UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය: උත්තම මුනි දළදා වඩම්මන

උත්තම මුනි දළදා වඩම්මන

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර සිදු කරන ලද අධිෂ්ඨානයක ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ සත්නමක් ඉතිරිව සෙසු සියලු ධාතූන් වහන්සේලා කුඩා කැබලිවලට පත්වූ බවත්,දළදා හාමුදුරුවන් වහන්සේ පිළිබඳව ඉතිහාසයෙහි සඳහන් වෙයි.

එම ධාතූන් වහන්සේ සත්නම ලෙස සතර දළදා වහන්සේ ,ලලාට ධාතූන් වහන්සේ , අකුධාතූන් වහන්සේලා දෙනම පිළිබඳවත් එම සතර දළදා වහන්සේ වැඩ සිටින ස්ථාන පිළිබඳවත් තොරතුරු මහා වංශය, දළදා වංශය, දාඨා වංශය, දාඨා ධාතු වංශය, දළදා සිරිත යන වංශ කතා සාහිත්‍යයෙහිත් දළදා සිරිතෙහිත් සඳහන් වෙයි. එම තොරතුරුවලට අනුව සතර දළදා වහන්සේලා වැඩ සිටින ස්ථාන පිළිබඳවත් සඳහන් වෙයි. එක් දළදා වහන්සේ නමක් තිදස පුරයෙහි සිළුමිණි සෑය නමින් හඳුන්වන සෑයෙහි තැන්පත් කර තිබෙන අතර අනෙක් දළදා වහන්සේ නාග ලෝකයෙහිත් , අනෙක් දළදා වහන්සේ ගන්ධාර දේශයේ බ්‍රහ්ම දත්ත මහ රජතුමාට ඛේම මහරහතන් වහන්සේ විසින් බාරදුන් බවත්, අනෙක් දළදා වහන්සේ ලංකාද්වීපයෙහි වැඩ සිටින බවට තොරතුරු හමුවෙයි. වර්තමානයෙහි සෝමවතී චෛත්‍ය රාජයාණන් තුළ තැන්පත් කර ඇත්තේ එම දළදා වහන්සේ ලෙස සැළකෙයි. ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකන වම් දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි වැඩ සිටී.

එම දළදා වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමට මත්තෙන් බුදුරජාණන් වහන්සේගේ චිතකයෙන් ඉවතට වැඩම කරවාගෙන ඛේම මහරහතන් වහන්සේ විසින් කළිඟු පුරයේ බ්‍රහ්ම දත්ත රජතුමාට බාරදුන් බව සඳහන් වෙයි. මිථ්‍යා දෘෂ්ටිකයෙකු ලෙස බ්‍රහ්ම දත්ත රජතුමා කටයුතු කරනු ලැබුවත් , දළදා වහන්සේ විසින් සිදුකරන ලද ප්‍රාතිහාර්යයන් පදනම් කරගෙන දළදා වහන්සේ විසිතුරු මාලිගාවක තැන්පත් කළ බව සඳහන් වෙයි. ඒ බ්‍රහ්ම දත්ත රජතුමාගේ පටන් හත්වන රාජ පරපුර දක්වාම දළදා වහන්සේට කළ යුතු පුද පෙළහර සිදුකළත් ,පසුකාලීනව රාජ්‍ය කළ ගුහසීව රජු දළදා පූජාව පිළිබඳව එතරම් උනන්දුවක් දක්වා නැති බවට තොරතුරු ලැබෙයි. ඇමැතිවරුන් හා මහජනතාව විසින් දළදා වහන්සේ උදෙසා කරන ලද පුද පුජාවන් වූ නගර අලංකරණය කරමින් නගර මධ්‍යයේ කරන ලද මණ්ඩපයක දළදා වහන්සේ වඩා හිිඳුවා දළදා පූජාවන් කළ බවට තොරතුරු ලැබෙයි. ගුහසීව රජතුමා දළදා පූජාව කෙරෙහි තමාගෙන් සිදුවුණ ප්‍රමාදය වටහාගෙන දළදා මණ්ඩපයට ගොස් දළදා වහන්සේ කමා කරවාගෙන පූජාවන් පවත්වන්නට යෙදුන බවත් එම අවස්ථාවෙහි දළදා වහන්සේ ප්‍රාතිහාර්යයන් පෑබවත් සඳහන් වෙයි. එම ස්ථානයට පැමිණි ගුහසීව රජු “මාගේ හිස මුදුනෙහි දළදා වහන්සේ පිහිටන” ලෙසට කළ අධිෂ්ඨානයට අනුව දළදා වහන්සේ අහසට පැණ නැගී ගුහසීව රජතුමාගේ හිස මුදුනෙහි වැඩ සිටි බව සඳහන් වෙයි. අධික සතුටට පත් ගුහසීව රජු දළදා වහන්සේ තමාගේ මාලිගාවට වැඩමවාගෙන ගොස් තැන්පත් කර පුද පූජාවන් පැවැත්වූ බවට තොරතුරු සඳහන් වෙයි. අනතුරුව මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ බස් ඇසූ පාණ්ඩව රජු ගුහසීව රජුට සහ බෑණනුවන්ට දළදා වහන්සේ තමා ළඟට වැඩමවා ගෙන එන ලෙස අණකරන්නට යෙදුන බවත්,දළදා වහන්සේ දකින්නට සැලස්වූ අවස්ථාවෙහි ප්‍රතිහාර්යයන් පෑ ආකාරය සඳහන් වෙයි. එම අවස්ථාවෙහි දළදා හාමුදුරුවන් වහන්සේ රුවන් කරඬුවෙන් මෑත්ව ආකාශයට පැන නගිමින් රක්ත වර්ණ රශ්මි මාලාවන් විහිදුවමින් සඳරැසක් මෙන් මුළු නුවර නගරයම ඒකාලෝක කරමින් නැවත ගිනි කඳක් ලෙස දිළිසෙමින් නොයෙක් ආකාරයෙන් ප්‍රාතිහාර්ය පෑබව සඳහන් වෙයි.

එම අවස්ථාවෙහි රජුගේ බෑණනුවන් අතිශය සතුටට පත්ව ම්ථ්‍යා දෘෂ්ටික අදහස් ඉවත දමමින් තිසරණයෙහි පිහිටමින් නිරතුරුව දළදා වහන්සේට පුද පූජාවන් පැවැත්වූ ආකාරය සඳහන් වෙයි. ඉන් අනතුරුව ගුහසීව රජු තමාම දළදා වහන්සේ වැඩමවාගෙන පාණ්ඩව රජුඉදිරියට ගිය අවස්ථාවෙහි මිසදිටුවන්ගේ බස් අසාසිටි පාණ්ඩව රජු දළදා වහන්සේ ගිනිවළකට දැමිය යුතු බවට ගුහසීව රජුට නියෝග කරන්නට යෙදී ඇති බවට තොරතුරු සඳහන් වෙයි. මිසදිටුවන් එය ක්‍රියාවට නැංවීමට උත්සාහ කරන විට දිළිසෙන ගිනි අඟුරුමතින් පැණ නැඟුන දළදා හාමුදුරුවන් වහන්සේ නෙළුම් කෙමියක් මත වැඩ හිඳීමින් සුදු බුදු රැස් විහදුවමින් ප්‍රාතිහාර්ය පාන්නට යෙදුන බව සඳහන් වෙයි. ඒ අවස්ථාවෙදී මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ බස් අසමින් පාණ්ඩව රජු නැවත වතාවක් දළදා වහන්සේ කිණිහිරයක් මත තබා යකඩයකින් ගසන ලෙසට නියෝගයක් ලබාදී ඇත.එම අවස්ථාවෙහි දළදා වහන්සේ කිණිහිරෙහි ගිලී සිටි බැවින් කිණිහිරෙන් මෑත් කරන්නට කිසිවෙකුටත් හැකිියාවක් ලැබී නැති බව තොරතුරු සඳහන් වෙයි. අනේපිඬුසිටුතුමාගේ හත්වන පරමිපරාවෙහි සිටි සුභද්‍ර සිටුවරයා එම ස්ථානයට පැමිණ සිදුකළ සත්‍ය ක්‍රියාවෙන් අනතුරුව දළදා වහන්සේ කිණිහිරෙන් මුදවාගත් බව සඳහන් වෙයි. එම කාරණාව පාණ්ඩව රජු දැනගත් පසු මෙය සුභද්‍ර සිටුවරයාගේ මායාවක් මත සිදුවන්නට ඇති බවට මිථ්‍යා දෘෂ්ටිකයන් ප්‍රකාශ කළ පසු පාණ්ඩව රජු සුභද්‍ර සිටුවරයාට දළදා වහන්සේට වෙනත් ප්‍රාතිහාර්යක් දක්වන්ට හැකියාව තිබෙනවාද? යන ප්‍රශ්නය පැන නැගූ අවස්ථාවෙහි සුභද්‍ර සිටුවරයා සුවඳ පැන් පිරුණ පාත්‍රයකට දළදා වහන්සේ වැඩමවූවාට පසු හංසයෙකු දියෙහි පාවෙනවා හා සමානව දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් දියෙහි කරකැවෙන්නට පටන් ගත් බව සඳහන් වෙයි.

එයින් සතුටට පත් නොවූ මිථ්‍යා දෘෂ්ටිකයන් නගර මධ්‍යයෙහි හාරන ලද වළකට දළදා වහන්සේ දමා පස් දමමින් ඇතුන් ලවා පාගවා හිර කරදමන්නට නියෝග කළ අවස්ථාවෙහිත් වළෙන් පැණ නැඟුන දළදා හාමුදුරුවන් වහන්සේ රිය සකක් පමණ නම් වූ නෙළුමක් මතට වැඩම කළ අවස්ථාවෙහිම සැදැහැවතුන් තම ආභරණ ගලවාදමා පූජා කරමින් , මල් පූජා කරමින් දළදා හාමුදුරුවන් වහන්සේට සාධුකාර දෙමින් , ගෞරව කළ බවත් සඳහන් වෙයි. සියලු ප්‍රාතිහාර්යයන් වංචාසහගත ලෙස ප්‍රයෝග කරමින් ක්‍රියා කරනවාය යන ප්‍රකාශය, මිථ්‍ය දෘෂ්ටිකයන් විසින් දැක්වූ පසු නැවතත් දළදා වහන්සේ ජරාව පිරුණු දුඟද හමන අගලකට දැමූ බව සඳහන් වෙයි. එම අවස්ථාවෙහිත් දළදා හාමුදුරුවන් වහන්සේගේ ප්‍රාතිහාර්යයන් පෑවත් එම සියලු ප්‍රාතිහාර්යයන් දක්නට ලැබුණත් එයින් කිසිවකින් පහැදීමට පත් නොවූ පාණ්ඩව රජු දළදා වහන්සේ තමා සතු කරගැනීම සඳහා ගුහසීව රජු සමඟ යුද්ධයකට පැමිණි බව සඳහන් වෙයි. ගුහසීව රජු තමා යුද්ධයෙන් පරාජය වුවත් , දළදා වහන්සේ සිංහලද්වීපයට වැඩමවාගෙන යන ලෙස බෑණනුවන් වන දන්ත කුමරුටත් දියණිය වූ හේමමාලාවන්ටත් නියෝග කර ඇත. එම රජුගේ දියණිය වූ හේමමාලාවත් බෑණනුවන් වූ දන්ත කුමරු රජු යුද්ධයෙන් පරාජය වන බව දුටු අවස්ථාවෙහි දළදා වහන්සේ රැගෙන බ්‍රාහ්මණ වේශයක් මවාගෙන ලක්දිවට වැඩම කරන්නට යෙදුන බව මහාවංශය, දළදා වංශය, දාඨා වංශය ආදී වංශ කතාවල සඳහන් වෙයි.ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේලාගෙන් වම් දළදා වහන්සේ ඉන්දියාවේදී කළ ප්‍රාතිහාර්යයන් පිළිබඳව අපට සඳහන් කළ හැකියි.

මෙම ලිපියෙහි තවත් කොටසක් වෙසක් අමාවක පෝදා (මැයි 25 වනදා) පත්‍රයේ පළවේ.

 

වෙසක් අව අටවක

 

වෙසක් අව අටවක පෝය මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 05.42 ට ලබයි. 19 වනදා සිකුරාදා අපරභාග 06.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 18 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය

මැයි මස 25 වනදා බ්‍රහස්පතින්දා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01

Full Moonපසෙලාස්වක

ජූනි 08


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk