UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

නුවරඑළියේ ශ්‍රී චන්දජෝති අභිනව මහා නාහිමියෝ ශ්‍රී සන්නස් පත්‍ර ලබති

උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය අග්ගමහාපණ්ඩිත තෙරිපැහැ ශ්‍රී සෝමානන්දාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් හිස් වූ එම පදවියට එම නිකායේ අනුනායක ධුරන්ධරව වැඩ සිටින නුවරඑළියේ ශ්‍රී චන්දජෝත්‍යාභිධාන නාහිමිපාණෝ පත්ව සිටිති. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම මෙම මස 22 දින පෙරවරුවේදී ඌව පළාතේ විදුරුපොළ ඓතිහාසික ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරයේ දී විනයවාදිනී කාරක මහා සංඝ සභාව විසින් සිදු කිරීමට නියමිත ය. අතිපූජ්‍ය අභිනව මහා නාහිමි උපත ලැබූයේ 1948 ජූනි මස 16 වැනි දාය. එය සිදු වූයේ කඳුරැලිවලින් අලංකාරවත් වූ වන අරණින් ශෝභාවත් වූ සීතල පරිසරයකින් හෙබි සුන්දර කන්ද උඩරට නුවරඑළියේ මාගස්තොට නම් ග්‍රාමවරයේ දී ය. උන්වහන්සේ ගිහි කල හැඳීන්වූයේ මීපේ අත්තනායකගේ චන්ද්‍රරත්න නමිනි. පින්වත් සැදැහැබර දෙමව්පියන් වූයේ මීපේ අත්තනායක මුදලිගේ ජිනදාස මහෝපාසක තුමන් හා විජේසිංහ කලුආරච්චිගේ ලීලාවතී විජේසිංහ මහෝපාසිකාව යන දම්පතීන් ය. චන්ද්‍රරත්න නම් කුමරුවා පෙර පින දායාද කොට ගත්තෙක් ද, වූයේ දෙමව්පියන් හද කුමුදු පුබුදවාලන පුන් සඳක් සේ දිනෙන් දින වැඩෙන්නට විය. නිසි වයස සපිරෙනවාත් සමඟ ම ඉගෙනීම තුලින් අති දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස සිය කුසලතා ප්‍රදර්ශනය කළේය. මෙසේ පාසල් අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය මොහුගේ මනස නැඹුරු වූයේ ගිහි සැපතට වඩා උතුම් වූ පැවිද්ද කෙරෙහි ය. මොහුගේ උතුම් අරමුණට ඉඩ දී කටයුතු කිරීමට තරම් දෙමව්පියෝ බුද්ධිමත් වූහ. පැවිද්දට සුදුසු ගුරු භූමිය වශයෙන් තෝරා ගන්නා ලද්දේ විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මූල මහා විහාරයයි.

 එවකට එහි වැඩ සිටි නුවරඑළියේ ශ්‍රී විමලබුද්ධි මහා නාහිමිපාණන් වෙතින් පැවිද්ද ලැබුවේ 1962 දෙසැම්බර් මස 12 වෙනිදාය. පැවිද්දෙන් පසුව සාමණේරයන් වහන්සේ හැඳීන් වූ නාමය වූයේ නුවරඑළියේ චන්දජෝති යන්නයි. නුවරඑළියේ චන්දජෝති සාමණේරයන් වහන්සේ සිය ගුරු හිමි වෙතින් ආරාමික ශික්ෂණය ලබා වතින් පිළිවෙතින් පිරිපුන් පුණ්‍යවන්ත බුද්ධ පුත්‍රයෙක් වූයේ සහජ කුසල ශක්තිය පෙන්වමිනි. සිය ඇදුරු හිමියන් වෙතින් හා ශ්‍රී පියතිස්ස පිරිවෙණෙන් හෙරණ සික, තෙවළා බුදු වදන හා එළු, සකු, මගධ බස මැනවින් හැදෑරූයේ ගුරු භක්තිය ශක්තියක් කර ගනිමින් ය. ඒ නිසා වැඩි කලක් ගතවීමට මත්තෙන් ම ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන යන විභාගවලින් ද උත්තීර්ණ වූහ. ශ්‍රී පියතිස්ස පිරිවෙණේ ඉතාම දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස චන්දජෝති හිමි කීර්තිමත් විය. ශ්‍රද්ධා සීලාදී ගුණ නැණ සපිරි චන්දජෝති සාමණේරයන් වහන්සේ විසි වයස සපිරෙනවාත් සමඟ ම උතුම් වූ සුපරිශුද්ධෝපසම්පදාව ලැබූහ. ඒ 1969 දී විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මංගල උපෝෂතාගාරයේ දී ය. විදුරුපොළ ශ්‍රී පියතිස්ස පිරිවෙණෙන් අධ්‍යාපනය ලබා සරසවි වරම් ලද චන්දජෝති හිමිපාණෝ 1971 දී පමණ විද්‍යෝදය විශ්ව විද්‍යාලයට තේරී පත්වූහ. එම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති යන ශාස්ත්‍රීය උපාධි ලබා ගත්හ. තව ද ත්‍රිපිටක පොත් පෙළ හා අටුවා ටීකාදී ග්‍රන්ථ හා ධර්ම ශාස්ත්‍රීය වෙනත් බොහෝ පොත් පත් කියවා තම දැනුම පෝෂණය කර ගැනීමට උත්සුක වූ චන්දජෝති හිමිපාණෝ ඒ තුළින් වියත් පඬිරුවනක් බවට පත්වූයේ වචනයේ පරිසමාප්තාර්ථයෙනි. 1976 දී රජයේ පාසලක පත්වීමක් ලබා බ/විදුරුපොළ විද්‍යාලය, බ/හෙවනකුඹුර විද්‍යාලය, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය වැනි විද්‍යාල කීපයක ම ධර්මාචාර්යවරයෙක් වශයෙන් ක්‍රියා කළහ. දහස් ගණන් බොදු සිසු දරු දැරියන්ගේ නැණැස පාදා පාසල් ගුරු දිවියට සමු දී විදුරුපොළ ශ්‍රී පියතිස්ස විද්‍යායතන මහ පිරිවෙණේ පරිවේණාධිපති ධුරයට පත් වූහ. එහි දී විශාල පැවිදි සිසු පිරිසකට ධර්ම ශාස්ත්‍රය බෙදා දීමට පොහොසත් වූහ.

දක්ෂ ගුරුවරයෙක් වූ චන්දජෝති හිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය දැනුමට හා සුලලිත සුමිහිරි සුගැඹුරු දේශනා කුසලතාවයට කාගේත් සතුට හා ප්‍රශංසාව හිමි වී තිබේ. උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව මුළු රටටම මෙන්ම විශේෂයෙන් ඌව පළාතට නවාලෝකයක් වූවාට කිසිදු සැකයක් නොමැත. කවදත් සුවියත් දෙසුම් පවත්වන චන්දජෝති හිමිපාණන් වහන්සේගෙන් ඉගෙන ගත් බොහෝ දෙනා අද රට තුළ විවිධ ප්‍රදේශවල විවිධ තනතුරු හොබවමින් විවිධ සේවාවන්හි නිරතව සිටිති. අධ්‍යාපනික මෙන් සාසනික සේවාවන් ද නොපිරිහෙලා ඉටු කිරීමට පසුබට නොවූ නුවරඑළියේ චන්දජෝති හිමි උඩරට අමරපුර නිකායේ විනයවාදිනී කාරක සංඝ සභාවේ සාමාජික ධුරයක් ලබා තම සේවය පුළුල් ලෙස සිදු කොට නිකායික විවිධ තනතුරු ලබා ගෞරවයට පත්වූහ. උන්වහන්සේගේ සාසනික සේවාවන් අගය කළ විනයවාදිනී කාරක මහා සංඝ සභාව අවස්ථා කිහිපයකදී ම ගෞරවයට බඳුන් කර තිබේ. ඒ අනුව “සාසනවංසාලංකාර සද්ධම්මභාණක” යන නාම සම්මුතිය, මහෝපාධ්‍යාය පදවිය හා අනුනායක පදවිය පිරිනමා ඇත. ඊට අමතරව ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම විසින් “ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්ම ශාස්ත්‍රශූරී” යන ගරු නාම සම්මුතියෙන් ද, එම පදනමේ මහා ලේඛකාධිකාරී ධුරයෙන් ද, උත්තරීතර අනුශාසක මණ්ඩලයේ සාමාජික ධුරයෙන් ද පිදුම් ලබා ඇත. එසේම වැලිමඩ සාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති තනතුර ද උසුලති. කවදත් ලේඛනයෙහි භාෂණයෙහි සුවිශේෂ දක්ෂ පක්ෂකම් ඇති චන්දජෝති නාහිමිපාණෝ විවිධ පුවත්පත් සඟරා ආදියට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලිවීම ද සිදු කළහ. තව ද නාහිමිගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් ම මුද්‍රණද්වාරයෙන් හෙළි දක්වා තිබේ. උඩරට අමරපුර නිකායේ මාහිමි පරපුර, කිවියර විදුරුපොළ මාහිමි, නිදසුන් රුවන්වැල, දහම් සිතිවිලි, හෙළ මහවිරු සිරි දම්පල් මැතිඳුන් හා බැඳුනු සිරිපියතිස් මහානාහිමිපාණෝ යන කෘතීන් ඒ අතර වේ.

ඌව වංශකථාව කියවෙන ඓතිහාසික සුවිසල් ග්‍රන්ථයේ සහාය සංස්කාරවරයෙක් ද වූහ . ඉහත කී සියලු ගුණාංගයන්ට වඩා උන්වහන්සේගේ පැවිදි දිවියට ආභරණ වී ඇත්තේ පැවිද්දෙකුට අවශ්‍යම වූ ඉවසීම කරුණාව දයාව වැනි ශාන්ත තපෝගුණයන් ය. උන්වහන්සේ චාමි සරල දිවිපෙවෙතක් ගත කරති. විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මහා විහාරය ගවරම්මාන ශ්‍රී පියතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපතීත්වයක් දරමින් රටට දැයට සසුනට වැඩදායී සුවච කීකරු පැවිදි සිසු පිරිසක් ද දායාද කර තිබේ. උන්වහන්සේගේ සීලාදි ගුණ ධර්මත් භික්ෂු ආකල්ප හා නිකායික ප්‍රතිපත්තිත්, උඩරට අමරපුර මහා නිකායට සිදු කළ අමිල මෙහෙයත් අවධානයට යොමු කළ විනයවාදිනී කාරක සංඝ සභාව 2015.08.8 වැනි දින උන්වහන්සේ තත්නිකායේ වැඩ බලන මහා නායක ධුරයට පත් කර ගත්හ. ඒ අතිපූජ්‍ය තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහා නාහිමිපාණන් වහන්සේ වයෝවෘද්ධත්වයට හා ගිලන් බවට පත් වූ නිසාය. උන්වහන්සේ එතැන් සිට එම ධුරයේ වගකීම අකුරට ම ඉටු කිරීමට උත්සුක වූහ. 2016.11.18 දින තෙරිපැහැ ශ්‍රී සෝමානන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව යථෝක්ත සංඝ සභාව උන්වහන්සේ උඩරට අමරපුර නිකායේ මහා නායක ධුරයට පත් කර ගත්හ. රටට ජාතියට සම්බුද්ධ සාසනයට තෙවළා බුදු වදනවට භාෂා සාහිත්‍යයට හා විශේෂයෙන් උඩරට අමරපුර නිකායට අමිල මෙහෙවරක් ඉෂ්ට කළ අභිනව මහා නායක ධුරයට පත් නුවරඑළියේ ශ්‍රී චන්දජෝත්‍යාභිධාන මාහිමිපාණන් වහන්සේට යථෝක්ත පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය කර්මය මෙම 22 විනයවාදිනී කාරක මහා සංඝ සභාව විසින් විදුරුපොළ ශ්‍රී සුමංගලාරාම මංගල උපෝෂථාගාරයේ දී සිදු කරති.


වැලිකරේ ඤාණවංස මා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකවැරටිය ,වාරියපොල ප්‍රාදේශීය සංඝ සභාවේ උප සභාපති, මහරච්චිමුල්ල කන්දේගෙදර ශෛලකූටාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය, නුගන්නොරුව, අරියවංශාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය, නිකවැරටිය , තුඹුල්ල නිසලවිල විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්හි විහාරාධිපතිව වැඩ වෙසෙන කම්මට්ඨානාචාර්ය වැලිකරේ ඤාණවංස මාහිමිපාණන් වහන්සේගේ හැටපස්වන ජන්ම දිනය නිමිතිකොටගෙන උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස හා තත් විහාරයන්හි දායක සභාවත් එක්ව සංවිධානය කරන පින්කම් මාලාවක් අපේ‍්‍රල් මස 24 දින දවස පුරා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

1952 අපේ‍්‍රල් 24 වෙනි දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැලිකරේ නම් ග්‍රාමයේදී පී.ඒ. රොමෙල් සිංඤෝ සහ කේ. පී. පුංචිනෝනා යන දෙපලට දාව උපත ලැබූ දරුවාට සෝමරත්න යනුවෙන් නම් තැබුණි. දඹ /ගල්ගමුව මහ විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු කළහ.

අලව්ව මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව 1973 ජුනි 11 වෙනි දින විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. අනතුරුව රජයේ ලිපිකරු පත්වීමක් ලබා ගත්හ.

කර්මස්ථානාචාර්ය මැද්දේගම අරියවංශ මාහිමිපාණන් වහන්සේගෙන් භාවනා ධර්මය හදාරා ප්‍රගුණ කර 1987 රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වී 1988 මාර්තු මස 18 දින කෝවාන ශී‍්‍ර සුමංගල මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා නාරම්පොල ශ්‍රී විශුද්ධාරාමාධිපති පණ්ඩිත මැද්දේගම චන්ද්‍රජෝති මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් වැලිකරේ ඤාණවංස නමින් පැවිදි බිමට ඇතුළත් විය. 1989 ජූලි මස 13 වෙනි දින අලව්ව මාඔය උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා විය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මහා මෙහෙවරක් කරමින් පළමු වස ගතකළ නුගන්නොරුව අරියවංශාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත් කරන ලදී. 1998 නිසලවිල විපස්සනා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරමින් ඉතා කෙටි කලක් තුළ මනරම් පුදබිමක් බවට පත්කරන්නට වැලිකරේ ඤාණවංස හිමිපාණන් වහන්සේ ගත් උත්සාහය අපරිමිතය.

2017 අපේ‍්‍රල් 24 දිනට හැටපස් වසරක් සපිරෙන නිසලවිල විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය වැලිකරේ ඤාණවංස හිමිපාණන් වහන්සේගේ චරිතාපදානය ආදර්ශයක් දෙන්නකි. පුරා වසර විසිනවයක කාලයක් මුළුල්ලේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පරිත්‍යාගශීලි මෙහෙවරක් කරමින් ජීවිතයේ හැටපස්වන වියට එළඹි කම්මට්ඨානාචාර්ය වැලිකරේ ඤාණවංස හිමිපාණන් වහන්සේට තවදුරටත් ශාසනාභිවෘද්ධිය සඳහා කැපවී සේවය කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවයත් චිරජීවනයත් සැලසේවා!

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk