UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ

ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවක තනතුරු ප්‍රදානයේ දී මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වූයේ ලකුණ්ටක භද්දිය මහරහතන් වහන්සේයි. ඉතාමත් ධනවත් කුලයක ඉපදුනු කුමාරයෙකු ලෙසයි ලකුණ්ටක භද්දිය හිමියන් හැඳින්වෙන්නේ. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා තම සිත පහදවාගෙන විවිධාකාර වූ දානාදී පින්කම් සිදුකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ ධනවත් කුලයක උපත ලැබුවා.

උන්වහන්සේට ඉතාමත් මිහිරි කටහඬක් ලැබීම සඳහා විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි විපස්සි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ලකුණ්ටක භද්දිය හාමුදුරුවෝ ඛේම නමින් හැඳින් වූ මුව වනයෙහි චිත්‍රපත්‍ර යන නමින් ලස්සන කොවුලෙකු ලෙස ඉපිද සිටියා. එක් දවසක් තම පැටවුන්ට දීම සඳහා තුඩඟින් රැගෙන යමින් තිබූ මිහිරි මී අඹයක් පිරිවර සහිතව වඩින විපස්සි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. එය වළඳනු දැක ඇති වූ සතුටු සිත් හේතුවෙන් ලකුණ්ටක භද්දිය හාමුදුරුවන්ට මිහිරි කටහඬක් ලැබීමට හේතු වූ බව ධම්ම පද අට්ඨකතාවේ සඳහන් වෙනවා.

පසුව ගෞතම සම්බුද්ධ ශාසනයෙහි පැවිදි වී කෙලෙසුන් නසා ලකුණ්ටක භද්දිය හිමියන් මහරහත් තත්වයට පත්වෙනවා. මහරහතන් වහන්සේ නමක් වුණත් සෙසු ශ්‍රාවක සංඝයා අතර ඉතාමත් මිටි මහරහතන් වහන්සේ නමක් ලෙසයි උන්වහන්සේ හැඳින්වෙන්නේ. මුල් කාලයේ දී භද්දිය යන නමින් ආමන්ත්‍රණය කළත් කල් යත්ම උන්වහන්සේ මිටි නිසා ලකුණ්ටක යන අන්වර්ථ නාමය මුලට යොදා ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.

මෙසේ මිටි වී ඉපදීමට විශේෂ හේතුවක් තිබෙනවා. එය උන්වහන්සේ පෙර කරන ලද අකුසල කර්මයක විපාකයක්. ලකුණ්ටක භද්දිය හාමුදුරුවෝ ඉතාමත් දක්ෂ වඩු කාර්මිකයෙක් ව එක් ආත්ම භවයක ඉපදී සිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ධාතු නිදන් කොට පුද පුජා පැවැත්වීම සඳහා සෑයක් සෑදීමට යෝජනා කළා. එසේ විශාල සෑයක් සෑදීම නිෂ්ඵල බවත් විශාල ධනයක් වැයවන බවත් ප්‍රකාශ කරමින් මෙම වඩු කාර්මිකයා කුඩා සෑයක් සෑදීමට කරුණු ඉදිරිපත් කළා. පසුව ප්‍රධාන වඩු කාර්මිකයාගේ අදහස ක්‍රියාත්මක කළා. මෙසේ විශාල සෑයක් ගොඩනැගීමේ මහා පින්කම කුඩා කොට සෑදීමට කරුණු ඉදිරිපත් කොට උපදෙස් ලබාදීම හේතුවෙන් එහි ප්‍රතිවිපාක වශයෙන් මිටිව උපත ලැබූ බව චරියා පිටකයෙහි සඳහන් වෙනවා.

ලකුණ්ටක භද්දිය හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩසිටි ආරාමයේම යි වැඩ සිටියේ. ඉතින් ලකුණ්ටක භද්දිය හාමුදුරුවෝ ගොඩක් මිටි නිසා ආරාමයට පැමිණෙන අය උන්වහන්සේට ටොකු අනිනවා. කනෙන් අදිනවා. නහය මිරිකනවා. විහිලු කරනවා. එහෙත් උන්වහන්සේට කිසි දිනක සිතට තරහවක් ආවේ නෑ. මෙතරම් හිංසා කරත් උන්වහන්සේට තරහ නොයන්නේ කුමන හේතුවක් නිසාද යැයි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. මහණෙනි, ඒ කුමන හේතුවක් නිසාවත් නොව උන්වහන්සේ සව්කෙලෙසුන් නැසූ මහරහතන් වහන්සේ නමක් නිසා. සුලු දෙයටත් තරහා යන, කරුණු නොසොයා ක්‍රියා කරන පුද්ගලයින් හට ලකුණ්ටක භද්දිය හිමියන්ගේ චරිතය පරමාදර්ශයක්.

ධම්මපද අට්ඨකතාවෙහි ලකුණ්ටක භද්දිය හිමියන් මුල්කොටගෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දී තිබෙනවා, මහා ගල් පර්වතයක් විශාල සුළඟක් ආවත් සොළවන්නට හැකි නොවන්නාක් මෙන් විමුක්තිය අවබෝධ කරගත් රහතන් වහන්සේලා ද ලාභ - අලාභ, යස - අයස , නින්දා – ප්‍රසංසා, දුක - සැප යන අටලෝ දහමින් කම්පා නොවන බව. රහතන් වහන්සේලා තුළ ඇලීමක් හා ගැටීමක් නෑ. මේ තුළින් පැහැදිලි වන්නේ යම් ක්‍රියාවක් පැහැදුනු සිතින් කියයි ද කරයිද ඒ තුළින් සැප විපාක ලැබෙන බවය.

 

ඇසළ අව අටවක පෝය


ඇසළ අව අටවක පෝය ජූලි මස 16 වනදා ඉරිදා අපර භාග 01.37 ට ලබයි. 17 වනදා සඳුදා අපරභාග 12.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 16 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 23 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk