UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 56:  සිරිපතුල් වන්දනාව

බුදුපිළිමයේ උපත - 57: 

සිරිපතුල් වන්දනාව

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණයට පෙර “පුරාණ භාරතයෙහි මූර්ති කැටයම් කළේ සිරිපතුල, ස්තූපය, ධර්මචක්‍රය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, ඡත්‍රය ආදි සළකුණුවලට බව භාරුත්, සාංචි බුද්ධගයා ආදි පුදබිම්වලින් හමුවන මූර්ති කැටයම්වලින් ඉතා පැහැදිලි වන්නේය. (AMRA VATI SCULPTURES –SRI.O.C .GANGQLY P.8-1994 –HYDERABAD-INDIA)


අමරාවතී පුදබිමෙන් හමුවූ ශ්‍රී පාද ලාංඡනය
(ක්‍රි.ව. 02 වන ශතවර්ෂය )

බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා සිරිපතුල් මූර්තිමත් කර ඇති ඉතා ප්‍රකට මූර්ති ඵලකයක් භාරුත් හි දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට ධර්මය දේශනා කිරීම සඳහා තුසිත දෙව්ලොවට වැඩම කිරීමෙන් පසුව සංකස්ස නුවරට ආපසු වැඩම කරවීම එහි මූර්තිමත් කර ඇත. එම ශිලාමය ඵලකයේ හිනිමගෙහි මුදුණේ සහ පහත යන ස්ථාන දෙකෙහිම බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන්නේ සිරිපතුල් දෙකෙනි.

මුල්කාලයේ සිදුහත් උපත සංකේතවත් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ශ්‍රීපාදයයි.භාරුත්හි අජාසත් ස්තම්භ මූර්ති කැටයම මේ සඳහා නිදසුනක් ලෙසින් දැක්විය හැකිය. මෙහි ඇති පා සටහනට අනුව මෙම කැටයමෙන් පෙන්නුම් කරන්නේ දිව්‍ය ලෝකයෙහි දෙවියෙකු විසින් බුදු උපත අනෙකුත් දෙවිවරුන්ට දන්වා සිටීම සහ දෙවිවරුන් ස්වකීය සතුට හා ප්‍රබෝධය ප්‍රකාශ කරන ආකාරයක්ය. මෙම රූප රාමුවෙන් පැහැදිලි කරන්නේ මහේශ්වර (මහාබ්‍රහ්ම) අනෙකුත් දෙව්වරුන් සමඟ පාද ලාංඡන දෙකකින් සංකේතවත් කරන අලුත උපන් බෝසත් කුමරාට නමස්කාර කරන ආකාරයයි. ආසනයක් මත පිහිටුවා ඇති සිරිපතුල් දෙකට ඉහළින් අලංකාර සැරසිලි කරන ලද උඩුවියන ගෞරවය පෙන්නුම් කරන ලක්ෂණයකි.

බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පි. 39-(2010)

සිදුහත් කුමරු උපන් විගසම සත් පියවර පා තබා ගමන් කළ බව බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්වයාගේ සුඛය පිණිස පාගමනින් වැඩම කළ බවද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන කරුණකි. බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර ඉහතින් සඳහන් කළ පුද බිම්වලට අමතරව අමරාවතී, නාගර්ජුන කොණ්ඩ හා ජගයිපේත වැනි පුදබිම්වල අල්ප උන්නත මූර්තිවලින්ද මුල්කාලයේදී බුදුරජාණන් වහන්සේ නිරූපණය පිණිස ඉහත සඳහන් සංකේත භාවිතාකර ඇත. අමරාවති සම්ප්‍රදායේ මූර්ති කැටයමක කාන්තාවන් පිරිසක් සිරිපතුල් දෙකක් වන්දනා කිරීමේ අවස්ථාවක් දැකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ විසින් ස්ථාන දෙකක තබන ලද ශ්‍රී පාද ලාංඡන ගැන සංයුත්ත නිකායට්ඨ කථාවෙහි සඳහන් වී ඇත. නර්මදා නදී තීරය අසල විසූ නාරජුගේ ඇරයුමින් සිරිපා සටහනක් බුදුරජාණන් වහන්සේ විසින් තබන ලදී. අනෙක් ස්ථානය සච්චබද්ධ පර්වතයයි.

පාලි සාහිත්‍යයෙහි බුදු සිරිපතුල් ඇති ස්ථාන පහක් පිළිබඳව සඳහන් කරයි. ස්වර්ණමාලිකා සුවන්න, ,පබ්බතක, සුමනකූට, යෝනකපුර සහ නර්මදා නදී තිරයයි.

(BUDYALANKARA –H.R.H. BUDDHIST FOOT PRINTS P.T.I P. 1-14 .1935)

මහාසුමන දිව්‍යරාජයාගේ වාසභවන වූ සමන්ත කූටයෙහිද බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේදී සිරිපා සටහනක් තැබූ බව මහාවංසයෙහි සඳහන් වෙයි. (මහාවංසය 1 පරිච්ඡේදය පි. 5 පූජ්‍ය හික්කඩුවේ සුමංගල නාහිමි හා බටුවන්තුඩාවේ පරිවර්තනය) ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වු ෆාහියන් හිමියන් පැමිණි කාලයේදී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩමකරවීම ගැන ප්‍රබල අදහස් මෙරට ජනතාව අතර තිබුණි. ෆාහියන් හිමියන් තම සංචාරක සටහන් විස්තරවල ලංකාවේ තිබූ සිරිපතුල් දෙකක් ගැන සඳහන් කරන ලදී. එකක් කඳු ශිඛරයක් මතද අනෙක උතුරේ රාජකීය නගරය වූ අනුරාධපුරයේය. (RECORD OF BUDDIST KINDOM .J.A.LEGGE P’102 මීට අමතරව බුරුමය (මෙකල මියන්මාරය) තායිලන්තය, ලාඕස්, කාම්බෝජ වැනි රටවල බෞද්ධ ජනතාවද බුදුරජාණන් වහන්සේ ඒ ඒ රටවලට වැඩම කළ බව පාරම්පරිකව දරන අදහසක් බවට පත්වී ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ කොඩ්ඩායිකේනි පුදබිමෙන් හමුවූ සිරිපතුල (ක්‍රි.ව. 03 වන සියවස)

ලංකාවේ බුදුපිළිම නිර්මාණයට පෙර වැඳුම් පිදුම් කළ සිරිපතුල් ශෛලමය නිර්මාණ රැසක්ම අනුරාධපුරයේ අභයගිරිය ජේතවනාරාමය මිරිසවැටිය,

ථූපාරාමය, මිහින්තලය, දීඝවාපි ,තිස්සමහාරාමය, යටාලය, සිතුල්පව්ව, හත්ථිකුච්චි (පඬුවස්නුවර) වැනි පුරාණ පුදබිම්වලින් හමුවූ සිරිපතුල් කැටයම් කරන ලද ශෛලමය නිර්මාණවලින් පැහැදිලි වේ. ඉතා පුරාණ කාලයේදී මෙම සිරිපතුල් නිර්මාණය කර ඇති ශෛලමය පුවරුවල (සිරිපතුල් දෙක) අලංකාර ලෙස කැටයම්කර ඇත)

ඊට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ කදුරුගොඩ (කන්තරෝඩෙයි) හා වව්නියාවෙන්ද සිරිපතුල් නිර්මාණයකර ඇති ශෛලමය පුවරු හමුවී ඇත. ඉතාම පැරණි පුදබිමක් ලෙසින් හඳුනා ගැනීමට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙසින් පුරාවිද්‍යාඥයෝ සිරිපතුල් ගල් හඳුන්වති.

මෙම හතරැස් සිරිපතුල් ගල් වල සිරිපතුල් දෙකක සටහන් දෙක මැද ඡත්‍රයක සටහනක්ද දැකිය හැකිය. සමහර සිරිපතුල් ගල්වල, සිරිපතුලේ මධ්‍යයේ ධර්ම චක්‍රයද සිරිපතුලේ ඇඟිලිවල බෞද්ධ ස්වස්තිකයද කොටා ඇත, (මෙහි ඡායාරූපයෙන් එය පැහැදිලි වේ)

බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ වැඩසිටි වජ්‍රාසනය නිමිති කරගෙන ද ලංකාවේ බෞද්ධයින් විසින් ආසන පූජාව (වජ්‍රාසන පූජාව) නමින් සිදු කරන ලද බවට සාක්ෂි හමුවී ඇත. ආයත චතුරශ්‍රාකාරවූ මෙම ආසන ගල් සඳහා ආසන ගෙවල් හෙවත් ආසන ඝරද ලංකාවේ හමුවී ඇත.

මෙම ආසන සඳහාද (සිරිපතුල් වලට (පෙර හෝ සමකාලිනව) වැඳුම් පිදුම් කළ බව අනුරාධපුරයේ උත්තිමඩුව හල්මිල්ල වැටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුවන්නාව හේරත් හල්මිල්ලෑව අම්පාර දිස්ත්‍රික්කයේ පුළුකුණාව හා රාජාංගනයේ හත්තිකුච්ඡි විහාරයෙන්ද හමුවී ඇත. මේ අනුව සිරිපා වන්දනාව ඉතා ඈත කාලයේ සිටම පැවති බවට මෙම සාක්ෂිවලින් පැහැදිලි වේ.

බුදුරදුන් තුසිත දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කරවීම භාරුත් මූර්ති කැටයමකි.
(ක්‍රි.පූ. 02 වන සියවස)
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදුවූ අවස්ථාවේදී දෙවියන් නමස්කාර කිරීම මෙහි සිරිපතුල් දෙක සිදුහත් කුමරු සංකේතවත් කරයි. භාරුත් මූර්ති කැටයමකි
(ක්‍රි.පූ. 02 වන සියවස)
 

පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 56: ලංකාවෙන් හමුවූ අමරාවතී සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා සහිත මූර්ති ඵලක

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 20 වනදා සඳුදා පූර්ව භාග 08.19 ට ලබයි. 21 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.31දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 20 වනදා සඳුදාය.

 

මීළඟ පෝය මාර්තු 27 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk