UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලේ පුදබිමේදී දුරුතු පෝදා පැවැත්වෙන අසිරිමත් ගිරිභණ්ඩ පූජාව

මිහින්තලේ පුදබිමේදී දුරුතු පෝදා පැවැත්වෙන අසිරිමත් ගිරිභණ්ඩ පූජාව

අර්ථසම්පන්න පුණ්‍ය කටයුත්තක්

මහා දාඨික මහානාග රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කර ඉදි කරන ලද මිහින්තලේ මහා සෑයට ප්‍රථමවරට අසාමාන්‍ය පුණ්‍ය මහෝත්සවයක් ලෙස ගිරිභණ්ඩ පූජාවක් පවත්වා ඇති බව මහාවංශය ඇතුළු ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් වේ.

ඉන්පසුව සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විවිධ අවස්ථාවල ඓතිහාසික ස්ථානයක් මුල්කරගනිමින් සහ මහා සංඝරත්නය විෂයෙහි ද ගිරිභණ්ඩ පූජා පැවැත්වීම සිදුකර ඇති බව ශාසන ඉතිහාසයෙන් පැහැදිලි වේ.

ඒ අනුව වර්තමාන මිහින්තලා රජමහ විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්ථවිරයන්ගේ මූලිකත්වයෙන් රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි මස 12 වෙනි දුරුතු පුර පසළොස්වක පොහෝ දින මිහින්තලා මහා සෑයට ගිරි භණ්ඩ පූජා පින්කමක් පැවැත්වීමට සහ එයට සමගාමීව දාන, ශීල, භාවනා ඇතුළත් විවිධ පුණ්‍ය කටයුතු සිදු කිරීමට යොදා ගෙන තිබීම කාලෝචිත, වඩාත් අර්ථසම්පන්න පුණ්‍ය කටයුත්තක් ලෙස අපි විශ්වාස කරමු. එසේම එය ශ්‍රී සම්බුද්ධ ශාසනයේ යහපැවැත්ම උදෙසා ද නොමඳ සහායක් බවට නිරනුමාන වේ.

එබැවින් අනාගතයේදීත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මෙවන් වූ අත්‍යුදාර පරමාදර්ශී සමාජ සද්කාර්යන් අඛණ්ඩව සිදුකරනුවස් මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්ථවිරයන්ටත් උඩකැන්දවල චන්දවිමල නායක ස්ථවිරයන් ඇතුළු ඒ හා සම්බන්ධ සියලුම දෙනාටත් ශ්‍රීමත් දළදා වහන්සේගේ පිහිට හා ආරක්ෂාව ලැබේවායි ආශිංසනය කරම්හ.


ගිරිභණ්ඩ පූජාව

ශ්‍රී බුද්ධ වර්ෂ 236 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ දෙටු පුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස ශ්‍රී ලංකාද්වීපයෙහි මිස්සක පව්වට වැඩම කොට දඩ කෙළියෙහි පැමිණි දෙවන පෑ තිස් නිරිඳුන් ඇතුළු හතළිස්දාහක් පිරිස පන්සිල් සමාදන් කරවා ධර්ම දේශනා කර පළමුවෙන්ම ශ්‍රී සම්බුද්ධ ශාසනය ලක්දිව ප්‍රතිෂ්ඨාපනය කළ අති පූජනීය ස්ථානය ඓතිහාසික මිහින්තලා පින් බිමයි. මිහින්තලා පින්බිම මුල්කර ගනිමින් මෙරට ආරම්භ වූ බෞද්ධ සංස්කෘතිකමය ලක්ෂණ හේතුකරගෙන විවිධ පුද පූජා හා පින්කම් අතීතයේ සිට වර්තමානය දක්වාම සිදුකෙරෙමින් පවතී.

වසර දෙදහස් පන්සියයකටත් වඩා ඈත අතීතයක සිට හෙළ බෞද්ධ සංස්කෘතිය හා සබැඳිව සිදුකරනු ලැබූ පින්කම් පිළිබඳ මෙරට ජනතාවට ඇත්තේ අනූපමේය වූත් අසමාන වූත් කීර්තියකි. අතීත රජවරුන් හා මහාමාත්‍යාදීන් විසින් අසීමිත ලෙස ස්වකීය ධනය යොදවා සිදුකළ පින්කම් පිළිබඳ මෙන්ම සිය ඇඳිවත පවා විකුණා දන් දී නිවන් සුව පැතූ නිර්මල සැදැහැ ගුණ පිරි සත්පුරුෂයන් පිළිබඳවද යශෝරාවය දුර අතීතයේ සිටම හදවත්තුළ රැව් පිළිරැව් දේ. ස්වකීය ජීවිතකාලය තුළ ඉඩ ලද සෑම අවස්ථාවකදීම නොයෙක් නොයෙක් වූ විසිතුරු අරුත් ඇති විවිධ වූ පින්කම් කිරීමට ලක්වැසි ජනයා මහත් රුචිකත්වයක් දක්වා ඇත. එවැනි වූ විසිතුරු වූ පින්කම් අතර ‘ගිරි භණ්ඩ පූජාව‘ යනු අන් කිසිම පින්කමකට සමාන නොවන ඉතා දුර්ලභ ගණයේ උසස්ම පින්කමක් ලෙස සඳහන් කළ හැකි ය.

මහා වංශය, දීප වංශය, විසුද්ධි මාර්ගය, සද්ධර්මාලංකාරය, පාලි රසවාහිනිය යන ග්‍රන්ථයන්හි මෙම අසිරිමත් ‘ගිරි භණ්ඩ පූජාව‘ පිළිබඳව ලියවී ඇත. මිහින්තලේ අම්බස්ථල චෛත්‍යය (මහා සෑය) කරවූ මහා දාඨික මහා නාග රජු විසින් මෙම මහා පූජාව සිදුකළේ බුදුරදුන් දවස රජගහ නුවර සිදුකළ ‘ගිරග්ග සමජ්ජ’ නම් වූ සැණකෙළිය පූර්වාදර්ශයන් කරගෙනයැයි ඇතැම් විද්වත්හු අනුමාන කෙරෙති. ‘ගිරග්ග‘ යන්නෙන් ‘කඳු මුදුන’ යන අර්ථයත් සමජ්ජ’ යන්නෙන් සැණකෙළිය යන අර්ථයත් ගැනේ. මිහින්තලේ පර්වත භූමියක් නිසා මහා දාඨික මහා නාග රජු මෙම ‘ගිරි භණ්ඩ පූජාව‘ සිදුකළේ අඹතලාව ලෙස කියවෙන මිහින්තලා මිස්සක පව්වේය. ගිරග්ග සමජ්ජ යනු සැණකෙළියක් වූ බැවින් මහා දාඨික මහා නාග රජු ද මේ මහා පූජාවට සැණකෙළි අංගෝපාංග එකතු කර ඇති බවට ද විශ්වාස කළ හැකි ය.

පාලි හා සංස්කෘත මූලාශ්‍රවල දැක්වෙන පරිදි නැටුම්, ගැයුම්, වැයුම්, සල් පිල් ආදියෙන් ‘ගිරග්ග සමජ්ජය’ යුක්තවිය, එහෙයින් සෑගිරිය (මිහින්තලය) හාත්පස යොදුනක් පමණ දුර නොයෙකුත් මනහර වීථි තනා සතර දොරටුවක් තබා මාවත් තොරණ්, කොඩි, සල්පිල්, ආදියෙන් සමලංකෘත කොට තිබේ. පහන් දල්වා මල් මාලා එල්ලුණි. නැටුම්, ගැයුම්, වැයුම් පැවතුණි. මල්වතු ඔය (කොළොම්ඔය) පටන් මිහින්තලය දක්වා පියවිළි එලා තිබූ අතර, ඔයෙන් පය සෝදාගත් භික්ෂූන් වහන්සේට පාවාඩ උඩින් අනුරාධපුරයේ සිට මිහින්තලයට වැඩමවීමට හැකි විය.

සම්බුදු සසුන තුළ ඉතාම විරළ ගණයේ පින්කමක් වන මෙම පූජාව, කන්දක් හෙවත් ගිරක් සේ විවිධ පරිෂ්කාරයන්, පූජා ද්‍රව්‍යයයන් තැන්පත් කරමින් සිදුකරන හෙයින් ‘ගිරි භණ්ඩ පූජාව‘ නමින් හැඳින්වේ. බෝධිසත්ත්ව ගුණෝපේත භාතිය මහා රජතුමාගේ මලණුවන් වූ මහා දාඨික මහා නාග රජු විසින් බුද්ධ වර්ෂ 552 දී හෙවත් ක්‍රි.ව. 9 – 21 සිදු කෙරෙනු මෙම අසදෘස මහා පින්කම පිළිබඳව මහා වංශයේ සඳහන් වේ.


පින් රැස්කිරීම මෙලොව හා පරලොව ජීවිත සැපවත් කරයි

ලංකාව පාලනය කළ මහාදාඨික මහානාග රජතුමාගේ උදාරතර සංකල්පයක් අනුව මිස්සකපව්ව, අඹතලා පව්ව, සෑගිරිය යනාදි නම් වලින් හඳුන්වන මිහින්තලය ගිරි පෙදෙස සතර දොරටු යොදවා තොරණ ධජපතාකාදීයෙන් අලංකාර කොට, මඟ දෙපස සල් පිල් යොදවා, පහන් ආලෝකයෙන් ආලෝකමත් කර පංචතූර්ය වාදනයන් පවත්වා, දන්සැල් පවත්වා දුගී මගී යාචකාදීන්ට දන් දී මහා සංඝරත්නයට සඟසතු දන් පිරිනමා දුටු දුටුවන්ගේ නෙත් පිනවන ඇසූ ඇසූවන්ගේ කන් පිනවන මේ අසදෘස මහා ගිරිභණ්ඩ පූජාව බුදුපියාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතූන් වහන්සේ නිධන්කර ඉදිකරන ලද මහා සෑයට පවත්වා ඇති බව අපේ මහාවංශයෙහි සඳහන් වේ.

එදා පැරණි රජ දවස සිදුකළ විචිත්‍රවත් අලංකාරමත් ආමිස පින්කම් අතර අරියවංශ ධර්ම දේශනා ගංගාරෝහණ පූජාව, ගිරිභණ්ඩ පූජාව ආදී විවිධ විචිත්‍ර සාරගර්භ පින්කම්ය. මේවා අපේ රටට ආවේණික වූ පින්කම්ය. මෙවැනි පින්කම් ලෝකයේ කිසිම රටක පවත්වන්නේ නැත. ඒ නිසා අපේ බෞද්ධ ජනතාවට සුවිශාල කීර්තියක්, ප්‍රශංසාවක් මුළු ලෝකයෙන් ලැබී තිබේ. අපේ බෞද්ධ ජනතාව මෙතරම් ලැදියාවක් දක්වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි පවත්නා වෙනස් නොවන අචල ශ්‍රද්ධාව පෙරදැරිකරගෙනය. දෙවි, මිනිස්, නිවන් යන ත්‍රිවර්ග සම්පත්තිය සාධනය කරගැනීමෙහිලා බෞද්ධ ජනතාව නිරන්තරව ආගමික කටයුතු කරන බව රහසක් නොවේ. මෙම ගිරිභණ්ඩ පූජාව ද එබඳු වටිනා ඓතිහාසික පින්කමකි. ලංකා රාජ්‍ය නාමාවලියේ වූ මහාදාඨික මහා නාග රජතුමා (ක්‍රි.ව. 9 – 21 ) ආරම්භ කළ මෙම මහා පින්කම එම රජතුමාගෙන් පසුව මිහින්තලා මහා සෑයට කිසිම කෙනෙක් පවත්වා නැත. එම රජ දවසින් පසුව ප්‍රථම වරට පවත්වන මෙම මහා පින්කමට සහභාගී වී සසර ගමනේ දී යහපත් ආත්මයකට අත්‍යවශ්‍ය සම්පත් සියල්ල ලබාදෙන, එමෙන්ම නිර්වාණ සම්පත් සාධනය කර ගැනීමට උපකාර වන බැවින් මේ උතුම් අවස්ථාවට සහභාගී වන ලෙස මෙත් සිතින් ඇරයුම් කරමි.

“සියලු සත්වයෝ සුවපත් වෙත්වා”

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk