UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය

දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය

ආදි භාරතීය වැසියෝ මෙන්ම ප්‍රාග් බෞද්ධ ශ්‍රී ලාංකික වැසියෝ ද සොබා දහම දේවත්වයෙහි ලා සලකමින් පුද සත්කාර කළහ. තම දෛනික ජීවිතයේ කටයුතු සඳහා නිසි කලට වැසි ඵල ලබා ගැනීම, ස්වභාවික උපද්‍රව දුරුකර ගැනීම, තම ආරක්ෂාව, රැකවරණය සලසා ගැනීම ආදී බොහෝ දේ මෙසේ ස්වභාවික වස්තූන් පිදීමෙන් ඉටුකරගත හැකි බව ඔවුහු තදින් විශ්වාස කළහ. මේ නිසා වාර්ෂිකව හෝ වසරේ දෙතුන් වතාවක් දෙවියන් පිදීමේ විවිධ පූජාක්‍රම අනුගමනය කළහ. නිසි කලට වැසිඵල ලැබී සිය කෘෂිකාර්මික කටයුතු සරුසාර කරගත් ඔවුහු ඉන් ලද අගසස් දෙවියන් උදෙසා පිදීමේ චාරිත්‍රයක් අනුගමනය කළහ.

මහින්දාගමනයෙන් පසු මෙරටට බුද්ධාගම හඳුන්වාදීමත් සමඟ ප්‍රාථමික ජන විශ්වාසයන් බුදු දහමේ උසස් හර පද්ධතීන් සමඟ විකාශනය වී ගිය අයුරු දක්නට ලැබේ. මිහිඳු මාහිමියන් වහන්සේ මෙරටට වැඩමවා බුද්ධාගම හඳුන්වා දුන්නා පමණක් නොව ඒ හා සබැඳි සංස්කෘතියක් ද මේ රටෙහි නිර්මාණය කළහ. ප්‍රාථමික ඇදහිලි හා විශ්වාසවලට හුරු පුරුදු වී සිටි ලක් වැසියන් ඉන් මුදවාගෙන වීතරාගී බුදු පියාණන් වහන්සේගේ අසීමිත බුදු ගුණයන් අනුස්මරණය කරමින් වන්දනාමාන කිරීම, සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට හුරු පුරුදු කිරීම පමණක් නොව ශාරීරික, පාරිභෝගික පූජ්‍ය වස්තු රැසක් මෙනිසා පසුකාලය වන විට මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවා ගැනීමට හැකි විය.

අතීතයේ ස්වභාවික වස්තූන් දේවත්වයෙන් පුදා ශ්‍රී ලාංකිකයෝ මෙම නව ප්‍රවණතාවත් සමඟ බෞද්ධ පූජ්‍ය වස්තු වන්දනාමාන කිරීමටත්, ඒ විෂයෙහි විවිධ පුද පූජා පැවැත්වීමටත් පටන් ගත්හ. මේ නිසාම තම දෛනික ජීවිතයේ සෑම දෙයක්ම තෙරුවන් සරණ ලැබ ආරම්භ කළ ලක්වැසියෝ දළදා වහන්සේ, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැනි අතිශය පූජනීය වස්තු තම ජීවිතයට මහත් පිළිසරණක් සේ සිතූහ. ගොවිතැන් බත් කළ වැසියෝ නිසි කල වැසි ඵල ලබන්නට, මැසි මදුරු උවදුරු දුරුකර ගැනීමට මෙම පූජා වස්තූන්වල පිහිට පැතූහ. මේ නිසාම තම ගොවිතැන් වලින් ලද අගසස් තුනුරුවන් විෂයෙහි පිදීමට මොවුහු අමතක නොකළහ.

මේ නිසා අගසස් පූජාව හෙවත් අලුත් සහල් මංගල්‍ය ලක්දිව ඉපැරැණි වෙහෙර විහාරවල අද දක්වා සිදු කෙරේ. ශ්‍රී දළදා මාළිගාවේ සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍ය මේ අතර සුවිශේෂී තැනක් ගනී. ආරම්භයේ සිටම දළදා වහන්සේ මේ රටේ ජන ජීවිතයේ ප්‍රබල සාධනීය පූජ්‍ය වස්තුව බවට පත්විය. මේ නිසාම අනුරාධපුරයේ සිටම මෙවන් පූජාවන් එදා රාජ රාජ මහාමාත්‍යාදීන් විසින් සිදු කළ අයුරු දක්නට ලැබේ. මහනුවර රාජ සමය වනවිට දළදා වහන්සේ විෂයෙහි කෙරෙන මෙම පූජාවන් වඩාත් විසිතුරු ලෙස විකාශනය වී ගිය බව පෙනී යයි. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් දවස ඇරැඹි මෙම පූජා චාරිත්‍ර වර්තමාන දළදා මාළිගාවේ කෙරෙන පූජා විධීන්හි සම්භවයක් විය. ඒ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දවස උභය මහා විහාරීය මහා සංඝයාගේ මැදිහත් වීම මත මෙම පූජා චාරිත්‍ර ක්‍රමවත් වූ බව පෙනේ. මේ නිසා දළදා වහන්සේට දෛනික පූජා චාරිත්‍ර , සතිපතා කෙරෙන පූජා චාරිත්‍ර, වාර්ෂික පූජා චාරිත්‍ර ලෙස මේවා පෙළ ගැස්විය හැකිය. ඉන් වාර්ෂික පූජා චාරිත්‍ර

1. ඇසළ මංගල්‍ය හෙවත් දළදා පෙරහර

2. කාර්තික මංගල්‍ය

3. අලුත් සහල් මංගල්‍ය

4. අලුත් අවුරුදු මංගල්‍ය යන සිව් වැදෑරුම් පූජා විධීන්ය.

අලුත් සහල් මංගල්‍ය

ඉපැරැණි රජ දරුවන් අනුගමනය කරමින් කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජ තුමා ද දළදා වහන්සේ විෂයෙහි රජතුමාගේ ගුරුදෙණිය කෙතෙන් ලද අගසස් දළදා වහන්සේ විෂයෙහි පිදීම සිදු කළේය. මෙය පසු කලෙක සතර මංගල්‍ය අතුරින් එක් මංගල්‍යයක් බවට පත්විය. රජුගේ ගුරුදෙණියේ කෙතේ අස්වනු ගුරුදෙණියේ පිහිටි රජුගේ මහ අටුවට එක් රැස් කර දළදා මාළිගාව, සතර දේවාල, උභය මහා විහාර ඇතුළු උඩරට පිහිටි රාජකීය විහාර අසූ දෙකකට එයින් අග්‍ර සස්‍ය බෙදා දී එක්විට බුද්ධ පූජාව හා දේවාලවල අඩුක්කු පිදීම මෙතුමා විසින් සිදුකර ඇත.

රජ දවස ගුරුදෙණිය අටුවේදී මෙසේ සහල් බෙදා දීම රජතුමා විසින්ම සිදුකර ඇති අතර දැනට වික්ටෝරියා ව්‍යාපෘතිය නිසා ගුරුදෙණිය අටුව පල්ලේ කැලේ වෙත රැගෙන ගොස් ඇත. වර්තමානය වන විට දුරුතු පෝයට සතියකට පෙර දළදා මාළිගාවේ දිය වඩන නිලමේ තුමාගේ නියමය පරිදි කාරිය කරවන රාළ විසින් අදාළ සිද්ධස්ථාන වෙත පණිවුඩ යවනු ලැබේ. ඒ අනුව බෙදා දෙනු ලබන සහල් අලි ඇතුන් සහිත පෙරහරකින් ලේවැල්ල ගංගාරාමය වෙත රැගෙන එන අතර, එතැන් සිට දළදා මාළිගාව ඇතුළු සිද්ධස්ථාන අසූ දෙකටම හේම කද මගින් මෙම අලුත් සහල් තොග ගෞරවාන්විත පෙරහරකින් රැගෙන යයි.

නියමිත දිනට දළදා මාළිගාව වෙනුවෙන් සතර පණික්වරු, උඩමාලේ රාල, පල්ලේ මාලේ රාල, දේවාලවල කපු මහත්වරු, විහාරවල රාජකාරි කරුවන් ආදී සියල්ල ගංගාරාමයේ සිට මෙම සහල් රැගෙන ඒමට පැමිණ සිටිති. ගෙනයනු ලබන සහල් වලින් දුරුතු පෝය දින කිරිබත් පිස දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සාදන ලද නැකැත් පත්‍ර අනුව දවල් බුද්ධ පූජාව පවත්වනු ලැබේ. දළදා මාලිගාවේ මෙම පූජාවට උභය මහා විහාරයේ අති පූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ දෙනම තේවා බාර නා හිමි ඇතුළු අනෙකුත් තේවාවේ නියුතු මහා සංඝයා දියවඩන නිලමේ තුමා ඇතුළු මාලිගාවේ සියලු රාජකාරීකරුවෝ සහභාගී වෙති. දළදා මාලිගාවේ පමණක් සහල් සේරු අසූ දෙකක බත් සකස් කරනු ලැබේ. එදිනට වෙනම පාත්‍රයක මේ පූජාව පවත්වන අතර එය “කිරිබඩ පාත්‍රය” කියා හඳුන්වයි. මෙය සෑම වර්ෂයකම දුරුතු පොහොය දින සිදු කෙරෙන අතර එදින සවස කාර්තික මංගල්‍යය දිනයේ මෙන් විශේෂ පෙරහරක් ද පැවැත්වේ.

බුදු සමය තුළින් ලද මෙම ශික්ෂණය නිසා අදටත් ගැමි ජනතාව තමා හදාවඩා ගත් කුඹුරක හෝ ගසක මුල් ඵලය තෙරුවන් වෙත පිදීම චාරිත්‍රයකි. තමන් ලද අස්වනු වලින් තුනුරුවන් පුදා මිස තම පරිහරණයට නොගැනීමට තරම් බෞද්ධයා භක්තිමත් වූයේ අතීත රජ දරුවන් සිදුකළ මෙම මහඟු ක්‍රියාව නිසයි. මෙය වනාහි අනාදිමත් කාලයක සිට බෞද්ධ ජන ජීවිතය හා බැඳී ඇති ඉතා විශේෂිත පූජා චාරිත්‍රයක් වන අතර ඉපැරැණි සම්ප්‍රදාය රැකගෙන මතු පරපුරට එය ආරක්ෂා කර තැබීම ගැන ලාංකීය බොදු ජනතාව කෘතවේදී විය යුතුය.

 

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 11 වනදා බදාදා අපරභාග 07.51 ට ලබයි. 12 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 12 වනදා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 19 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 12

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk