UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දෙලොව දිනන මඟ...

දෙලොව දිනන මඟ...

අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ
හාරිස්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක
අඹතැන්න ශ්‍රී සුධර්මෝදය විහාරාධිපති
ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය කීර්ති ශ්‍රී දේශකීර්ති
කොහොවල විමලකීර්ති ශ්‍රී ධම්මපාල ධර්මකීර්ති නාහිමි

" පාපකාරි පුද්ගලයාට කිසිලෙසකින්වත්, මොනයම් හෝ සතුටක් ලැබෙන්නේ නැත. ඔහු ජීවිතය විනාශයට පත් කර ගන්නේය. දුගතියට පත්වන්නේය. දෙලොවම තැවෙන්නේය. කුරිරු දුක් විපත් ලබන්නේය.

'“ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤෙඤා උභයත්ථ මොදති
සොමොදති සො පමොදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනො”

“පින් කළ තැනැත්තා මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. හෙතෙම තමන්ගේ පිරිසුදු කර්මය දැක සතුටු වේ. වෙසෙසින්ම සතුටු වේ.”

කතපුඤ්ඤ බව නම් සැදැහැ සිතින් පින් කළ බවය. උභයාර්ථ කර්මය නම් සසර පිරූ පෙරුමන් බලගන්වා මෙලොව ,පරලොව සනසා ගැනීමය. විසුද්ධිය නම් අපිරිසුදු කර්ම නොමැති වීමයි. වැඩූ පුණ්‍ය ශක්තිය ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි .බොහෝ සෙයින් ඇතිව වර්ධනය වූ කර්ම ශක්තියයි. බොහෝ සෙයින් ඇති කරවන උසස්ම සතුට පමෝදනයයි. මෙලොව දී කළ කුසල් කම් බලයෙන් පරලොවද අපමණ සුගති සැප ලබා සිත කය පිනවමින් ඇතිවන බලවත් සතුටයි. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි එනම් දානයෙහි, ශීලයෙහි භාවනාවෙහි ප්‍රයෝජන දැන පින්කම් කරන පුද්ගලයා ප්‍රමෝදයට පත් වේ.

සැවැත්පුර නුවර දැහැමෙන් සෙමෙන් කාලය ගතකළ ධම්මික නම් උවසුවෙක් විසීය. හේ උපදෙස් ලබාදීමේ ඇදුරුය. විශාල ධනයක් නොවීය. එහෙත් පසස් වූ ගුණයෙන් යුතුය. සිල්වත්ය. ඔහු හට දරුවන් දහහතර දෙනකි. පිරිමි හතක් හා ගැහැනු දරුවන් හතක්ය. දරුවන්ගේ මවද දැහැමිය. සැමියා පරිදිම පිනට ලැදිය. වෙහෙරෙහි බුදුපාමොක් සළාක දන් වැට සපයයි. නිකළැල් දිවියක් ගෙවයි. පවුලේ මහ උවසු ක්‍රමයෙන් මහලු විය. දහම් ඇසුමටත් මහ සඟරුවන දැකීමටත් කැමැත්තක් පහළ වීය. දෙව්රම් වෙහෙරට දරුවන් යැවීය. මහා සංඝරත්නය දහසය නමක් වැඩම කරවා ධම්මික උපාසක ඇඳවට ඇති අසුන්හි වැඩ සිටිනා සැටි දැක ඉමහත් සොම්නසට පත්විය. ඉඳුරෝ දුබලව සිටියද බණ අසනු කැමැතියයි නිතර භාවිත කළ සතිපට්ඨාන සූත්‍රය වදාළ මැනවයි පැවසීය. භික්ෂූන් වහන්සේ එම සූත්‍රය දෙසූහ. එකී සූත්‍රය දේශනා කරන විට දෙව්ලෝ දෙවියෝ අහසේ සිටගත්හ. උපාසක තුමන්ට ගති නිමිති පහළ විය. සොම්නසට පත් ඔහුට දේව සමූහයා විවිධ ඇරයුම් කළහ. ඒ නොපිළිගත් උපාසක තෙමේ අසන දහමට ඉඩ දුන මැනවයිද මහා සංඝරත්නයෙන් අවසර ලබා ගැනුම ඇවැසියයිද සිතූ ධම්මික උපාසකතුමා ටිකක් නවතින්න. ටිකක් නවතින්න' යැයි පැවසීය. එය දෙවියනට කළ දැනුම් දීමකි. එහෙත් එය සංඝරත්නයට කළ ඉල්ලීමකැයි සිතා බණ දෙසුම නවතා වෙහෙරට වැඩියහ. උපාසක තෙමේ කළුරිය කොට තුසිත දෙව්ලොව උපන්නේය.

භික්ෂූන් වහන්සේ එම සිදුවීම බුදුරජාණන් වහන්සේට සැල කළහ. එවිට උන්වහන්සේ, උපාසක තැන එම ප්‍රකාශය කළේ භික්ෂූන් වහන්සේට නොවන බවත්, ගති නිමිති පහළ වී තමන් කැටුව යාමට පැමිණ වූ දෙවියන් සමඟ වූ කථාවක් බවත් පෙන්වා දුන්හ. පින් කළ අය මෙලොවත් අපමණ සතුට ලැබ, පරලොවද සැප ලබමින් බෙහෙවින් සතුටු වන බණ දේශනා කළහ. පාපකාරි පුද්ගලයාට කිසිලෙසකින්වත්, මොනයම් හෝ සතුටක් ලැබෙන්නේ නැත. ඔහු ජීවිතය විනාශයට පත් කර ගන්නේය. දුගතියට පත්වන්නේය. දෙලොවම තැවෙන්නේය. කුරිරු දුක් විපත් ලැබෙන්නේය. උන්වහන්සේ පෙන්වා දුන්හ.

ධම්මික උපාසකගේ පවුලේ දරු දාහතර දෙනාම ඉතා සිල්වත්ය. ධාර්මිකය. තුන් පින්කම් කරති. බුදු උවටන සංඝ උවටන ඉතා යහතින් සිදු කරති. දිනෙක කිඹුල්වත වැඩ නිග්‍රෝධාරාමයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ හමුවීමට ශාක්‍ය වංශික පිරිසක් පැමිණියහ. එහිදී “පින්වත් ශාක්‍යවරුනි, ඔබලා උපෝසථ දිනට සිල් රකින්නේද, යි ඇසූහ.එවිට ස්වාමීනි. අප හට ඒකට වෙලාවක් නැත. වැඩ පළවල අවසානයක්ද නොමැත. පෝය දිනටත් මොනයම් හෝ වැඩක් යෙදේ. සිල් ලැබීමක් නොවන්නේයයි පැවසූහ.

එවිට බුදුපියාණන් වහන්සේ සඳහන් කරන්නේ එය විශාලතම පාඩුවක් බවකි. විශාල අලාභයක් බවකි. “පින්වත් ශාක්‍යවරුනි, දවසම මහන්සිවී වැඩ කළ විට ලැබෙන වැටුප රන් කහවනුවක් ලැබෙනවා. එතකොට එම පඩිය ලොකු ගණනක්ද, එසේමය ස්වාමින් වහන්ස, ඔවුන් පිළිතුරු දුන්හ. ශාක්‍යවරුනි, දහසක්, ලක්ෂයක්, වශයෙන් ලැබෙන විට මොන විදියක වූ ධනවතෙක් වේද? එලෙස වසර සියයක් රැකියාව කළ කල්හි ඔහු මහ සිටුවරයකු වේ”

එසේම තව අයෙකු පොහෝ දින හිරු නැගෙද්දී උපෝසථයට පත්ව පසුදිනට හිරුනැගෙන තෙක් සිල් රැක්කේද ඔහු එක් දිනකදී සිල්වත් බවින් ධනවතකු වන බවත් වසර සියයක් සිල් ලැබූ කල ඔහු අති ශෝභාමත් සිල්වතුන් අතරට පැමිණ නිවන්මග සාදන්නේ “යයි වදාළහ. බුදුපියාණන් වහන්සේ නිවන් අරමුණ ප්‍රත්‍යක්ෂ කළේද ශීල පාරමිතා දී දස පෙරුමන් පිරීමෙනි. එසේ පිරූ පෙරුමන් බලයෙන් මහ බෝසතුන් මව් කුස පිළිසිඳ ලත් කෙනෙහි දස දහසක් සක්වල එක පැහැරම කම්පාවිය. විවිධ ආලෝක පැතුරුණි. අන්ධයෝ ඇස් ලැබූහ. බිහිරන් ශබ්ද ඇසූහ. ගොළුවන් කථා කළහ. කොරවූවන් ඇවිද ගියහ. සිරගෙයි බැඳුනෝ ඉන් මිදුණහ. සියලු නිරයේ ගිනිදැල් නිවුණි. පේ‍්‍රත අපායේ සා පවස නිවී ගියේය. තිරිසනුන් හට කිසිත් බියක් නොවීය. සියලු සත්වයෝ නිරෝගී සුව ලදහ. හැම සත්හුම පිය තෙපුලින් යුතු වූහ. ඇත්තු මහ හඬින් ගුගුලෝය.

සියලු තූය¸ භාණ්ඩයෝ තෙමේම නාද පැවැත්වුහ. අශ්වයෝ මියුරු ලෙස හැඩූහ. මිනිසුන් පැළදි ආබරණ ශබ්ද පෑහ. දශ දිසාවෝ පහන් විය. සැම සතුන්ට මොළොක් වූ සුළං පැහැ නොකල් වැසි වැස්සේය. පොළෝ තලේ දිය බැස ගියේය. මහ මුහුදෙහි කරදිය මිහිරි වූයේය. සැම තැන්හි පස් පියුම් සැදුම් විය. දියගොඩ දෙකෙහි මල් පිපුණි. මේ ආදී අසිරිමත් කරුණු ඇති විය.

මහ බෝ සතුන් මව්කුස පිළිසිඳ දා පටන් මව් බිසව් හට උවදුරු දුරලීම ම පිණිස සිව් වරම් දෙවි අරක් ගත්හ. සර්වඥ බෝධි සත්වරයකු විසූ මව්කුස නම් දාගැබක් පරිදි විය.අන් සත්වයකු හට එවන් මව් කුසක පිළිසිඳුමක් නොහැක්කේ විය.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk