නම් අනාගතයේ මේ සංස්කෘතික මංගල්‍යය පැවැත්වීම ප්‍රශ්නයක් වෙනවා. 1995 වසර වන විට ලංකාවේ හීලෑ අලි 225 ක් පමණ හිටියා. අද ඒක 115 දක්වා අඩු වෙලා. වසර 22 ක් තුළ අලි 110 ක් මිය ගිහින්. ඉන්න අලි සංඛ්‍යාව අඩු නිසා ඒ සත්තු ටික ටික වෙනත් පෙරහරවලට හැම තැනම ගෙනියන්න ඕන.මේ නිසා ඒ අය රෝගී වෙන්න තියෙන ඉඩ වැඩියි. මේවා ගැන අප අවධානය යොමු කරලා තීරණ ගන්න ඕන.

මෙවර දළදා මාලිගා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන්න හිටපු ප්‍රධාන ඇතුන් දෙදෙනා වන කතරගම වාසනා හා නැඳුන්ගමුවේ රාජාගේ සේවය මෙවර නොලැබීම ගැටලුවක් නොවෙයිද?

දැනට අපට කරඬුව වැඩම කරන්න ඉන්න හොඳම ඇතා ඉන්දි රාජායි. ඉන්දිරාජා කරඬුව වැඩම කරනකොට තියෙන ලස්සන වෙනත් ඇතකුගේ නැහැ. අප මාරුවෙන් මාරුවට ඇත්තු යොදාගෙන පෙරහර කරඬුව වැඩම කරවනවා. මේපාර වාසනා ඇතා කතරගම පෙරහරට සම්බන්ධ වෙලා ඉන්නේ.නැඳුන්ගමුවේ රාජාටත් අසනීපයි. මාළිගාවේ ඇත් පන්තියේ කරඬුව වැඩම කරන්න සුදුසු ඇතුන් ඉන්නවා. ඉන්දි රාජා ප්‍රධානව රාජා, බුරුම රාජා, තායි රාජා, ජන රාජා හා සිංහ රාජා ට කරඬුව වැඩම කරන්න පුළුවන්. මේක මාළිගාවේ ඇත් පන්තියේ ඇතුන්ට පෙරහර කරඬුව වැඩම කරන්න ලැබුණු හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.

මහනුවර පෙරහරේ දී උඩරට වෙස් නැටුමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අදවන විට මේ පාරම්පරික කලා ශිල්ප අභාවයට යමින් තිබීම අනාගතයේ පෙරහර පැවැත්වීමට ගැටලුවක් වේවි නේද?

මහනුවර ඇසළ පෙරහරේ සියලු නර්තන උඩරටට ආවේණික ඒවායි. පහතරට හා සබරගමු සම්ප්‍රදායට අයත් කිසිදු නර්තනයක් මේ පෙරහරට එකතු කරන්නේ නැහැ. ඒක සම්ප්‍රදායක්. පාරම්පරික කලා ශිල්පීන්ගේ පවුල්වල වර්තමාන පරම්පරාව මේ කලා ශිල්පවලින් ක්‍රමයෙන් ඈත්වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් ආර්ථික වශයෙන් ප්‍රතිලාභ ඇති වෙනත් රැකියාවලට යොමු වෙනවා. තවත් පැත්තකින් මේවාහි අගය තේරුම් ගත් අලුත් පරම්පරාවේ තරුණයින් උඩරට වෙස් නැටුම හදාරනවා. ඔවුන් පාරම්පරික කලා පවුල්වල අය නොවෙයි. නර්තනය වසරක් දෙකක් හදාරලා වෙස් බඳින්න බැහැ. අද පාසල්වල මේක කෙරෙනවා. මම එය අනුමත කරන්නේ නැහැ. දළදා මාලිගාවේ බෞද්ධ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව උඩරට නර්තන පීඨයක් අප ආරම්භ කළේ මේ රික්තකය පිරවීමටයි. එහි පුහුණුව ලබන නර්තන කණ්ඩායම් හතරක් පමණ මෙවර දළදා මාළිගා පෙරහරට එකතු කර තිබෙනවා. අප පෙරහරේ සංස්කෘතිකාංග දැක්වීමට දෙන්නේ නර්තනය ප්‍රගුණ කළ අයට පමණයි. හොඳ නැට්ටුවෙක් කියන්නේ, ගායනය, වාදනය හා නර්තනය යන අංශ තුනම පිළිබඳ අවබෝධයක් හා දක්ෂතාවක් තියෙන කෙනෙකුට . මමත් නර්තනය හොඳින් හදාරපු කෙනෙක්. දළදා මාලිගා පෙරහරේ නැටුම් කණ්ඩායම් මම තෝරන්නේ මූලික පරීක්ෂණයකින් පසුවයි.

පෙරහර නැරඹීමට එන ජනතාවට දෙන පණිවුඩය කුමක්ද?

මේක සැණකෙලියක් නොවේ. ආගමික උත්සවයක්, ඒක අප හොඳින් තේරුම් ගෙන පෙරහර නරඹන්න එන්න ඕන.ඇඳුම් පැළඳුම් ගැන අවධානය යොමු කරන්න. අනිත් කාරණය පොලිතීන් වැනි දිරාපත් නොවන අපද්‍රව්‍යය රැගෙන විත් නගරයේ දමා යන්න එපා. පෙරහරින් පසු දවසකට ටොන් විශාල ප්‍රමාණයක් පොලිතීන් එකතු කරන්න සිදුවෙනවා. පරිසරයට ආදරය කරනවා නම් මේ ද්‍රව්‍යය මඟ දාලා යන්නේ නැහැ. අනවශ්‍ය ලෙස බඩු භාණ්ඩ ගෙන නොඑනවා නම් පොලිස් නිලධාරීන්ට ආරක්ෂක රාජකාරි කිරීමේ දී පහසුවක් වෙනවා .අවසන් මොහොත තෙක් රැඳී නොසිට පෙරහර මාර්ගයට කල්තියා ප්‍රවිශ්ට වන්නේ නම් අනවශ්‍ය තදබදයෙන් මිදී පෙරහර නරඹන්න පුළුවන්.


සියලු දෙනාගේ නේත්‍රාභිනන්දනය හා පී‍්‍රති ප්‍රමෝදය වර්ධනයට හේතුවේ

ශ්‍රී සුගත තථාගත ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ සුවාසු දහසක් නිර්මල ශී‍්‍ර ධර්මස්කන්ධයෙන් ස්පර්ශය ලැබුවා වූ ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි අනුරපුර කිත්සිරි මෙවන් මහ රජතුමාගේ කාලයේ පටන් ශී‍්‍ර වික්‍රම රාජසිංහ මහරජතුමාගේ කාලය දක්වා රාජ රාජ මහාමාත්‍යාදීන් හා සාධු ජනයා නානාවිධ පුද පූජෝත්සව පැවැත්වූහ. මෙකී පූජෝපහාරයන් අතර චිරාගත සම්ප්‍රදායික පුද සිරිත් නොකඩ කොට පවත්වාගෙන එනු ලබන සෙංකඩගලපුර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ආගමික මෙන් ම සංස්කෘතික මහා පූජෝත්සවයකි.

කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමන් වැලිවිටි පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේද අනුශාසනා ලබා නාථ විෂ්ණු ,කතරගම හා පත්තිනි දේවාලයන්හි පෙරහර ද දළදා පෙරහරට එක් කළ අතර ඒ අනුව එදා සිට අද දක්වා ජාතික ආගමික, සංස්කෘතික කලා සංදර්ශනයක ස්වරූපයෙන් පැවැත්වෙන සෙංකඩගලපුර ශ්‍රී දළදා පෙරහර සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්තිය හා බෞද්ධ අබෞද්ධ සෑම සියලු දෙනාගේ නේත්‍රාභිනන්දනය හා පී‍්‍රති ප්‍රමෝදය වර්ධනය කිරීමට හේතු වන්නේ ම ය.

මෙවර වාර්ෂික ඇසළ මහා පෙරහර සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරන අතර, පෙරහර නැරඹීමට මෙරට මෙන්ම ලොව නන්දෙසින් පැමිණෙන සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ සහ ශී‍්‍ර දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


දළදා පෙරහර විශ්වකීර්තියට පත්ව ඇත

දළදා වහන්සේ මෙරටට වැඩම කළ මුල් අවදියේ සිටම උන්වහන්සේ විෂයෙහි විවිධාකාර වූ පුද පූජා පැවැත්වීමට මෙරට රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුළු රට වැසියෝ උනන්දු වූහ.මේ නිසාම දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීමද ආදි යුගයේ සිටම ආරම්භ වුවක් බව පෙනේ. කිත්සිරිමෙවන් රාජ සමයේ දළදා මැදුරේ සිට අභයගිරි විහාරයට දළදා වහන්සේ ඉතා විසිතුරු පෙරහරකින් වැඩම වීමත් සමඟ මෙම දළදා පෙරහරේ සමාරම්භය සිදුවී ඇති බව වියතුන්ගේ මතයයි.

කෙසේ වෙතත්, කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදු වී සිටි මෙරට වැසියෝ තම ගොවිතැන් කටයුතු සඳහා නිසි කල වැසි ඵල ලබා සශ්‍රීකත්වය ඇතිකර ගැනීමට දළදා වහන්සේගේ පිහිට පතා මෙසේ පෙරහර පැවැත්වූ බව නම් ඉතා පැහැදිළි කරුණකි. අද දක්වා පෙරහර සිදුකරන ආකාරය දෙස බැලීමේදී එය තහවුරු කරගත හැකිය. මේ නිසාම වර්තමානය වන විට දළදා වහන්සේ උදෙසා සිදුකරන වාර්ෂික මංගල්‍යයක් ලෙසත්, හෙළ බොදු සංස්කෘතියේ අභිමානය කියාපාන උසස් සංස්කෘතිකාංගයක් ලෙසත් දළදා පෙරහර විශ්ව කීර්තියට පත්ව ඇත. එහිලා අතීතයේ මෙරට සිටි රාජ රාජ මහාමාත්‍යාදීන් දක්වන ලද සුවිශේෂ අනුග්‍රහය මත මෙවන් පූජා චාරිත්‍ර මෙරට ජන ජීවිතය තුළ තදින් මුල්බැසගෙන ඇත. ඒ නිසා අද වන විට මෙරට බෞද්ධ අබෞද්ධ කා තුළත් මෙම විසිතුරු පෙරහර මංගල්‍යය, කෙරෙහි ඇත්තේ ඉමහත් ලැදියාවකි. සිංහල බෞද්ධයාගේ අභිමානය ලොවටම කියාපාන මෙවන් උසස් සංස්කෘතිකාංග නොනැසී පවත්වාගෙන යාම අප කාගේත් වගකීමක් ලෙස සැලකිය යුතු ය. අපගේ ද අනුශාසනා මත ශ්‍රී දළදා මාළිගාවේ ගරු දියවඩන නිලමේ තුමා මෙහිලා දරන මහඟු ප්‍රයත්නය අප කාගේත් ප්‍රශංසාවට ලක්වන අතර මෙම අසිරිමත් ඇසළ මංගල්‍යය හෙවත් දළදා පෙරහරේ අනුහසින් ලක්වැසි සැමට සෞභාග්‍යය උදාවේවායි ආශිංසනය කරම්හ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 06 වනදා ඉරිදා අපරභාග 10.28 ට පෝය ලබයි. 07 වනදා සඳුදා අපර භාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 07 වනදා සඳුදාය.

 

මීළඟ පෝය අගෝස්තු 15 වනදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15

Full Moonඅමාවක

අගෝස්තු 21

First Quarterපුර අටවක

අගෝස්තු 29


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk