UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල් පිපිච්ච සල් වනයක් සිල් ගන්වයි හැම හිතක්ම

මල් පිපිච්ච සල් වනයක් සිල් ගන්වයි හැම හිතක්ම

අපේ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීමානව වැඩ සිටි දවස භික්ෂූන් වහන්සේ සියලු දෙනාම අවබෝධයෙන් යුතුවම ශාසනයට ඇතුළත් වුණා. මහණදම් පිරුවා. ගිහි ඇඳුම් බහා තබා දැළි රැවුල බා, කසාවත් හැඳ පැවිදි ජීවිතයට පත්වන යම් වූ ද කුලපුත්‍රයන් විසින් ධර්ම විනයෙහි පිහිටා පිරිය යුතු සීල, සමාධි, ප්‍රඥා ගුණ මඟවේද එම මාර්ගය ශාස්තෘවරයාණන් වහන්සේ නේතෘත්වයෙහි, එමෙන් ම ශාස්තෘත්වයෙහි පිහිටුවාගෙන ම බොහෝ අවවාදයන්ගෙන් තොරවම නිතරම තමා තමාම ධර්ම විනයෙහි හික්මීමෙන් යුතුව ඒ මාර්ගය අනුගමනය කළා.

භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි මනාකොට සිවුරු පොරවා පාත්‍රය ගෙන මනා වූ සිහියම පිහිටුවාගෙන පිණ්ඩපාත චාරිකාවෙහි හැසුරුණා. හිරු බැහැරට යන්නට මත්තෙන් දන් වැළඳුවා. දවසට එක් වතාවක් පමණක් ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව වළඳින බුදුරජාණන් වහන්සේ හා භික්ෂූන් වහන්සේ කායිකව ලද නීරෝගී හා නිදුක් බවින් යුක්තව ශාරීරික සැහැල්ලුවෙන් යුතුව පහසු විහරණයෙන් යුතුව දවසේ හවස් යාමයත්, රාත්‍රී කාලයත් ගත කළා. රාත්‍රී කාලයත්, පෙරයම, මැදියම, අලුයම වශයෙන් කොටස්වලට බෙදාගෙන පැය දෙකක් පමණ කාලයක් සිංහ සෙයියාවෙන් සැතපී අනිකුත් සියලු කාලයන් සතර ඉරියව්වෙන් යුතුව සතර සතිපට්ඨානයෙන් පුරුදු කරන ලද සිහිය පවත්වාගෙන ම සසුන් මගෙහි වැඩම කළා.

භික්ෂූන් වහන්සේලාට අයත්ව තිබුණේ අධ්‍යාත්මික වූ කටයුතු ස්වල්පයක් පමණයි. තමන් වහන්සේ අරහත් බෝධියට පත් වී ඇත්නම්, නිරෝධ සමාපත්තියත්, පහසු විහරණයත්, කායික වශයෙන් ගත කිරීමයි. එමෙන් ම අවශ්‍ය වූ විටෙක ධර්ම සාකච්ඡා පැවැත්වීමත් බොහෝ දෙනාට හිතසුව පිණිස අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීමත් පමණයි. ජන සමාජයේ පැවැතුණු නොයෙක් චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමෙන් හෝ වෙහෙර විහාර ඉදිකිරීමෙන් හෝ රටේ ජනයාගේ සාමාජික ප්‍රශ්නවලට එකතුවෙමින් තම පාරිශුද්ධ වූ පැවිදි ජීවිතයට බාධා කරගත්තේ නැහැ. සියලු ලෞකික බැඳීම් අත්හැර පැවිදි ජීවිතයට පත් වූ බවත්, සසර දුකින් අත්මිදීමට නම් අපේක්ෂා, බලාපොරොත්තු සියල්ල බැහැර කළ යුතු බවත්. රූප ආදී කිසිඳු ආරම්මනයක නිමිති වශයෙන් ගෙන කිසිඳු ආකාරයකින් කෙලෙස්, කර්ම, සංස්කාර, රැස්නොකළ යුතු බවටත් ඒ වගේ ම සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ රහත් උතුමන් නම් හැකි හැම අවස්ථාවක ම නිරෝධ සමාපත්තියෙන් යුතුවම ධර්මයේ සුවය ලබමින් කාලය ගත කිරීම පමණක්මයි. පෘතග්ජන භික්ෂූන් වහන්සේ හෝ මාර්ගඵල අවබෝධයට පත්වී එහෙත් අරහත් බවින් මුළු මනින් සියලු කෙලෙසුන් නොනැසූ ‘සේඛ’ ස්වභාවයේ පවතින භික්ෂූන් වහන්සේ ද සසර දුකින් අත්මිදෙනවා නම් වූ අරමුණම සිහියේ පවත්වාගෙන ඒ උතුම් පැවිදි ජීවිත ගත කළා.

භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය වූයේ භික්ෂූන් වහන්සේට කළයුතු දේ හා නොකළ යුතු දේ පිළිබඳව සිහිපත් කිරීම පමණක්මයි. ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ ‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ පමණක් දේශනා කළ බවත් කිසිදු විනය නීතියක් නොපැන වූ බවත් ධර්ම කතාවෙහි සඳහන් කරන්නේ ඒ අදහසමයි. භාග්‍යවතුන් වහන්සේ ද අපමණ වූ සුවයකින් වැඩවාසය කළා. සියලු ස්වාමීන් වහන්සේ සමග්ගා, සම්මෝධමානා, අවිවදමානා, කීරෝධකිභූතා, අංඤමඤ්ඤං පිය චක්ඛු හි සම්පස්සංතා විහරංති සමගියෙන්, සතුටු සිතින්, වාද විවාද නැතිව, කිරි හා වතුර මෙන් ඔවුනොවුන් කෙරෙහි පිය දෑසින් බලමින් වාසය කිරීම මෙහි අදහසයි. ඒ බුදු සසුන හා පැවැත්ම මොනතරම් සෞම්‍ය වෙන්නට ඇත් දැයි ඔබට සිතාගත හැකිවනු ඇත.

නීති පනවන්නට ආරම්භ වීමෙන් පසුව ඇතිවන ව්‍යාකූල ස්වභාවය ඉතාම පැහැදිලියි. නීති පැනවීමත්, ඒ නීති හා විනය ආරක්ෂා කරනවා දැයි සොයා බැලීමත්, නැවත නැවතත් නීති පැනවීමත් ආදී වශයෙන් ශාසන මඟ අහුරන බාධා රැසක් ම අලුතින් නිර්මාණය වූ බව ඉතාම පැහැදිලියි. විනයකින් ආරක්ෂා කිරීමට වඩා අවබෝධයෙන් ම ස්වයං විනයක් ඇතිවීම ම ඉතා යහපත් වූ බවම භාග්‍යවතුන් වහන්සේගේ අදහස වුණා. තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා.

මහණෙනි “යම් සේ සම භූමියක සතර මං හන්දියක පහසුවෙන් ගත හැකි ලෙස තබන ලද කෙවිටි ඇති හික්මුණු අශ්වයන් යෙදූ රථයක් ගමනට සූදානම්ව තිබෙන්නේ ද? දමනය කළ යුතු අශ්වයන් ස්වයං හික්මීමෙහි දක්ෂ වූ රථාචාර්යෙක්, එම රථයට නැගී වමතින් රැහැන්පට ගෙන දකුණතින් කෙවිට ගෙන කැමැති ගමනක් සඳහා ඉදිරියට අසුන් මෙහෙයවන්නේය”. මහණෙනි, එපරිද්දෙන් ම මා විසින් ඒ භික්ෂූන් කෙරෙහි ද අනුශාසනාව කටයුතු නොවීය. කළයුතු අනුශාසනාව සිහි ඉපදවීම පමණක් ම විය. මහණෙනි, එහෙයින් මෙහි නුඹලා ද අකුසල් දුරු කරවු කුසල් දහම් හි නැවත යෙදෙවු මෙසේ නුඹලා ද මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්වයට එනම් මාර්ගත්වයට පැමිණෙන්නාහුය.

අශ්ව කරත්තයක නැගෙන රථාචාර්යයෙක් කෙවිටක් අතටගෙන ඉදිරියට පිටුපසට අශ්වයන් මෙහෙයවන්නා සේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා මෙහෙය නොවිය යුතු බව එනම් මෙහෙයවීමක් නොකළ යුතු බව වදාළා. එක අතකින් රැහැන් පොටත් අනෙක් අතින් කෙවිටත් ගෙන අශ්වයන් මෙහෙයවනවා මෙන් නීති පනවමින්, පනවල ලද නීති රකිනවාදැයි බලමින් නීති කඩන අයට නැවතත් පිරිසුදු වෙන්නට උපෝසථ කර්ම, විනය කර්ම ඇවැත් දෙසීම් ආදිය පනවමින් ඒවා සොයා බලමින්, කටයුතු කිරීම ඉතාම අපහසු කාර්යයකි.

එමෙන් ම කල්ප ගණනාවක් පාරමී ධර්ම සම්පූර්ණ කොට ඉතා අපහසුවෙන් අවබෝධ කරගත් සම්මා සම්බෝධිය සියලු සත්වයන්ගේ දුකින් නිදහස්වීමේ මඟට යොමු කිරීමේ කාලය අඩුවීමට හේතුවක් වන්නේය. එයට හේතුව විනය නීති පනවා ඒ අය ආරක්ෂා කිරීමට කාලය යෙදිය යුතු බැවිනි.

භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් මෙසේ අනුශාසනා කරනවා. “මා මේ සඳහන් කළ අවවාදය මැනවින් සිත්හි දරාගෙන නිතර සිහිපත් කරමින් අකුසල් දුරු කරන්න. කුසල් දහම්හි නැවත නැවතත් යෙදෙන්න. නුඹලා මේ ශාසනයේ වැඩීමට, දියුණුවට, විපුලත්වයට පැමිණෙන බව නම් අනිවාර්යයි. ” ඒ අවවාදය සියලු කෙලෙසුන් නැසූ රහතුන් වහන්සේලාට නොවේමය. සියලුම පෘතග්ජන භික්ෂූ, භික්ෂූණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසටමයි.

මහණෙනි, යම් සේ ගමක් හෝ නියම් ගමක් හෝ අසල මහත් සල් වනයක් වේද? එම සල් වනයෙහි සල්ගස් පිළිලවලින් වැසී තිබෙන්නේ ද? ඒ වනයට, සල්ගස්වලට වැඩ කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් වේ නම් එනම් සියලු සත්වයන්ට ජීවත්වන්ට ඉඩ දෙන යම් පුරුෂයෙක් වේද හෙතෙම මුළු සල් වනයම මැනවින් පිරිසුදු කරන්නේය. ඉතා හොඳින් මැනවින් වැඩුණු යම් තරුණ සල්ගස් වෙත්නම් ඒවා මැනවින් පෝෂණය කරන්නේය.

මහණෙනි, මෙසේ ඒ සල්වනය පසු කලෙක වැඩීමට, දියුණුවට, අභිවෘද්ධියට ම පැමිණෙන්නේය. මහණෙනි, එපරිද්දෙන් ම අකුසල් දුරු කරන්න. කුසල ධර්මයන්හි නැවත නැවත යෙදෙන්න. මෙසේ නුඹලාත් මේ ශාසනයේ වැඩීමට දියුණුවට විපුලත්වයට පැමිණෙන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් ඒ නිදසුන වර්තමානයේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසටම ඉතා උත්තරීතර වූ දහම් අවවාදයකි. පිළිලයන්ගෙන් වැසී පිරී තිබෙන සල්වනය පිරිසුදු කළාක් මෙන් ශාසනික අරමුණු අමතක කරමින් ඇලීම් ගැටීම් නම් වූ රාග, ද්වේෂ, උපදවන මගකට නිමිති ගනිමින් ජීවිත පවත්වන්නා වූ මේ ශාසනයෙහි කවර නම් වූ අයකුට භාග්‍යවතුන් වහන්සේගේ ඒ දහම් අවවාදය මනා වූ ම අනුශාසනයකි. සල්වනයක් කියන අදහස අපේ සිතට එනවිට සිතිවිලි සකස්වන්නේ පාරිශුද්ධියෙන් යුතුවමයි. සල් මලින් පිරුණු සල්වනය පරිසරයම සුවඳවත් කරනවා සේ ම සිත් ද ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කරයි. ඒ සල් වනය පිළිලයන්ගෙන් වැසුණොත් ඒ සාල වෘක්ෂයන්ගේ අභිවෘද්ධියක් නොව විනාශයක් වන්නේ ය. එහෙම නම් ඒ සල් වනයෙහි සල් වෘක්ෂයන් හි පිළිල ඉවත් කොට තරුණ සල් වෘක්ෂයන් මනාකොට පෝෂණය කොට සල් වනය බබළන්නේ නම් ඒ ආකාරයෙන් ම ධර්ම විරෝධී, විනය විරෝධී පිළිල ශාසනයෙන් බැහැර කොට සල් වනය පිරිසුදු වුණාක් මෙන් මේ උතුම් බුද්ධ ශාසනය පිරිසුදුවන්නේ නම් එය මහත් වූ සැනසිල්ලකි.

කකචූපම සුත්‍ර දේශනාවේ තවත් කොටසක් දුරුතු අවඅටවක පෝදා (20දා) පළවේ.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk