UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 48: දක්ෂිණ භාරතයේ අමරාවතී පුදබිම ආශි‍්‍රත බුද්ධ ප්‍රතිමා

බුදුපිළිමයේ උපත - 49:

දක්ෂිණ භාරතයේ අමරාවතී පුදබිම ආශි‍්‍රත බුද්ධ ප්‍රතිමා

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට පුරාණ ජම්බුද්වීපයේ මගධ දේශයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති සබඳතා ගැන ඉතා ප්‍රකටය. අපේ පුරාණ වංසකතාවල මේ පිළිබඳ විස්තර සඳහන් වේ. ඊට අමතරව පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින්ද එය තහවුරු වී ඇත. එහෙත් දක්ෂිණ භාරතයේ පිහිටි ආන්ද්‍ර දේශයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති පුරාණ ඓතිහාසික ආගමික සබඳතා පිළිබඳ විටින් විට වංසකතාවල සඳහන් වී ඇති අතර ඒ පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි ද සොයා ගත හැකිව ඇත.

මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ අමරාවතී බුදු පිළිම සම්ප්‍රදායට අයත් වේ. එය පිහිටියේ නාගර්ජුන කොණ්ඩ පුද බිමෙහිය.
 

දකුණු ඉන්දියාවේ ඉතා ප්‍රකට ක්‍රිෂ්ණ සහ ගෝධාවරී යන ගංගා දෙකෙන් භූගෝලීය ලෙසින් සීමා වී ඇති ප්‍රදේශය ආන්ද්‍ර දේශය බව ඉතා ප්‍රකටය. ගංගා නම් ගං නිම්නය ආශි‍්‍රතව ඇති වූ අසෝක රාජ යුගයේ සිට ශ්‍රී ලංකාව සමඟ පැවැති සම්බන්ධතා මෙන්ම ආන්ද්‍ර ප්‍රදේශ් සමග පැවැති පුරාණ සබඳතා ද ආගමික වශයෙන් ඉතා වැදගත් ය. අප රටේ බුදුපිළිම කලාව කෙරෙහි මෙම බලපෑම ඉතා තියුණු ලෙසින් තිබුණු බව පුරාවිද්‍යාඥයින්, ඉතිහාසඥයින් හා කලා විචාරකයින් විසින් පැහැදිලි කර ඇති කරුණකි.

ආන්ද්‍ර දේශයට මෙම ලේඛකයා 1997 වර්ෂය තුළ දෙවතාවක්ම අධ්‍යයන සංචාරයක යෙදී ඇත. එහිදී ආන්ද්‍ර දේශයේ ඇති බෞද්ධ පුදබිම් රැසක පුරාවිද්‍යාත්මක බොහෝ කරුණු හැදෑරීමට අවස්ථාව ලබා ගත්තේ ය. ආන්ද්‍ර ප්‍රදේශ් නමින් ප්‍රකට වූ මෙම ප්‍රදේශය තුළ පුරාණ බෞද්ධ පුදබිම් එකසිය පණහක් පමණ තිබේ. ඒ අතරේ භවිකොණ්ඩ, සලිගන්ඩම් රාමතීර්තම්, සංකරාම්, ගෝලි, ගන්ඨසාලා, ඩුලිකට්ට ආදිය වේ. මේ අතරේ අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ යන බෞද්ධ පුදබිම් සෘජුවම අප රටේ බුදුපිළිම නිර්මාණ කෙරෙහි බලපා ඇත. අප ඊට පෙර මෙම ආන්ද්‍ර ප්‍රදේශ්හි බුදුපිළිම හා මූර්ති නිර්මාණ ගැන විමසා බලමු.

ක්‍රිෂ්ණ ගඟබඩ පිහිටි අමරාවතී පුදබිම ගුන්තූර්හි සිට කිලෝමීටර් 32 දුරින් පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී අසෝක රාජ යුගයේ ක්‍රි.පූ. 273 – 232 ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස වැඩම කළාක් මෙන්ම ආන්ද්‍ර දේශයටද මහාදේව නමැති භික්ෂූන් වහන්සේ වැඩම කර බුදුසමය එහි වර්ධනය කිරීමේ යෙදී ඇත. ආන්ද්‍ර ප්‍රදේශ්හි ඇති ඉතා ප්‍රමුඛ අමරාවති දාගැබ ඒ හිමියන්ගේ අනුග්‍රහයෙන් සාදවන ලදී. එම ස්තූපය අමරාවතී නමින් ප්‍රකටය. සමස්තයක් ලෙසින් සඳහන් කරන විට පුරාණ භාරතයේ ඉතා ප්‍රකට ස්තූප තුනකි. 1. සාංචි ස්තූපය, (ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ්හි පිහිටි) 2. අමරාවතී ස්තූපය දක්ෂිණ භාරතය, 3. නාගර්ජුන කොණ්ඩ ස්තූපයයි. මෙයින් ස්තූප දෙකක්ම පිහිටා ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශ්හිය. අමරාවති ස්තූපයේ අද දක්නට ලැබෙන්නේ පාදම පමණි. අසෝක රාජ යුගයේ දී ඉදි කරන ලද එම ස්තූපය ආන්ද්‍ර ප්‍රදේශ්හි අගනුවර ලෙසින් පැවති ධාන්‍යකටකයෙහි රජ වූ පසුකාලීන සාතවාහන රාජ පරම්පරාවේ රජවරුන් විසින් (ක්‍රි.ව. 2 වන සියවස) විශාල කරවන ලද බැව් සඳහන් වේ. මේ කාලයේ දී අමරාවතී ස්තූපය වටා අල්ප උන්නත මූර්ති ඵලක නිර්මාණය කර ඒවා සවිකර තිබේ. එකල පැරණි ස්තූපයේ ස්වරූපය අපට දැනගත හැක්කේ එවැනි මූර්ති ඵලකයක මූර්තිමත් කර ඇති (අල්ප උන්න්නත) මූර්තියකිනි. අමරාවති පුදබිමෙහි අමරාවති කෞතුකාගාරය සාදා ඇත. එම අමරාවති කෞතුකාගාරය අසල පසු කාලීනව නිර්මාණය කරන ලද එම අනුරුව ඒ අමරාවති දාගැබේ ආකාරයටම සාදා තිබෙනු දැකිය හැකිය.

අමරාවති බුදුපිළිම සම්ප්‍රදාය

අමරාවතී ස්තූපය ආශි‍්‍රත වූ මෙම ප්‍රදේශයේ කලාකරුවා විසින් නිර්මාණය කරන ලද බුදුපිළිම සම්ප්‍රදාය (බුදුපිළිම කලාව) අමරාවතී බුදුපිළිම කලාව ලෙසින් ලොව ප්‍රකට වී ඇත. අපි මීළඟට අමරාවතී බුදුපිළිම කලාවට අයත් වන එම පිළිමවල අංගයන් ගැන විමසා බලමු.

දක්ෂිණ භාරතයේ ආන්ද්‍ර රාජ්‍යයට අයත්වන බුදුපිළිමවල ස්වරූපය ලංකාවේ බුදුපිළිමවලට සමානය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මේ පිළිබඳ විශේෂිත අධ්‍යයනයක් සිදුකර ඇත.

ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවතී ස්තූපය ආශි‍්‍රත බෞද්ධ මූර්ති සහ කැටයම් නිර්මාණ යුග දෙකකට අයත් වන්නේ ය. එනම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ක්‍රි.ව. පළමුවන සියවස තෙක් බුදුරජාණන් වහන්සේ මානවරූපීව නිර්ණය නොවූ යුගය සහ ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ තුන්වන සියවස තෙක් කාලය තුළ බුදුරජාණන් වහන්සේ මානව රූපීව නිර්මාණය කළ යුගය වශයෙනි. (ශ්‍රී ලංකාවේ බුද්ධ ප්‍රතිමා සහ රූකම්, මහාචාර්ය යමුනා හේරත්, පි. 21 – 22) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය – 2003 )

ගන්ධාර සහ මථුරා බුදුපිළිමවල සිවුර නිර්මාණය කර තිබෙන්නේ දෙඋරම වසා සිටින අන්දමටය. එහෙත් අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ මෙන්ම ආන්ද්‍ර ප්‍රදේශ් හි අනෙකුත් බුදුපිළිම වල ඒකාංශ හෙවත් එක උරයක් විවෘතව තිබෙන අන්දමින් (වම් උරහිස) සිවුර නිර්මාණය කර තිබෙන අන්දම දැකිය හැකිය. බොහෝ විට ඒ සිවුරේ රැළි ද ඉතා සියුම් ලෙසින් නිර්මාණය කර ඇති අන්දම දැකිය හැකිය.

දක්ෂිණ භාරතීය සම්ප්‍රදායක් ලෙසින් මෙම බුදුපිළිම කලාව තුළ එය දැකිය හැකිය. අමරාවතී පුදබිමෙන් සොයාගන්නා ලද බුදුපිළිම මූර්ති කැටයම් ඵලක සහ ඊට අදාළ වන මූර්ති නිර්මාණ අමරාවතී පුදබිමෙහි ඇති අමරාවතී කෞතුකාගාරයේ ඇති අන්දම අපි දුටුවෙමු. ඊට අමතරව මෙම මූර්ති කැටයම් හා බුදුපිළිම තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරාසි කෞතුකාගාරයෙහි ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහිද ඉන්දියාවේ කල්කටා කෞතුකාගාරයෙහිද තැන්පත් කර ඇත.

මෙම අමරාවති සම්ප්‍රදායේ මූර්ති ලංකාවේ හමු වී ඇත. එමෙන්ම බුදුපිළිම කලාව කෙරෙහි ගන්ධාර බුදුපිළිම කලාව අප රටේ බුදුපිළිම නිර්මාණය කළ කලාකරුවාට බලපා නැති බවද සඳහන් කළ යුතු ය. එවැනි බලපෑම් සහිත නිදසුනක් තවම ලංකාවෙන් හමුවී නැත.


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 48:   ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිරූපිත සාරානාත්හි හිඳි බුදු පිළිමය

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk