UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ක්‍රියාවට නැංවිය යුතු සිතීම හා විමසීම

ක්‍රියාවට නැංවිය යුතු සිතීම හා විමසීම

විමංසක සූත්‍ර දේශනාව මූලාසනයට ගත යුතු කාලය එළඹී තිබේ. එයින් කියැවෙන්නේ විමසීම, ප්‍රශ්න කිරීම, සැකහැර දැනගැනීම යන ධර්‍මාන්විත චර්යාවට මුල්තැන දිය යුතු බව ය.

"විමසුවයි යමෙක් යා නම් නරකා දී මටසුවයි එහිම යනු වෙනතක නෑ දී
ඉවසුවයි බොරුව සග යා නම් පෑ දී සුදුසුවයි රැඳෙනු මෙහි ඔහු එහි යා දී "

ජාතියේ පිනින් උපන් මහ ඇදුරුවර මුනිදාස කුමාරතුංග සිරිමතාණන් විසින් රචනාකරන ලදුව, ලක්මිණි පහන පුවත්පතෙහි පළ කෙරුණු පැදි පෙළක එක් පැදියකි මේ.

එහි පද පිළිවෙළ මෙසේ ය. විමසුවයි යමෙක් නරකාදි යා නම්, වෙනතක නෑදි එහිම යනු මට සුවයි, බොරුව ඉවසුවයි පෑදි සග යා නම්, ඔහු එහි යා දී, (මා) මෙහි රැඳෙනු සුදුසුව යි. මෙහි අදහස මෙසේ ය. “යම් කාරණාවක් සම්බන්ධයෙන් විමසීම, ප්‍රශ්න කිරීම වරදක්නම්, ඒ වරදට දඬුවම් වශයෙන් ඒ විමසන තැනැත්තා නරකාදියේ උපත ලබනවා නම්, මම ඒ වරදම කරනු කැමැත්තෙමි. එයට දඬුවම් වශයෙන් නරකාදියේ උපතම රිසිවෙමි. එසේම බොරුව, වංචාව, සොරකම ආදී අපචාරයන් ඉවසාගෙන සිටීම හොඳ පින්කමක් නම්, ඒ පිනේ බලයෙන් යමෙක් ස්වර්‍ගයට යන්නේ නම්, ඒ තැනැත්තාට එහිම යන්නට ඉඩදී මම මෙහිම, මේ ලෝකයේ ම රැඳී සිටිනු කැමැත්තෙමි. ” බොරුව, වංචාව හෝ හොරකම රජකරන යම් සමාජයක්, සංස්ථාවක් හෝ රටක් වෙයි නම්, එහි විමසීම හෝ ප්‍රශ්න කිරීම යනු තහනම් වචනයකි. කුමක් හෙයින් ද යත්, ප්‍රශ්න ඇසීමට හෝ විමසීමට ඉඩ දුනහොත් ඒ මගින් තම තමාගේ වංචනික ක්‍රියාමාර්ග හෙළි පෙහෙළි වේ ය යනුවෙන් භාරධාරී වගකිවයුත්තන් තුළ පවත්නා බිය නිසාය.

තම තමාගේ නිරුවත ප්‍රකටවන නිසාය. එනිසා එබඳු සමාජ සංස්ථාවල ප්‍රශ්න ඇසීම හෝ විමසීම වැරැදි ක්‍රියාවක් ලෙසින් හෙළා දකිනු ලැබේ. එවැනි විමසීම් අපායගාමී පාපතර ක්‍රියා ලෙසින් ද හඳුන්වාදෙනු ලැබේ. එසේ නැතිනම්, කඩාකප්පල්කාරී, මෝඩ විප්ලවවාදී දාමරිකකම් ලෙසින් ද හඳුන්වාදෙනු ලැබේ. එවැනි සමාජයක වගකිවයුත්තන්ගෙන් සම්මාන, ප්‍රශංසා හෝ තනතුරු ලැබෙන්නේ බොරුව හා වංචාව ඉවසන අයවලුන්ට ය. එබඳු අය සත්‍යගරුක සමාජයේ නිවටයන් සේ ප්‍රතික්ෂේප වුවද, වංචාව රජයන සමාජයේ ගෞරව උපහාරයට යොමු වෙයි. එවන් අය හොඳ, හික්මුණු, ඉවසන, බුද්ධිමත්, පින්ඇති අය ලෙසින් පැසසුම් ලබන්නෝ ය. ඔවුහු ස්වර්ග පරායන මහ පින් කරන අය ලෙසින් ද බුහුමන් ලබන්නෝ ය. කුමාරතුංග මුනිදාසතුමන් දක්වා සිටින්නේ මේ විකෘති සමාජ උවදුර සම්බන්ධයෙනි. අනිත් සමාජ සංස්ථාවල මතුනොව ආගමික සංවිධාන තුළ පවා ප්‍රකට ලෙස දක්නාලැබෙන මේ දූෂිත ලක්ෂණයන් විවේචනය කරන එතුමන් දක්වා සිටින්නේ “යන අපායක යා දෙන්, මම සත්‍ය වෙනුවෙන් ම පෙනී සිටිමි.

යන දැඩි වූ ද උද්‍යෝගිමත් වූ ද මානසික ආකල්පය සහෘදයන් තුළ මැනවින් උත්පාදනය කරමිනි. හෙළයේ මහ පඬිවරයාණන් ඉදිරිපත් කරන මේ සෘජුප්‍රතිපන්න ප්‍රතිපදාව, බුදුබණ දත් අයට නම් අපූර්වවූවක් නොවේ. එයට හේතුව මෙහිලා වස්තුබීජය මජ්ක්‍ධිමනිකායේ වීමංසක සූත්‍රයේ මැනවින් දක්නට ඇති හෙයිනි. එහිදී තම ශ්‍රාවක භික්ෂුන් වහන්සේ අමතන බුදුරජාණන් වහන්සේ දන්වා සිටින්නේ සැකයට සංකාවට කිසිදු ඉඩක් නොතබන ලෙස ය. යම් අයෙකුට තථාගතයන් වහන්සේ පිළිබඳව වුවත් යම් සැකයක් සංකාවක් පහළවන්නේ නම් එය සෘජු ලෙසම විමසිය යුතු බවය. ඒ ගැන නොවළහා ප්‍රශ්න කළ යුතු බව ය. “වීමංසකේන භික්ඛවේ භික්ඛුනා පරස්ස චේතෝපරියායං අජානන්තේන ද්වීසු ධම්මේසු තථාගතෝ සමන්නේසිතබ්බෝ: චක්ඛුසොතවි ඤ්ඤය්‍යෙසු ධම්මේසු” බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතිඥාදෙනු ලබන ආකාරයේ ගුණයක්, නුවණක්, සර්‍වඥබවක්, සර්‍වනිර්දෝශි බවක්, කොටින්ම කියතොත් බුදුබවක් උන්වහන්සේ වෙත තිබේද යන්න අවංක සිතින් විමසා දැනගනිත්වා යනු එහි සරල අදහසයි. විමසන්නේ කෙසේද යත්, උන්වහන්සේගේ කායික ක්‍රියා, කායික සමාචාර, (චක්ෂුර්විඥෙය්‍ය) ගැන සොයා බැලීමෙන් හා ප්‍රශ්න කිරීමෙන් ය.

උන්වහන්සේගේ වාචසික ක්‍රියා හා වාචසික සමාචාර (ශ්‍රෝතවිඥෙය්‍ය) ගැන සොයා බැලීමෙන් හා ප්‍රශ්න කිරීමෙන් ය. උන්වහන්සේ එවන් අවසරයක් විවෘත ලෙස දෙන්නේ තමන් වහන්සේ පිළිබඳව පවත්නා නිර්භීත භාවය හෙවත් වෛසාරද්‍ය භාවය නිසාය. තමන් වහන්සේ පිළිබඳ දූෂමාන ආරංචි කට කථා හා නිර්මාලාප සමාජයේ පැතිරයාම වැළැක්වීම සඳහා ය. එසේම සමස්ත සම්මාසම්බුද්ධ සාසනයම රඳා පවත්නේ ස්වකීය පෞරුෂය නිරවද්‍යභාවය හා සර්‍වතෝභද්‍ර භාවය මතම වන බැවින් එහිලා තම පාරිශූද්ධිය හා යෝග්‍යතාව ස්ථාවර ලෙස පවත්වා ගැනීම සඳහා ය. ඒ මතම යැපෙන ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසේ අනාගත ආත්ම ගෞරවය හා යහපැවැත්ම සඳහා ය. එනිසා, බොහෝ දෙනා විසින් හිතා මතාම නොසළකා හැර අහුමුල්ලට විසිකර තිබෙන හෝ සඟවා තබා තිබෙන විමංසක සූත්‍ර දේශනාව මූලාසනයට ගත යුතු කාලය එළඹී තිබේ. එයින් කියැවෙන්නේ විමසීම, ප්‍රශ්න කිරීම, සැකහැර දැනගැනීම යන ධර්‍මාන්විත චර්යාවට මුල්තැන දිය යුතු බව ය. අවාසනාව නම්, බොරුව හා වංචාව රජයන බොහෝ ආයතනවල ප්‍රධානීන් ඒ සඳහා තමන්ට අවනත සුවච කීකරු ගැත්තන් පිරිසක් නිර්මාණය කොටගෙන ඔවුන්ගේ කෑ කෝ ගැසීම, ඔවුන්ගේ වන්දිබට්ට නිර්‍මාලාප පොදු මහජන මතය බවට හුවා දක්වමින් තම තමාගේ ආරක්ෂාව සලසා ගැනීමට ක්‍රියා කිරීමේ උප්පරවැට්ටියට මධ්‍යස්ථ මතධාරි උගත් නැණවත් පිරිස ද රැවටී සිටීම යි. තවත් සමහරෙක්, ‘ඕවට ගිහින් ප්‍රශ්න ඇතිකරගන්න ඕන නැහැ’ යනුවෙන් හෝ ‘ඕව අදින්න ගියොත් අහවල් බලවතා තරහ වෙයි.’ යනුවෙන් හෝ ‘ඔව්ව ඔහොම ගියාවෙ. මටත් ලැබෙන දෙයක් ගන්නවා’ යනුවෙන් හෝ සිතමින් කරබාගෙන සිටිති. තවත් සමහරෙක්, බලතල නිලතල ආදියේ ඉහළට යාමේ අපේක්ෂාවෙන් වගකිව යුත්තන් සතුටුකරලීමේ කපටි අදහසින් තුෂ්නීම්භූතභාවය අනුගමනය කරති. මෙබඳු තත්වයක් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ජනතාවට ලබාදෙමින් හොරකමට, බොරුවට, වංචාවට හා අසාධාරණයට අහිංසාපූර්වකව සටනක් ගෙන ගිය මහත්මාගාන්ධිතුමා වරෙක මෙසේ පැවසී ය.

“හොරුන්ගේ සිරිත හොරකම් කිරීමයි. එසේම වංචනිකයෝ ද දාමරිකයෝ ද සිල්වතුන් ගුණවතුන් සේ පෙනී සිටිමින් මහජනයා මුලාකරන විවිධාකාර පවිටු බලලෝභීහුද, විවිධ අපචාර කරමින් සමාජය දූෂණය කරති. ආයතන, සංස්ථා විනාශ කරති. රටම පරිහානියට පත්කරති. මාගේ අමනාපය යොමුවන්නේ ඒ දූෂිත පාපකාරීන් වෙත නොවේ. මාගේ අමනාපය යොමුවන්නේ ඒ දූෂිත පාපකාරී මිනිස් ප්‍රතිරූපකයන්ගේ ඒ අඳබාල අධාර්මික ක්‍රියා නොඇසු කන්ව ලා ඉවසා සිටින බුද්ධිමතුන් යැයි සම්මත මිනිසුන් වෙත ය. ” සත්‍ය වශයෙන් ම මහත්මාගාන්ධිතුමා මේ කතා කරන්නේ අප අප ගැනම නොවේ ද? කුමාරතුංග මුනිදාස තුමා කතා කරන්නේ ද අපි අප ගැනම නොවේ ද? දූෂිතයන් විසින් බලය අල්ලාගෙන සිටින සමිති, සංවිධාන, සංස්ථා, දෙපාර්තමේන්තු, ආයතන ආදී මෙකී නොකී තැන්වල සිදුවන දූෂණක්‍රියා දැන දැනත්, දැක දැකත්, නොසළකාහැර ඒවාට ඉඩදී කරබාගෙන සිටීම කෙතරම් දරුණු අපරාධයක් ද? එහෙයින්ම “අන්ධකාරේ තේල පජ්ජෝතං ධාරෙය්‍ය, චක්ඛුමන්තා රූපානි දක්ඛින්ති” යනුවෙන් වදාළ පරිදි දූෂණයේ හා වංචාවේ අන්ධකාරය පහව යන පරිදි ඇස් ඇති අවංක මිනිසුන් සත්‍ය තත්වය දකිත්වා යන හැඟුමෙන් යුතුව ධර්‍මයේ පහන් දල්වනු මැනවි. දේශපාලනමය, සමාජමය මතුනොව ආගමික ක්ෂේත්‍රයේද සිදුවන සිදුවීම් දක්නා කල්හි එවන් ආයාචනයක කාලීන සත්තාව මතුකර පෙන්වන්නේ “ඉමස්සකායස්ස ඨිතියා” හෝ ”ඉමස්ස පංචක්ඛන්ධස්ස ඨිතියා” යන ආත්මාර්ථකාමී හැඟීමෙන් නොව “සම්මාසම්බුද්ධ සාසනස්ස ඨිතියා” යන සත්භාවී මනෝප්‍රණිධානයෙන් යුතුවම බව කරුණාවෙන් පළකර සිටිමු.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk