UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙත් සිතක මහිමය

මෙත් සිතක මහිමය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“න මෙ චිත්තං විපරිණතං භවිස්සති. න පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච
විහරිස්සාමි. මෙත්තචිත්තෙ න දොසන්තරො ති”

පින්වන්ති ,

අද ලංකාවාසී බෞද්ධයන්ට වැදගත් දිනයක්. එනම් අද වගේ දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළා. උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් නව වන මාසයේ දී මහියංගණයේ මහානාග වනයට වැඩමකර යක්ෂ ගෝත්‍රිකයින් දමනය කළ බව සඳහන් වෙනවා. එවන් අතිඋතුම් පොහෝ දිනයකදී ඔබගේ ධර්මඥානය වැඩි දියුණු කිරීම සඳහා මජ්ක්‍ධිම නිකායේ එන කකචූපම සූත්‍රය ඇසුරු කර ගනිමින් මෙම ධර්ම විග්‍රහය කිරීමට අපේක්ෂා කරනවා.

මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින දිනයකදි මොලීයඵග්ගුන හිමියන් අරභයා දේශනා කළ බව සඳහන් වෙනවා. මොලීයඵග්ගුන හිමියන් නිතර භික්ෂුණීන් වහන්සේ සමඟ සල්ලාපයේ යෙදෙන අතර භික්ෂුණීන් පිළිබඳව යම් දෝසයක් අගුණයක් කථා කළ විට එයට උරණ වී භික්ෂූන් සමඟ වාද විවාද කරනවා. කළහ කරනවා. මේ ආකාරයටම මොලීයඵග්ගුන හිමියන්ගේ දෝෂයක් හෝ අගුණක් ගැන කතා කළ විට භික්ෂුණින්ද වාද විවාද කරගන්නවා. මේ ගැන භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළ විට ඵග්ගුන හිමියන් කැඳවා එහි ඇත්ත නැත්ත විමසුවා. එය භාරගත් විට බුදුරජාණන් වහන්සේ ඔහුට අවවාද කරමින් මුලින් සඳහන් කළ උද්ධෘතය ප්‍රකාශ කළා. කෙනෙකු තමා ඉදිරියේදී හෝ අනභිමුඛව හෝ චෝදනාවක් හෝ ගැරහීමක් හෝ කරන විට මන්ත්‍රයක් ලෙසට මෙසේ සිතිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මගේ සිත වෙනස් නොවන්නේය. “පාපි වචනයක් නොකියන්නෙමි. “සිතේ අනුකම්පාව ඇතිව වාසය කරමි. මෛත්‍රී සිත් ඇතිව වසමි. ද්වේෂ සිත් නැතිව වසමි. මෙසේ කල්පනා කරන ලෙසට අවවාද කරන ලදී. මෙය එක්තරා ශික්ෂණ ක්‍රමයක්. කිසිවෙක් තමා පිළිබඳව අගුණ ඇසීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. පරිභවයක් ඇසීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එසේම තමා පි‍්‍රය කරන කෙනෙකු විවේචනය කිරීම හෝ ඔහුට දොස් කීම හෝ අවලාද ඇසීමට හෝ කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙය පොදු ස්වභාවයක්.

යම් අවස්ථාවකදී ඇසීමට සිදුවුව හොත් ඒ නිසා සිත වෙනස් වී පිරිසුදුව පැවති සිත කිළිටි වන්නේ. තරහ කෝපය, වෛරය, පළිගැනීම යන මේ සිතිවිලි සිතට පැමිණෙන නිසාය. එවිට තම සිත තමාට අයත් සිතක් වන්නේ නැහැ. එයට හේතුව, සිත අනුන් විසින් ගන්නා ලද සිතක් බවට පත්ව ඇති නිසාය. සිතක පවතින සන්සුන්කම නැතිකිරීමට පහසුය. තමාගේ අභිමානය.අයිතිය, පි‍්‍රයතාවය, අවශ්‍යතාවය අහිමි කරන ඕනෑම වචනයක් හෝ ක්‍රියාවක් කරණකොට ගෙන මනසේ අස්ථාවරත්වයක් ඇති කළ හැකිය. එවන් විටක මෙබඳු උපදේශන වාක්‍යයක් සිහිකිරීම මනස යථාතත්වයට පත්කිරීමට උපකාර වේ. සූත්‍රය දක්වන අන්දමට බැනවැදීම දොස් කීම පමණක් නොව අතින් පයින් පහර දෙන විටත් ගල්කැටවලින් පහරදෙන විටත්, ආයුධයකින් පහර දෙන විටත් තම සිත වෙනසකට පත් නොකළ යුතු බවට උපදෙස් දී ඇත. එවිට කරන ප්‍රතිචාරයක් ලෙසට නරක වචනයක් නරක ක්‍රියාවක් නොකළ යුතු බවට උපදෙස් දී ඇත. ද්වේෂයෙන් කටයුතු කරන්නා කෙරෙහි හිතේ අනුකම්පාව ඇති මෛත්‍රී සිතිවිළි ගොඩනැගිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වා තියෙනවා. ද්වේෂ සහගත සිතක්, පළිගැනීමේ සිතක්, කෝප වූ සිතක් ඇති වුවහොත් එබඳු සිතිවිළි වහා පහ කළ යුතු බව පෙන්වයි. හේතුව ඒවා සියල්ලක් ලෞකිකත්වයට අයත් “ගෙහසිත” සිතිවිලි වන නිසාය. ඒවා දුක්පීඩා ඇතිවීම සඳහා බලපාන නිසාය.

මෙහිදී බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වේ පෙර සිදුවූ සිද්ධියක් භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා. අතීතයේ මේ නගරයේ වෙදෙහිකා නම් ගෘහණියක් ජීවත් වුණා. ඇය කරුණාවන්ත, නිවුණු ශාන්ත කෙනෙක්. ඇගේ මෙ නිවුණු ගති ලක්ෂණ කවුරුත් පි‍්‍රය කළා. අගය කළා. ඇයට කාලි නම් දාසියක් සිටියා. ඇයට අවශ්‍ය වුණා තම ස්වාමිදියණිය සත්‍යයෙන්ම කාරුණික දැයි පරීක්ෂා කරන්න. ගෙදර වැඩ යහමින් තමා කරන නිසා ඇයට කේන්ති නොයනවා විය හැකියි. එසේම ඇයට කේන්ති යනවා. නමුත් පෙන්වන්නේ නැතිව සිටිනවා ද විය හැකියි. එක් දිනක් ඇය පමා වී නැගිට්ටා. ඇගෙන් ප්‍රශ්න කළා පමාවී නැගිටීමේ හේතුව. ඇය හේතුවක් නැති බව ප්‍රකාශ කළා. ස්වාමිදියණිය ඇහිබැම හකුළුවා එය බාරගත්තා. දෙවන දිනයේදීත් ඇය පමාවි නැගිට්ටා. එදිනත් හේතුව සැරෙන් විමසුවා. සේවිකාව හේතුවක් ප්‍රකාශ කළේ නැහැ. තුන්වන දිනයේදීත් ඇය එයම කළා. හේතුව විමසුවත් පිළිතුරක් නොලැබුණූ නිසා දොරපොල්ල ගෙන ඇගේ හිසට පහරක් ගැසුවා. හිස තුවාල වුණා. සේවිකාව ලේ වැගිරෙන හිසින් යුතුව නගරය පුරා වෙදෙහිකා ගෘහණිය තමාට ලේ එන තෙක් පහර දුන්න බව කිය කියා ඇවිද්දා. එදා පටන් වෙදෙහිකා ගෘහණිය චණ්ඩි, වහා කේන්ති යන ආක්‍රමණශීලි කාන්තාවක් ලෙසට ප්‍රසිද්ධ වුණා. මේ කතා ප්‍රවෘත්තිය ගෙන හැර දක්වමින් බුදුරජාණන් වහන්සේ කෙනෙකු නරක වචන නො අසන තෙක් ඔහු කාරුණික, නිවුණු, උපශාන්ත කෙනෙකු ලෙසට ජීවත් විය හැකි බවත්, නමුත් කෙනෙකුගේ උපශාන්ත බව කාරුණික බව නිවුණු බව ඔහුට වාග් ප්‍රහාර එල්ලකිරීමෙන් දැනගත හැකි බව පෙන්වා දෙන ලදී. මෙහිදී වැදගත් වන්නේ තර්ජන ගර්ජන අකටයුතුකම්, ඊර්ෂ්‍යා කිරීම්, විවේචන, විවිධ බාධා කිරීම් හමුවෙහි යම් කිසිවෙක් ඉන්ද්‍රකීලයක් මෙන් අකම්පිතව විරෝධය ඉවසයි නම් එම ස්වභාවය කෙනෙකුගේ උපශාන්තබව කාරුණිකබව තැන්පත් බව ප්‍රකට කරන බව උගන්වයි. මෙනිසා අභියෝගයක් ඉදිරියේදී තමා ඇති කරගන්නා වු නොසෙල්වෙන අකම්ප්‍ය ස්වභාවය නිර්මාණය කරගැනීම සඳහා මේ බුද්ධමන්ත්‍රය ඉතා ප්‍රයෝජනවත් වේ.

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ වචනපථ පහක් ගැන අවධානය යොමු කරවයි. වචනපථ යනු වචන මාර්ගයයි. කෙනෙකු තව කෙනෙකුට කියන ප්‍රවෘත්ති පස් ආකාරයකට ගලා එන බව බුදුරජාණන් වහන්සේ මෙහි දී විස්තර කරනවා.

1.කාලින ප්‍රවෘත්ති සහ කාලීන නොවන ප්‍රවෘත්ති (කාලෙන වා අකාලෙන) 2.සත්‍ය ප්‍රවෘත්ති සහ අසත්‍ය ප්‍රවෘත්ති (භූතෙන වා අභූතෙන) 3.මිහිරි ප්‍රවෘත්ති සහ අමිහිරි ප්‍රවෘත්ති (සණ්හෙන වා ඵරුසෙන) 4.ප්‍රයෝජනවත් ප්‍රවෘත්ති සහ ප්‍රයෝජනයක් නැති ප්‍රවෘත්ති (අත්ථසංහිතෙනවා අනත්ථසංහිතෙන) 5.මෛත්‍රී සිතින් කියන ප්‍රවෘත්ති සහ ද්වේෂ සහගතව කියන ප්‍රවෘත්ති (මෙත්ත චිත්තාවා දොසන්තරා)

කෙනෙකු ඔබ වෙත පැමිණ කරන වාර්තාව මේ පස් ආකාර රටාවන් ගෙන් එකක් විය හැකිය. ඔබට කියන දේ සත්‍ය විය හැකිය. එසේම අසත්‍ය ප්‍රවෘත්තියක්ද විය හැකිය. මේ දෙකටම දැක්විය යුතු ප්‍රතිචාරය උපේක්ෂාවයි. එම ප්‍රවෘත්තිය ඇසු සැනකින් බුද්ධ මන්ත්‍රය සිහි කළ යුතුය. එයින් ශික්ෂණය ලැබිය යුතුය. “මගෙ සිත වෙනස් නොවන්නේය. මෙයට ප්‍රතිචාරයක් ලෙසට නරක වචනයක් නොකියන්නෙමි. ඔවුන් කෙරෙහි සිතේ අනුකම්පාව සහිතව ජීවත්වෙමි. මෙත් සිතින් ජීවත්වෙමි. ද්වේෂ සිතින් බැහැරව ජීවත්වෙමි.”යන පිළිවෙලට සිත සංවර්ධනය කිරීම අනුදැන වදාළ ක්‍රමයයි. කාලයට අදාළ ප්‍රවෘත්තීන් මෙන්ම කාලීන නොවූ ප්‍රවෘත්තීන්ද අපට අසන්නට ලැබේ. සමහර කතා මීට අවුරුද්දකට පෙර කියන ලද්දකි. අද එහි වටිනාකමක් නොමැත. නොහික්මුණු මනසක් ඇති අය එම කතාව අසා කෝපයට පත් වේ. කම්පාවට පත් වේ. අසහනයට පත්වේ. මේවායේ කාලීන අර්ථයක් නැත. සිත වෙනස් නොකර තබා ගැනීම වැදගත් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සමහර ප්‍රවෘත්තීන් අසනවිට සිතට මිහිරක් දැනේ. සමහර ප්‍රවෘත්තීන් ඇසීමෙන් කනගාටුවක් ඇතිවේ. වේදනාවක් ඇතිවේ. නො ඇසුවානම් හොඳයි යන සිතිවිල්ල ඇතිවේ. මෙහිදීද ඇති කරගත යුතු මානසික ස්වභාවය පෙරපරිදි සිත වෙනස් වෙන්නට ඉඩ නොතැබීමයි. සමහර ප්‍රවෘත්තින් ඇසීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොමැත. තමාගේ භෞතික හෝ ආධ්‍යාත්මික හෝ ජීවිතයට කිසිඳු අර්ථයක් ලබා නොදෙයි. මෙවන් විටකදී ද සිත නොවෙනස්ව තබා ගැනීම වැඩදායකය. බොහෝ දෙනා ඔබ වෙත රැගෙන එන ප්‍රවෘත්තීන් ඔබගේ යහපත ඉලක්ක කරගත් තොරතුරු නොවේ.

සියුම් ඊර්ෂ්‍යාවක් සහිතව පෞරුෂය, බිඳ දමා, සිත සසල කරවන දේ කියන්නට පෙළඹේ. එහි අරමුණ දියුණුවට බාධා කිරීමය. මේ ප්‍රවෘත්තිය හුදෙක් තමාට,

තමාගේ දියුණුව ගැන සලකා ප්‍රකාශ කරන දෙයක්ද යන්න විමර්ශන කිරීමට ඔබගේ සිතේ තැන්පත් බව රඳවා ගැනීම අතිශය වැදගත්ය. ඒ සඳහා නිරතුරුවම මේ බුද්ධ මන්ත්‍රය සිහියෙහි තබා ගැනීම ඉතා වැදගත්ය.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk