UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිගු ඇසුරකින් හඳුනාගත හැකි පුද්ගල චරිතය

දිගු ඇසුරකින් හඳුනාගත හැකි පුද්ගල චරිතය

භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් සත්ත ජටිල සූත්‍ර දේශනාවේ දී පසේ නදී කොසොල් රජතුමාට යම් පුද්ගලයෙක් කෙසේ නම් හඳුනාගත යුතු වන්නේ ද යන්න මෙසේ තව දුරටත් පැහැදිලි කර දේශනා කරන ලදී.

දුටු පමණින්, දුටු මාත්‍රයෙන්, කතාවෙන්, සිනහවෙන්, පෙනුමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන්, ආකාරයෙන්, ලීලාවෙන් හැසිරීමෙන් නියමාකාරයෙන් හඳුනාගත නොහැකියි යන මේ අදහස අපි මෙසේ සලකා බලමු.

මෙය කියවන ඔබත් ඔබේ ජීවිතයේ අත්දැකීම් සමඟ ගළපා බලමින් ධර්මයටම මුසු කරගෙන එනම් ඇලීමෙන්, ගැටීමෙන්, බැඳීමෙන්, අමනාපයෙන් තොරව උපේක්ෂාසහගත සිතකින් විමසා බලන්න. භාග්‍යවතුන් වහන්සේ මුලින් සඳහන් කළේ මහ රජ එක්ව විසීමෙන් සීලය දත යුතුය. එයත් දිගු කාලයකිනි. කෙටි කාලයකින් නොවේ. මෙනෙහි කරන්නාහු විසිනුයි. මෙනෙහි නො කරන්නෝ විසින් නොවේ. නුවණැත්තා විසිනුයි. නුවණ නැති අයකු විසින් නොවේ යන අදහසයි.

සීලය යනු කායික වාචසික සංවරයයි. කායික වාචසික සංවරයෙන් පිරිපුන් වූ පුද්ගලයා සිල්වතෙකි. හැදුණු අයෙකි, සංවර වූ අයෙකි. ශාන්ත වූ අයෙකි, දමනය වූ අයෙකි, ප්‍රසන්න වූ අයෙකි. ඒ සාමාන්‍ය ලෝකයේ හැඳීන්වීමයි. බොහොම හොඳ අයෙක්ය යන අදහස එහි මතුවෙයි.

එහෙත් මේ බව තේරුම් ගැනීමට නම් දිගු කාලයක් එක්ව වාසය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති. එයට හේතුව බොහෝ දෙනා අවස්ථාවට අනුව සිල්වතුන් සේ පෙනී සිටිය හැකි බැවිනි. ඔවුන්ගේ සිතෙහි ඇති අරමුණු ඉටුවෙන තෙක් කායික සංවරය, වාචසික සංවරය ඇතිකරගෙන සිටිය හැකිය. ඔවුන්ගේ සිතේ මනා අවබෝධයෙන් යුතු සංවරකමක් නොපැවතුණත්, පිරිසක් ඉදිරියේ අන් අයගෙන් නින්දා අපහාස ආදිය ලැබේවි යන අදහසින් සංවරව සිටිය හැකිය. එහෙත් අවස්ථාවක් ලද විටෙක රහසේ නමුත් ඔවුන්ගේ කායික, වාචසික හැදුනුකම, සංවරය, සීලය නැතිව යා හැකිය. සමාජ පරිසරයය තුළ මොනතරම් එවැනි සිදුවීම් දැකගන්නට පුළුවන් ද? සමහර අය ගැන යම් කෙනෙක් පවසන වදන් පෙළ නිවුණු සිතකින්, කරුණාවන්ත සිතිවිලි නගාගෙන අපි මෙනෙහි කොට බලමු.

නිදසුනක් ලෙස සඳහන් කළොත් මෙවැනි අදහසක් මතුවිය හැකියි. ඔහු හෝ ඇය කතා කළේ, හැසිරුණේ හරියට බෝධිසත්වයෙක් වගේ. ශාන්ත තවුසෙක් වගේ. නමුත් ඔහු විසින් සිදුකොට තිබෙන දේ සිතාගන්නටවත් නොහැකියි. මතු පිටින් බෝධිසත්වයෙක්, සිල්වතෙක්, තවුසෙක් හැටියට දකින්නට ලැබුණත් ඔහුගේ හදවත ඇතුළත සඟවාගෙන තිබුණේ අසංවර, නොදැමුණු මහා යක්ෂයකුගේ හෝ ආශාවෙන් පිරිපුන් සල්ලාලයකුගේ ස්වභාවයකුයි; යම් කෙනෙක් පැවසිය හැකිය. තවත් අවස්ථාවක සඳහන් කරන්නේ, ඔහුගේ එම හැසිරීමට එසේ නොමැති නම් ඇයගේ එම හැසිරීමට අප රැවටුණා යනුවෙනුයි. එම හැසිරීම අනුව මෙවැනි සොර මැරකම් කරන, අන් අයට විපත් කරදර කරන, නොදැමුණු සල්ලාල ගති ඇති පුද්ගලයෙක් යැයි, ආශාවන්ගෙන් පිරිපුන් වූ පුද්ගලයෙක් යැයි කිසිවිටකවත් සිතා ගන්නට නොහැකි වුණා. ඒ තරමටම මනා වූ සංවරයෙන් හැදුණුකමෙන්, සීලයෙන්, ඇවතුම් පැවතුම්වලට අනුව කටයුතු කළා යනුවෙනුයි.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ අනුව කෙනෙකුගේ සංවරය එනම් හැදුනුකම, සීලය දැන ගැනීමට කාලයක්, දිගු කාලයක් එක්ව වාසය කළ යුතුය යන අදහස පිළිබඳව අවධානය යොමු කරමු. එක්ව වාසය කළත් එය මෙනෙහි කළ යුතුය, මෙනෙහි නො කරන්නාට එය නොදැනේ. එනම් එකම නිවසක සිටියත් මෙනෙහි කරන්නාට, සිහිපත් කරන්නාට එනම් හොඳ නරක, කුසල් අකුසල්, පිළිබඳව අවබෝධයෙන් යුතුව ඒ ඒ පුද්ගලයාගේ ඉරියව් පිළිබඳව මනා කොට මෙනෙහි කරන කෙනෙකුට, හොඳ නරක ගලපා බලන කෙනෙකුට, හැබෑවටම ඒ යම් විටක තම ස්වාමියා විය හැකියි, බිරිඳ විය හැකියි, දරුවන් විය හැකියි. ස්වභාවයෙන් ම හැදුණු කෙනෙක් දැයි දැනගත හැකි වන්නේය. යම් විටක මවුපියන් පවා තම දරුවන් පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසකි. ලෝකයාට කෑ ගසා සඳහන් නොකළාට අපේ දරුවාගේ හැසිරීම, හැදෙන දරුවෙකුගේ හෝ ගුණයහපත් වූ දරුවකුගේ ස්වභාවය නම් නොවේ යැයි පැවසිය හැකියි. ඒ වගේ තවත් අවස්ථාවක අපේ දරුවා අපට සිතාගත නොහැකි තරමට ඉතාම ගුණයහපත් දරුවෙක් බව පෙනේ. බැහැර දී පමණක් නොව නිවහනේ දී පවා අවංකවම මේ දරුවා සිතන, කියන, කරන සෑම දෙයක් ම මොනතරම් දයාවන්ත ද? කරුණාවන්ත ද? හැදුනු කෙනෙක් ද? යි මනාව වැටහෙයි. ගුණබර අම්මා කෙනෙකුට, පියාණන් කෙනෙකුට තම දරුවා පිළිබඳව හොඳ නරක වැටහෙන්නේ ඒ ආකාරයෙනුයි. කාලයක් එක්ව වාසය කරන විට හැබෑවටම හදවත පමණක් නොව සුසුම පවා දැනෙන්නට පටන් ගන්නවා. දෙමව්පියන් දරුවන් අතර වගේ ම ස්වාමි දියණියක්, ස්වාමිපුරුෂයෙක් අතර පවා කාලයක් එක්ව වාසය කරන විට ඔවුන්ගේ ඇවතුම්, පැවතුම්, හැසිරීම් රටාව, කතාබහ , සිතිවිලි පමණක් නොව ඇසේ බැල්ම පවා ඔවුනොවුන්ට මනාව වැටහෙන්නට පටන් ගන්වා. යම් විටක සිතම කියවන්නට බැරි වුවද හැසිරීමෙන්, සුසුමෙන්, ඇසේ බැල්මෙන් පවා සිත කියවනවා කියන ස්වභාවය මතු වී දැනෙන්නට පටන් ගන්නවා.

යම් තැනක දෙදෙනෙකුගේ විවාහයට පෙර ඔවුනොවුන්ගේ හැසිරීම, කතා බහ සංවරව හා යහපත් ලෙස, මේ ලෝකයේ සිටින හොඳම පුද්ගලයෙක් ලෙස පෙනිය හැකිය, හඳුනාගත හැකිය. දෙදෙනා එක්ව වාසය කරන්නට ආරම්භ කළ පසු කාලයක් වාසය කරන විට ඔවුනොවුන්ගේ සිතිවිලි වචන, ක්‍රියාව හා සැබෑ ඇවතුම් පැවතුම් පිළිබඳව ඔවුනොවුන්ට වැටහෙන්නට පටන් ගන්නවා. මෙහි දී හොඳ සහ නරක දෙපැත්ත ම මෙසේ සඳහන් කළ හැකියි. එනම් මා නුඹට රැවටුණා කියන අදහසයි. නුඹ මා ඉදිරියේ පෙනී සිටියේ මහා ගුණවතෙක් හැටියටයි. හැදුණුකෙනෙක් හැටියටයි. ඒ වගේ ම දහසකින් සොයා ගන්න බැරි මහා සද්පුරුෂයෙක් හැටියටයි. නමුත් නුඹ එසේ කෙනෙක් නොවන බව නුඹ හා සමඟ වාසය කරන විට නුඹ සිතනා ආකාරයෙන්, නුඹ පිටකරන වචන අනුව, නුඹේ හැසිරීම අනුව දැන් වැටහෙයි. නියම පුද්ගලයා කවුරුන් දැයි මා හඳුනාගන්නේ දැනුයි යනුවෙන් පවසන්නට පුළුවනි.

එක්ව වාසය කරන්නට මත්තෙන්, එක වහළක් යටට පැමිණෙන්නට මත්තෙන් නුඹ මවාගෙන සිටි චරිතයක් නුඹේ ළඟ පැවතුණා. සැබෑ චරිතය දැන් නුඹට සැඟවිය නොහැකියි. සැබෑ චරිතය දැන් මතුවෙන්නට පටන් ගන්නවා. සැබෑ චරිතය මා හඳුනාගත්තා. නුඹ වංචාකාරයෙක් යැයි සඳහන් කළ හැකියි. ඒ අතරම තවත් කෙනෙක් මා පෙරදී දුටු ඔබටත් වඩා ගුණයහපත් වූ සත්පුරුෂ බෝධිසත්වයෙක් බඳු මනුෂ්‍ය රත්නයක් ඔබ තුළින් මා දැන් දකිනවා යැයි ස්වාමි දියණියක්, ස්වාමියාටත්, ස්වාමියා විසින් ස්වාමි දියණියටත් පැවසිය හැකියි. එක්ව වාසය කරන්නට මත්තෙන් මා සිතාගෙන සිටියේ මා මේ දකින දේ සැබෑවටම මොහු තුළ හෝ මැය තුළ පවතියි ද කියන අදහසයි. පසුව වරදක් වේ දෝයි, එලෙසම මේ දැන් තිබෙන ස්වභාවය එක්ව වායස කරන විට චරිතවලින් ගිලිහී යත්දෝයි කියා සිතේ සැකයක් පැවතුණි. එසේ නොවන බවත්, දුටුවාටත් වඩා, පෙරදාටත් වඩා ගුණසම්පන්න, යහපත් වූ, මනුෂ්‍යයෙක්, සද්පුරුෂයෙක් මා ඔබ තුළින් දැන් දැක ගන්නවා. එදා දුටු ඔබම ඔබගේ බාහිර වචනයෙන් පෙනුමෙන් ක්‍රියාවෙන් දුටු ගුණයහපත්කම හදවතිනුත් බොහෝ කාලයක් ඔබ සමඟ එක්ව වාසය කිරීමෙන් මා දැන් අවබෝධ කරගත්තා. දහසකිනුත් දැකගන්න අපහසු සද්පුරුෂයෙක් මා දැක ගත්තායි සතුටු වෙන්නට පුළුවනි.

මේ ආදී ලෙසින් පවුල් පරිසරයක පමණක් නොව ආයතනයක එක්ව කටයුතු කරන පිරිස අතරත්, ගමක පළාතක අසල්වැසියන් ඥාතීන් හිතවතුන් යහළු හිතමිතුරන් අතර පවා මේ ආකාරයට හොඳ නරක දැකගත හැකිවෙයි. එය කෙටිකාලයකින් නොවේ දීර්ඝ කාලයකින් එක්ව ආශ්‍රය කිරීමෙනුයි. එක්ව වාසය කිරීමෙනුයි. සාමාන්‍ය ලෝකයා පවා පවසන්නේ කුමක් ද? යම් කෙනෙකුගේ සැබෑ ස්වභාවය තේරුම් ගත හැකිවන්නේ කෙනෙක් දුක සැප හුවමාරු කරගන්නා ආකාරය අනුවයි. යම් කෙනෙකුට බොහෝ සම්පත් තිබෙන කාලයේ දී බොහෝ පිරිස් රැස්ව සිටින අතර ධන සම්පත් හීන වී දුකට විපතකට පත්වන විට බොහෝ යහළුවන් හිතමිතුරන් ඈත්ව යන බව නොසලකා හරින බව සාමාන්‍ය ලෝකයාගේ අදහසයි.

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk