UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පමණ දැන ගන්නා ආහාර නිරෝගි සුව සදයි

නිවන් මඟට යොමු කරන සමාධි සම්බොජ්ඣංගය:

හැකිළුණු සිත හඳුනා ගන්න

සමාධි යන වචනයේ අර්ථය සිත එක්තැන් කිරීම ලෙසද” සම්බොජ්ඣංග යන වචනයේ අර්ථය ,සතර මාර්ග“ ඥානයයි කියන ලද අංග වන ධර්ම හෙවත් සත්තිස් බෝ පැකි දම් ලෙසද, පාලි සිංහල ශබ්ද කෝෂයන්හි අර්ථ ගන්වා ඇත. ඒ අනුව සතර මාර්ගය (සෝවාන් සකදාගාමී, අනාගාමි, අරහත්) යන මාර්ග ඵල ලබා ගැනීමට සිත එක්තැන් කිරීම සමාධි සම්බොජ්ඣංගය ලෙස හඳුන්වා දිය හැකිය.

සිත එක්තැන් කර ගැනීම හෙවත් සමාධිය, මිච්ඡා සමාධිය, සම්මා සමාධිය යනුවෙන් දෙයාකාර කොට දක්වනු ලැබේ. සතකු දඩයම් කිරීමට දඩයක්කාරයා හරියටම ඉලක්කය අල්ලයි. එහිදී දඩයක්කාරයාගේ සිත සතාගේ යම්කිසි ස්ථානයක් අරමුණු කොට එක්තැන් වෙයි. ඒ එක්තැන් බව පාපයට නැඹුරුය. එහෙයින් එවැනි අවස්ථාවක ඇතිවන්නේ මිච්ඡා සමාධියයි. අපට ජීවිතය ගත කරන සෑම අවස්ථාවකදීම සිතේ එකඟකම අවශ්‍ය වෙයි. පොතක් පතක් කියවීමේ දී, ගණිත ගැටලුවක් විසඳීමේදී ලිපියක් ලිවීමේදී ,කතාබහ කිරීමේ දී ආදි වශයෙන් මෙකී, නොකී, සෑම අවස්ථාවකදීම සිතේ එකඟකම තිබිය යුතුමයි. තමන් කරන කියන කාර්යයක් ප්‍රතිඵල දායක අයුරින් නිමා කළ හැකි වන්නේ එකඟ සිතකින් එසේ කළහොත් පමණි. ඒ එකඟකම හොඳ නරක දෙකට ම සාධාරණව බලපායි. එහෙත් ඒ කිසිවක් සමාධි සම්බොජ්ඣංග ගණයට වැටෙන්නේ නැත.

එසේම මනෝ විද්‍යාඥයෝ යම් යම් ආගමික පූජකවරු, විජ්ජාකාරයෝ, දේශකයෝ, කලාකරුවෝ අන්‍යයන්ගේ සිත් ඇද බැඳ ගැනීමට විවිධ උපක්‍රම යොදති. ඒ කිසිවක් සම්මා සම්බොජ්ඣංග ගණයට නොවැටේ. සිදුහත් තවුසා ආලාර කාලාම, උද්දකරාමපුත්ත වැනි තවුසන් ඇසුරු කරමින් සිට, ඔවුන් දැක් වූ මඟෙහි කෙළවරටම ගමන් කොට පසුව අතැහර ගියේ, එම තවුසන් පෙන්වූ සමාධියෙන් විමුක්තිය නොලැබෙන බව පැහැදිලි වූ නිසයි. උඛ්බරී රාජ කුමරිය ධ්‍යාන උපදවා ගත් තැනැත්තියකි. ඇය මිය ගොස් බඹලොව උපන්නාය. එහි දිගු කලක් ජීවත් වී සිට පින් පිරිහී ගිය තැන, බඹලොවින් චුතව රජගහනුවර ඊරියකුගේ කුසෙහි උපන්නීය. ඒ නිසා එබඳු ධ්‍යාන, සමාධි සම්බෝජ්ඣංග ඔස්සේ ලැබූ ධ්‍යාන වශයෙන් නොසැලකේ.

සමාධි සම්බොජ්ඣංග යනු කුමක්ද? නොයෙක් අරමුණු විෂයෙහි විසිරී පවතින සිත, සම සතළිස් කමටහන් වලින් එක් කමටහනෙක පිහිටුවීම සමාධියයි. ඒ සමාධි චිත්තය සිව්සස් ( දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග) අවබෝධයට අවයවයක් කොට පිහිටුවා ගැනීම “ සමාධි සම්බොජ්ඣංගය”යි. සමාධිය යනු පෙට්ටියක උඩ පියන යට පියනෙහි මැනවින් ස්පර්ශ වී වැළඳ ගන්නා මෙන්, අරමුණු මැනවින් ස්පර්ශ කොට පහළ වන චෛතසික ධර්මයකි.

සමාධි සම්බොජ්ඣංගය ඉපදීමට හා වැඩීමට හේතුවන කරුණු එකොළහක් ඇත. ඒවා සැකෙවින් මෙසේය.”

බාහිර හා අභ්‍යන්තර පිරිසුදු බව (වත්ථු විසද කිරියතා)

යෝගාවචරයන් දත් මැද හිස කෙස් බා නියපොතු ආදිය කපා ගත යුතුය. සිවුරු ඇඳුම් සෝදා ගත යුතුය. නා පිරිසුදු විය යුතුය. ඉන්නා හිටින තැන් අතු ගා පිරිසුදු කරගත යුතුය. එසේ වූ විට, යෝගාවචරයා තුළ පිරිසුදු සිතිවිලි කල්පනා ඇති වෙයි. නැණ – නුවණ වැඩි දියුණු වීමට එය බලපායි.

සියලු ඉන්ද්‍රියයන් සමව ක්‍රියාත්මක වීම යෝගාවචරයාගේ ශ්‍රද්ධා ආදි එක් ඉන්ද්‍රියක් බලවත් නම් අනෙක් ඉන්ද්‍රියෝ හීන වෙති. එහෙයින් ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතාව යෝගවචරයන්ට අවශ්‍යයෙන්ම තිබිය යුතුය. සියලු ඉන්ද්‍රියයන් සම අයුරින් ක්‍රියාත්මක නොවු විට ධ්‍යාන මාර්ග ඵල නොලැබෙයි. එහෙයින් ඉන්ද්‍රියයන් සම බලයකින් යුක්තව පවත්වා ගැනීම යෝගාවචරයාට අයත් කාර්යයක් වෙයි. විශේයෙන් ශ්‍රද්ධා ප්‍රඥා යන ඉන්ද්‍රියන් දෙකේත්. සමාධි වීර්ය දෙකේත් සම බව අවශ්‍යයි. ශ්‍රද්ධාව අධික වූ විට මෝඩයකු විය හැකිය. ප්‍රඥාව අධික වූ විට කපටියකු විය හැකිය. ඒ නිසා ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමව පවතින විට කළ යුතු දෑ කරමින් නො කළ යුතු දෑ නොකරමින් නිවන් මගට පිවිසෙයි. සමාධිය බලවත් වී වීර්යය දුබල වුවහොත් ථීන මිද්ධය මතුවෙයි. ඒ නිසා වීර්යයත්, සමාධියත් සමව පවත්වා ගැනීමට යෝගාවචරයාගේ සැලකිල්ල යොමු විය යුතු කරුණකි.

දක්ෂ බව (නිමිත්ත කුසලතා)

මෙයින් අදහස් කරන්නේ යෝගාවචරයකු තුළ තිබිය යුතු දක්ෂතාවයයි. කරුණු තුනක් කෙරෙහි යෝගාවචරයා දක්ෂ විය යුතුය. එනම්

1.කසිණ නිමිත්ත ඉපදීමෙහි දක්ෂ බව

2.උපදවනු ලැබූ කසිණ නිමිත්ත වැඩීමෙහි දක්ෂ බව

3.භාවනාමය වශයෙන් පහළ කරගත් නිමිත්ත ආරක්ෂා කර ගැනීමේ දක්ෂ බව , යන දක්ෂතා තුනයි.

සුදුසු කල සිත භාවනාමය වශයෙන් වැඩීම

යෝගාවචරයාගේ සිතේ වීර්යය හීන වූයේ නම් එවිට පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංගය තුන නොවඩා, ධම්ම විචය, විරිය, පීති යන බෝජ්ඣංග තුන වැඩිය යුතුය. දිනක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ ප්‍රශ්න කළ සේක. “මහණෙනි” යමෙක් මඳ ගින්නක් දල්වා ගනු කැමැත්තේ එයට අලුත් තණකොළ, අලුත් ගොම, අලුත් දර,ආදිය දමා ඒ මද ගින්න දල්වා ගැනීමට සමත්වේද? “සමත් නොවේය”යි භික්ෂූහු පිළිතුරු දුන්හ. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

“මහණෙනි” එසේ හිත හැකිළුණු විටදී පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංග තුන වැඩීම සුදුසු නොවේ මක් නිසාද හැකිළුණු සිත ඒ පස්සද්ධි ,සමාධි, උපෙක්ඛා, යන බොජ්ඣංග තුනෙන් නගා සිටුවන්නට නොහැකි නිසාය. තවද මහණෙනි, සිත කුසීත පක්ෂයෙහි වැටී ඇත්නම්, ධම්ම විචය, විරිය, පීති යන බොජ්ඣංග වැඩීමෙන් සමාධි සම්බොජ්ඣංගය උපදී.”

සුදුසු කල්හි සිතට නිග්‍රහ කිරීම

යම්විටක යෝගාවචරයාගේ සිත නොසන්සුන්ව ගියේද එවිට ධම්ම විචය, විරිය, පීති යන බෝජ්ඣංග තුන නොවැඩිය යුතුය. පස්සද්ධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංග වැඩිය යුතුය. බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂූන් අමතා මෙසේ වදාළහ. “මහණෙනි, යමෙකුට විශාල ගිනි කඳක් නිවීමට වියළි දර, වියළි ගොම, වියළි තණපත් දැමීමෙන් හැකිවේද?” “එය එසේ නිවා දැමීමට නොහැකි යැ”යි භික්ෂූහු පිළිතුරු දුන්හ. “මහණෙනි”, අන්න ඒ ආකාරයෙන් යම් අවස්ථාවක සිත උඩඟුව පවතී නම් එකල ධම්ම විචය, විරිය , පීති සම්බොජ්ඣංග වැඩීමට සුදුසු නැත. එහිදී පස්සද්ධි, සමාධි, උපේක්ඛා සම්බොජ්ඣංග වැඩිය යුතු යැ”යි ප්‍රකාශ කළහ.

සුදුසු කළ සිත සතුටු කිරීම යම් අවස්ථාවක යෝගාවචරයාගේ ප්‍රඥාව හීන වී, සිතේ එකඟතාවයක් නැතිවී, සැප රහිත ආස්වාද රහිත තත්ත්වයට පත් වී නම් එවිට කළ යුත්තේ” ජාති,ජරා, ව්‍යාධි,මරණ යන දුක් හතර ද පස්වැනි අපා දුක ද, අතීත කාලික සසර දුක ද, අනාගත කාලික සසර දුක ද, වර්තමාන කාලික ආහාර සෙවීමේ දුක ද යන මේ සංවේග වස්තු අට නුවණින් මෙනෙහි කරමින් තෙරුවන් ගුණ සිහි කර සිත සතුටු කිරීමය. එය සමාධි සම්බොජ්ඣංගය ඇතිවීමට හා වැඩීමට කරුණක් වෙයි.

07. සුදුසු කළ මැදිහත් ව බැලීම

යහපත් පිළිවෙත් නිසා හැකිළීමක්, ඇවිස්සීමක් නැතිව ආස්වාද සහිතව යෝගාවචරයාගේ සිත භාවනාවෙහි යෙදී පවතීද එහි දී කළ යුත්තේ වෙනස්කම් කිරීමට උත්සාහ නොකොට භාවනා කරගෙන යාමයි. සමසේ බර ඇඳගෙන ගමන් කරන අශ්වයන් දෙදෙනා දෙස උපේක්ෂා සහගතව බලා සිටින රථාචාර්යයා මෙන් යෝගාවචරයා හැසිරිය යුතුය. එය සමාධි සම්බොජ්ඣංගය ඇතිවීමට හා වැඩීමට හේතු වේ.

අසමාහිත පුද්ගලයන්ගෙන් – වෙන්ව වාසය කිරීම

අසමාහිත පුද්ගලයින් වශයෙන් මෙහිලා ගැනෙන්නේ සමාධි වැඩීමක් නො කරන පුද්ගලයන්ය. වික්ෂිප්ත සිත. ඇතියවුන් අතර ජීවත් වන්නාගේ සිත ද ඒ අනුව හැඩ ගැසෙන බැවින්, එවැන්නවුන් අතර සිට සමාධිය වැඩීමට නොහැකිය. අසමාහිත පුද්ගලයන්ගෙන් වෙන් ව වාසය කළ යුත්තේ ඒ නිසාය.

සමාධිය ඇති පුද්ගලයන් සේවනය කිරීම සමාහිත පුද්ගලයින් අතර සිට, ඔවුන් ඇසුරු කිරීම යෝගාවචරයාට මහත් ලාභයකි. එයින් තමා ලබා ගෙන ඇති චිත්ත සමාධිය නො නැසී පවතී. එබඳු සමාහිත පුද්ගලයන්ගේ ඇසුරක් නැත්නම් හුදෙකලාව විසීම යෝගාවචරයාට හැම අතකින්ම හිතකරය.

ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් වෙන්ව සමාපත්තියට පත්වීමේ අගය නුවණින් මෙනෙහි කිරීම

ධ්‍යාන විමොක්ස අටක් ගැන විසුද්ධි මාර්ගයෙහි ඉගැන්වෙයි. ඒවා නුවණින් මෙනෙහි කිරීමෙන්ද සමාධි සම්බොජ්ඣංගය උපදී.

තදධිමුත්තතාව

ඉදීම්, සිටීම් ආදි සිවු ඉරියව්වේදීම සමාධි සම්බොජ්ඣංගය ඒකාන්තයෙන් උපදවා ගැනීමට එයට නැමී හැරී බරව පැවති චිත්තවේගයෙන් යුක්ත බව තදධිමුත්තතාවයි.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk