UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 64: සිදුහත් කුමරා ලුම්බිණි සල් උයනේ උපන් බවට පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි

බුදුපිළිමයේ උපත - 64:

සිදුහත් කුමරා ලුම්බිණි සල් උයනේ උපන් බවට පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ ප්‍රධාන සිදුවීම් හතර සිදුවූයේ පුරාණ දඹදිව හෙවත් ජම්බුද්වීපයේය. ඒ පැරැණි දඹදිවට අද නේපාලය , ඉන්දියාව , පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ද අයත් වේ. මේ නිසා සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උපත ලැබුවේ මෙකල නේපාලයේ ලුම්බිණි හෙවත් රුම්මින් දෙයි නමැති පුදබිමේය. මෙම පුදබිමට එදා පටන් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස වන තෙක් ලක්ෂ ගණන් බෞද්ධයින් පමණක් නොව සංචාරකයන්ද පැමිණෙන්ට ඇත.

එහෙත් එක් සුවිශේෂිවූ පුද්ගලයෙක් මෙම පුදබිමට ක්‍රිස්තු පූර්ව 250 දී පැමිණි බව අපි ඉතා හොඳින් දැන සිටින්නෙමු. අප ඒ බව දැන ගන්නේ ඒ මහා පුරුෂයා විසින් එම ලුම්බිණී නම් වු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උපත සිදුවු පුදබිමට පැමිණ එහි ශිලා ස්තම්භයක් ද පිහිටුවන ලද නිසාය. එපමණක්ද නොවේ. ඒ ශිලා ටැඹෙහි තමන් ඒ පුදබිමට පැමිණි බවද (ශාක්‍යමුණි) සිදුහත් කුමරු එම පුදබිමෙහි උපන් බවද සටහන් කළේ බ්‍රාහ්මීය අක්ෂරවලිනි. මේ මහා පුරුෂයා අන් කිසිවෙකු නොව අප රට සමඟද ඒ කාලයේ සිට සම්බන්ධතා පැවැත්වු අසෝක (ක්‍රිස්තු පූර්ව 272-232 රජකළ) මහා අධිරාජයාය. අසෝක මහ අධිරාජයා ඒ ශිලා ටැඹ බ්‍රාහ්මී අක්ෂර ලියවා ඒ පුදබිමෙහි පිහිටෙව්වේ නැතිනම් සිදුහත් කුමරු උපන් පුදබිම ඔප්පු කිරීමට අවස්ථාවක් නොලැබෙන්නට ඉඩ තිබිණි.

අසෝක රජතුමාගේ විසිවැනි රාජ වර්ෂයේදි රුම්මින්දෙයි (ලුම්බිණි) වැඳ පුදා ගැනීමට පැමිණි බව මෙම ටැම් ලිපියේම සඳහන් වන කරුණකි.

අසෝක රජතුමාගේ විසිවැනි රාජ වර්ෂයේදී තවත් සුවිශේෂ ආගමික කටයුත්තකට දායක වූ බව නියලීම නමැති අසෝක රජතුමාගේ ටැම්ලිපියේ සඳහන් වේ. ඒ අනුව අසෝක රජතුමා එම රාජවර්ෂයේදි කණකමුණි හෙවත් කෝණාගම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකර තිබූ දාගැබ විශාල කර සාදවන ලද බව එහි සඳහන් වේ. (Asoka –D.R.Banarkar-University of Calcutta –India P 170 (1925)

සිදුහත් බෝසතාණන් වහන්සේ උපත ලැබූ පුදබිමෙහි අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹෙහි එම බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලාලිපිය මෙසේය. පේළි පහකි.

මෙහි සිංහල අර්ථය මෙසේය.

(අසෝක අධිරාජයාගේ අභිෂේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි සාක්‍යමුණි බුදුරජාණන් වහන්සේ උපන්නේයැයි (සලකා) තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අසා (ප්‍රකාශයට පත්කොට) දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කොට අර්ථ ලාභය ඇති කළේය. (අසෝක ධම්ම ලිපි හා ටැම්ලිපි මහාචාර්ය අබය ආර්යසිංහ – පි. 58-59 2000)

මෑතකදී ලංකාවටද පැමිණි එංගලන්තයේ ඩර්ට් විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබින් කොණිංහැම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 දී ලුම්බිණි පුදබිමෙහි කළ පුරාවිද්‍යා කැණීම මගින්ද මෙහි සිදුහත් කුමරු උපන් බව (මායාදේවි විහාරයේ කැණීමෙන්) පුරාවිද්‍යා සාක්ෂි ලෙසින්ද ඔප්පු කර ඇත. මේ පිළිබඳව ලංකාවට පැමිණි මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා සමඟ ඉතා දීර්ඝ ලෙසින් සාකච්ඡා කිරීමටද මෙම ලේඛකයාට අවස්ථාව සැළසුණේ ඔහු 2014 දී ලංකාවට පැමිණි අවස්ථාවේදීය.

අසෝක රජතුමා විසින් එම පුදබිමෙහි පිහිටුවන ලද ශිලා ටැඹ විශේෂිත වූවකි. එහි දී ප්‍රධාන කරුණු තුනක් එරට සිදුහත් කුමරු උපන් බවට පෙන්වා දීඇත. එයින් එකක් නම් හිදබුදජාතේ හිද භලගවම් ජාතෙනි යනුවෙන් ඉහත සඳහන් ටැම්ලිපියේ ස්ථාන දෙකකම සිදුහත් කුමරු එහි උපන් බව සඳහන් කර තිබීමය.මේ ශිලා ටැඹ පිහිටුවා තිබෙන්නේ පුරාණ දඹදිව රජකළ මහා අධිරාජයෙකු (ක්‍රි.පූ. 272-232) විසිනි. එපමණක්ද නොවේ ඒ රජුගේ විසිවැනි රාජ වර්ෂයේදි මෙම පුදබිමට පැමිණී බවත් මෙම ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස් කළ බවත් සඳහන් කිරීම එම රාජකීය නිවේදනයේ වැදගත්කම එනම් එය රජකෙනෙකු විසින් කරන ලද ප්‍රකාශයක් බවට කදිම සාක්ෂිකයකි. පුරාණ ජම්බුද්වීපයේ එතුමා විසින් පිහිටුවන ලද එකම ශිලා ටැඹ මෙය නොවේ. අසෝක රජුගේ ශිලාලේඛන පිටපත් සහිතවද පුරාණ දඹදිව පිහිටුවා ඇත.

ඒ ශිලා ලේඛන සංඛ්‍යාව දෙස බලනවිට මෙම ලුම්බිණියේ ශිලාලේඛනය සැබවින්ම සිදුහත් කුමරු උපන්නේ එම භූමියේ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂියකි.

මහාචාර්ය රොබින් කොණිංහැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥයන් විසින් 2013 නොවැම්බර් මස අගභාගයේදී කරන ලද පුරවිද්‍යා කැණීම සිදු කළේ සිදුහත් කුමරු උපන් ස්ථානයේ බුද්ධකාලයේදී (සමහරවිට සුද්ධෝදන රජු විසින්ම) සාදන ලද දැව ආශි‍්‍රත විහාරය පිහිටි මහා දේවි විහාරය නමින් පසුව ප්‍රකට වූ ස්ථානයෙහිය. මේ මායාදේවි විහාර පරිශ්‍රය කැණීමට උපකාරී වූයේ අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹට අමතරව ක්‍රි.ව. 5 වන සියවසේදි මෙම පුදබිමට පැමිණි පාහියන් නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේද ඉන්පසු ක්‍රි.ව. හත්වන සියවසේදී මෙම පුදබිමට පැමිණි තවත් චීන ජාතික හියුංෂාං හිමියන්ගේ වාර්තාද අනුවය. ඒ චීන භික්ෂූන් වහන්සේලාද අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ශිලා ටැඹ ගැන සඳහන් කර ඇත.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 63: ජාතක කතා ආශි‍්‍රත අජන්තා බිතුසිතුවම්

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk