UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහලුවියේ උදාසීනබව දුරලමු

මහලුවියේ උදාසීනබව දුරලමු

විද්‍යාව ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ සිය විග්‍රහයන් ඉදිරිපත් කරයි. විශේෂයෙන් නූතන මනෝ විද්‍යාවට අයත් එක් ශාඛාවක් හඳුන්වා දී ඇත්තේ ‘වෘද්ධ මනෝ විද්‍යාව’ ලෙසටයි.

දියුණු රටවල රෝහල් තුළ ද වෘද්ධ ශල්‍යාගාර පවත්වාගෙන යන අතර රෝගී පිරිස් සඳහා විශේෂ අවධානයක් යොදා සුවපත් කරලීමට උත්සාහ ගනියි. භෞතික ජීවිතය කෙසේ සුවපත් කරන්නට හැකි වුවත්, එහි ලෞකික සහ පාර ලෞකික උභයාර්ථ සාධනයට සම්බන්ධ වැඩපිළිවෙලක් හෝ ඒ හා සම්බන්ධ අවධානයක් නූතන විද්‍යාවෙන් ලබාගත හැකි නොවේ. මෙම හිඩැස මනාව ආවරණය සඳහා බුදු දහම පෙන්වා දෙන ගමන් මග යථාවබෝධයෙන් කළමනාකරණය කර ගැනීම වැදගත් වන්නේ විද්‍යාවෙන් ඒ සඳහා ආලෝකයක් නොලැබෙන නිසාවෙනි. වෘද්ධ කළමනාකරණයෙන් ලැබෙන ප්‍රයෝජන වියපත් වන අවධියට මුහුණ දෙන ගැහැනු පිරිමි දෙපිරිසම මානසිකව උදාසීන බවක්, උකටලී බවක් මෙන් ම ජීවිතය පිළිබඳව යම් ආකාරයක අප්‍රසන්නතාවක් දැක්වීම පැහැදිලිව දක්නට ලැබේ. විශේෂයෙන් මානසිකව ඇද වැටීම ගැන එතරම් උනන්දුවක් නොදැක් වීම නිසා ඉතා භයානක තත්ත්වයන්ට පත්වීම බෙහෙවින් වැඩිහිටි ජන සමූහය තුළ සුලබ වේ. සක්‍රීය ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නේ නම් වයසට ගියත් කායික සහ මානසිකව වඩා සාර්ථකව ජීවත්විය හැකි බව වෘද්ධ මානසික විද්‍යාඥයන් සහේතුකව කරුණු අවධාරණය කර ඇත.

මානසික හැකියාව

ගිලිහී යන කායික ශක්තිය යම් ප්‍රමාණයකට හෝ සමබරව පවත්වාගෙන යාම පිණිස අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග අතර අලස බවින් මිදීම ඉතා වැදගත් වේ. විශ්‍රාමික ජීවිතයට ළගා වන හෝ විශ්‍රාම ගැනීමෙන් පසුව තමා ඉතා නොවටිනා කෙනෙකු ලෙස තමාම පිළිගනිමින්, ක්‍රියාශීලි ජීවිතයට ආයුබෝවන් කියමින් කාලය ගෙවීමට වඩා සැලසුම් කර කායික ව්‍යායාමයන්හි යෙදීම තුළින් වයස 55 – 75 අතර වයස් කාණ්ඩවල අයගේ මානසික හැකියාව සාපේක්ෂකව ව්‍යායාමයන්හි නොයෙදෙන අයට වඩා 15% ඉහළ අගයක් ගන්නා බව මනෝ විද්‍යාඥයන්ගේ සොයා ගැනීමයි. ආගමික ජීවිතයක් ගැන විශ්වාසය ඇති අය තමන්ගේ භාවනාමය ක්‍රියාකාරකම්වලට අදාළ ඇවිදීම්, පිරිසුදු කිරීම්වල යෙදීමෙන් කායික මෙන් ම මානසික නිරෝගිතාව ළගා කරගැනීම අපහසු නොවේ. බටහිර රටවල විශ්‍රාමික පිරිස් ස්වෙච්ඡා කටයුතුවල යෙදීම සාමාන්‍ය දෙයකි. ඒ සඳහා තම ආගමික ස්ථාන ආශ්‍රිතව සිදු කරන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හෝ පොදු ස්ථානයන්හි කටයුතුවලට තම ශ්‍රමය ලබා දේ, මානසික සහ කායික ශක්තිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන ඒ සඳහා ක්‍රියා කරමින්, තම අවසන් හුස්ම පොද ගිලිහී යනතුරු කුමන හෝ ඵලදායී ක්‍රියාවක නිරත වීම වැදගත් ය. විශේෂයෙන් මානසික උත්තේජනය ලබා ගැනීමට සහ මානසික ආතතීන්ගෙන් තොර ජීවිතයකට පුරුදු පුහුණු විය යුතුය. මානසික උත්තේජන ක්‍රමෝපායයන් රාශියක් ගැන මනෝ විද්‍යාඥයින් සහ මනෝ චිකිත්සකයින් ගෙන හැර දක්වා ඇත. එම ක්‍රමෝපායන් යොදා ගැනීමේ දී පුද්ගල විවිධත්වය සහ අධ්‍යාපනික පසුබිම ද අවධානයට ගැනීම වැදගත් ය. කියවීමට උනන්දුව සහ ආශාව ඇති පිරිස්වල පොත්පත්, සඟරා, පුවත්පත් ප්‍රයෝජනවත් විය හැකිය.

තනිකම මඟ හැරීම

වියපත් වන විට අප සමඟ සිටි බොහෝ දෙනෙක් අපගෙන් ඈත් වීම ස්වභාවික සංසිද්ධියක් ලෙස සිතන්නට සුදුසු මානසික තත්ත්වයක් ළඟා කර ගෙන තිබීම නිසා මානසික පීඩාව, බලාපොරොත්තු රහිත වීම, තනිකම මග හැරලීමට සුදුසු සමාජ වටපිටාවක් ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යෙදිය යුතුය. ඒ සඳහා පරිසරය නිර්මාණය කර ගැනීමට තම ප්‍රදේශයේ ආරාම පදනම් කර ගෙන සතිපතා, මාස්පතා සහ විශේෂිත දිනවල දී හමුවීම, ඵලදායී සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ධර්ම කවයන් සංවිධානය කරගෙන ජීවිතයේ සැදෑ සමය කළමනාකරණය කර ගැනීම අර්ථවත් වේ. නේවාසික භාවනා, වැඩමුළු සහ වාර්ෂික සංචාරයන්ට වැඩිහිටි පිරිස් උනන්දු කරලීමේ සංවිධාන ජාලයක් නිර්මාණය කළ යුතුවේ.

වැඩිහිටි පිරිස් සම්බන්ධ කර ගත හැකි නිර්මාණාත්මක ප්‍රාසාංගික කලාවක් ගැන අතහිත යෙදිය යුතුය. විශේෂයෙන් ම ඈත් වෙමින් යන වැඩිහිටි සහ තරුණ සම්බන්ධතාව අවම කොට යෞවනයේ සුන්දරත්වයත් වියපත් දිවියේ ආශ්වාදනීයත්වයත් එක්තැන් කොටගෙන සමබර ජීවිතයක් ගැන තරුණ සහ වැඩිහිටි පිරිස්වලට කිසියම් වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය.

අද වැඩිහිටියා හෝ යෞවනයා කවදාහරි වියපත් අයකු වන බව තේරුම් ගන්නට යොමු කළ යුතුය. අතරමඟ අතහැර දමන වියපත් පිරිස්වලට අත්වන අඳුරු තත්ත්වය අවම කරලීම ක්‍රියාශීලි ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ වගකීමකි. වැඩිහිටි පිරිස් ඒ ඒ අයගේ හැකියාවන්ට අදාළ වන පරිදි ප්‍රමුඛත්වය දී බාල මහලු දෙපාර්ශ්වය අතර ආදරය, විශ්වාසය, ගෞරවය සහ අනෝන්‍ය බැඳියාව වර්ධනයට බෞද්ධ ‘මෛත්‍රී’ සංකල්පය ප්‍රායෝගිකව යොදා ගැනීම වැඩි පිරිසකට මානසික සහනයකි. ජීවිතයේ සැදෑ සමය හැකි පමණ සතුටින් සහ පිවිතුරු මනසකින් යුතු වීම ඉතා වැදගත් වෙයි. වේදනාව, බලාපොරොත්තු සුන් වූ ස්වභාවයකින් යුතු වීම, සම්පූර්ණ කළ නොහැකි දේ ගැන වේදනාවෙන් යුතු වීම වැනි ඍණාත්මක ස්වභාවයෙන් මිදීමට සුදුසු ක්‍රියාමාර්ග තම ජීවිතයට ළඟා කර ගැනීම වියපත් සමයේ වගකීම වේ. අතීතය ගෙවී අවසන් හෙයින් ද අනාගතය තවමත් ළඟා වී නොමැති හෙයින් ද මේ කාල පරාස දෙක ගැන කුමන හෝ පසුතැවිල්ලක් නො විය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි.

භාවනා කිරීම

අද වැඩිහිටි සමාජය බෙහෙවින් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය වන්නේ හුදකලා බවයි. මේ නිසා ම එම පිරිස් හෘදයබාධයන්ට අකාලයේ ගොදුරුව ජීවිතයෙන් සමුගනී. මෙවන් අවස්ථාවන් ජය ගැනීමට හෝ අවම කර ගැනීමට බුදු දහම අවධාරණය කරන භාවනා ක්‍රම යොදා ගත හැකි අතරම ඒ තුළින් ‘කල්‍යාණ මිත්‍රයන්’ කිහිප දෙනෙක් තම ජීවිතයට එකතු කර ගැනීම අධ්‍යාත්මික දියුණුවට මෙන් ම එදිනෙදා දිවි පැවැත්මට ද ඵලදායී වේ.

මනසේ ප්‍රධානත්වය ප්‍රමුඛත්වයෙහි ලා කරුණු දක්වන බුදු දහම හැම විට දීම මානසික සෞඛ්‍ය ඇති කර ගැනීමට තම අනුගාමික පිරිස් උනන්දු කළ අතර වයස්ගත හැම කෙනෙකුම තමන්ට හැකි පමණින් මානසික ව්‍යායාමවල යෙදීමෙන් ‘චිත්තං අනාතුරං භවිස්සති’ යනුවෙන් කියවෙන පරිදි නිරෝගී වූ වයස්ගත මානසික ශක්තියක් පවත්වා ගැනීමට වෘද්ධ කලමනාකරණයෙන් කටයුතු කර ගැනීමට වගබලා ගත යුතුවේ.

මෙම ලිපියේ මුල් කොටස බක් පුර පසළොස්වක පෝදා (අප්‍රේල් 10දා) පත්‍රයේ පළවිය.

 

බක් අව අටවක පෝය

 

බක් අව අටවක පෝය අප්‍රේල් 19 වන දා බදාදා පූර්ව භාග 02.37 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 19 වන දා බදාදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 19

Full Moonඅමාවක

අප්‍රේල් 26

First Quarterපුර අටවක

මැයි 03

Full Moonපසෙලාස්වක

මැයි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk