UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයනං

පූජාච පූජනීයනං

යටිරාවණ නාරද නා හිමි

රන්වැට මැද බබළන අනුරාධපුරය ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිළිබඳව කථා කරන විට බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙන නාමයකි යටිරාවණ නාරද නාහිමි නාමය. එයට හේතුව උන්වහන්සේ ජය ශ්‍රී මහ බෝ සමිඳු ආරක්‍ෂාව පිණිස ඉදිකළ ප්‍රථම රන්වැට ඉදිකරන්නට පෙරමුණ ගෙන කටයුතු කළ භික්‍ෂූන් වහන්සේ වීමයි. ශ්‍රී ලාංකික භික්‍ෂු පරපුරේ පොදු බොදු ජන හදවතට සමීප වූ නම් පෙළෙහි විශේෂ ස්ථානයක් යටිරාවණ නාරද නාහිමියන්ට හිමිවේ. ශත වර්ෂ විසිපහකට අධික ඉපැරණි ඉතිහාසය තුළ රන් අකුරින් සටහන් ව ඇති එම නාමය කිසි විට අමතක කළ නොහැකි ය.

අප මහ බෝසතාණන් වහන්සේ කෙලෙස් මරුන් සිඳ බිඳ, උතුම් සම්බුද්ධත්වයට පත් මොහොතේ සෙවණ දුන් බෝ සමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව දම්සෝ නිරිඳුගේ මෙහෙයවීමෙන් ලක් දෙරණට වැඩමවන ලදදේ බු.ව. 236 වැන්නේ ය. අනුබුදු මිහිඳු මාහිමිගේත් දෙවනපෑතිස් නිරිඳුගේත් සහායෙන් අනුරපුර මහමෙව්නාවේ රෝපිත කිරීමෙන් පසු එය සුවහසක් දෙවි මිනිසුන්ගේ ගෞරව සම්භාවනාවට පාත්‍ර විය. ඒ උතුම් මහ බෝ සමිඳුන්හට අසදෘශ පූජාවක් වූ රන්වැටකින් උපහාර කරන්නට මුල පිරුනේ 1963 ජූලි මස 23 වන දින පෙ.ව. 9.00 ට රන්වැටෙහි ඇත් පවුරට මුල්ගල තැබීමෙනි.

වසර 6ක් තිස්සේ රට පුරා විසිරී සිටින සැදැහැවත් බොදුනුවන් ඒකරාශී කොට ඔවුන්ගේත්, විදේශික දානපතියන්ගේත් නොමසුරු ආධාර උපකාර ඇතිව කලාත්මක ලෙසින් රන්වැට නිපදවන්නට අපේ නාහිමි සමත්විය. මේ සඳහා ආශිර්වාද පූර්වකව සහය දුන් අය අතර එවකට අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පූජ්‍ය උඳුරව හල්මිල්ලෑවේ සුමන රේවත නාහිමි ප්‍රමුඛ තෛ‍්‍රනිකායික මහ සඟරුවන ද රාජ රාජ මහාමාත්‍යාදීහු ද වූහ. අන්කිසිවකු විසින්වත් සිදුකෙරුමට ඉදිරිපත් නොවූ මේ උතුම් කර්තව්‍යයට සැමගේ සහය නොමදව බැති සිතින් යුතුව ලැබුණේ අපේ නාරද නාහිමියන්ගේ උදාර වූ සංකල්පනාවේ බල මහිමය නිසා ය. 1969 අගෝස්තු 11 වන දින විවෘත කරන ලද රන්වැට සඳහා රුපියල් දාහත් ලක්‍ෂයක් පමණ වැය වූ බව රන්වැට ඉතිහාසයේ සඳහන් වේ.

1916 අප්‍රේල් 15 වන දින උඩරට යටිරාවණ දී උපන් නාරද නාහිමියන්ගේ පරපුර ඓතිහාසික සම්භවයක් ඇති පරපුරක් වන බව නාරද නාහිමියන් විසින්ම ලියන ලද රන්වැට ඉතිහාසයේ මෙසේ දැක්වෙයි. “මහ බෝ රැක්මට පිටත් කර එවූ බෝධිගුප්ත චන්ද්‍රගුප්ත ශාක්‍ය රාජ කුමාර යන දෙදෙනාගෙන් කෙනෙකු වූ ශාක්‍ය වංශෝද්භූත බෝධිගුප්ත බෝධාභාර වංශික මහනුවර සිංහල රජවාසල කොඩිතුවක්කු මහලේකම කර වූ රන්කොත් දිවලදිවාකර රාජදත්තීය පරම්පරාගත යටකී බෝධාභාර වංශිකයෙකු වූ යටිරාවණ නාරද ස්ථවිර නම් වූ අප විසින්.”

රන්වැට සම්පාදක නාරද නාහිමියන්ගේම මෙම ප්‍රකාශය අනුව මහ බෝ සමිඳුන් රැක්මට පාරම්පරික උරුමයක් ඇති වග මනාව පැහැදිලි වේ. රන්වැට සම්පාදන කාර්යයේ දී දායකත්වය සැපයූ සුවහසක් ජනතාව අතර උන්වහන්සේගේ ඥාතිපරපුරෙන්ද විශාල අනුග්‍රහයක් ලබා දුන් අයුරුද සිහිපත් වේ. මීරිගම බෝතලේ සහ මාදම්පේ සේනානායකවරුන් විශේෂ අවධානයක් මෙම උතුම් පින්කම වෙනුවෙන් යොමු කළ බව රන්වැට ඉතිහාසයට අනුව පෙනේ. මාදම්පේ සේනානායක වලව්වේ ජයන්ත සේනානායක මහතා විසින් එතුමාට අයත් ඉඩමක සේනානායක විවේක සෙනසුන නම් දර්ශනීය ආරාමය කරවා නාරද නාහිමියන්ට පූජාකරනු ලැබුවේ නාරද නාහිමියන් විසින් කළ උදාර පුණ්‍ය ක්‍රියාව මහත්සේ අගය කරමිනි.

යටිරාවණ රන්කොත් දිවල දිවාකර බෝධිගුප්ත කොඩිතුවක්කු මහ උපාසකතුමා සහ යසවතී ජයකොඩි දම්පතීන්ගේ පුත්‍ර රත්නයක් ලෙසින් උපත ලබා යටිරාවණ සුදර්ශන බිම්බාරාමය ආදී විහාරස්ථාන ගණනාවකම අධිපතිත්වය දැරූ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූ අංගොඩ සෝමානන්ද නාහිමියන්ගේ ආචාර්යත්වය ඇතිව පැවිදි ජීවිතයට එළඹ, උඩරට අමරපුර නිකායේ මහ නායක පදවිය හෙබවූ රාජකීය පණ්ඩිත විදුරුපොළ පියතිස්ස මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබ, යටිරාවණ නාරද නාහිමිපාණන් වහන්සේගේ ලෝක ශාසනික සේවාවේ කේන්ද්‍රස්ථානය වූයේ මහනුවර දළදා මාලිගාව සමීපයේම පිහිටි කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරස්ථානයයි. එකල ලක් දිව විසූ සියලු ගිහි පැවිදි සම්භාවනීයඋතුමන් ඇසුරට වාසනාව ලැබුවේ මේ නාහිමිතුමන් සතුව තිබූ වාසනා ගුණයත් කාගේත් සිත් ඇඳ බැඳ ගන්නා සුළු දේශනා ශක්තියත් නිසා ය. උතුම් මහ බෝ සමිඳුන් වෙනුවෙන් කළ අසදෘශ මහා පූජාමය කර්තව්‍යයට අමතරව ලෝක ශාසන දෙකට අපිරිමිත සේවයක් සිදු කළ රන්වැට සම්පාදකයන් වහන්සේගේ සේවය මතුවටත් සිදුකරන්නට සමත්කම් ඇති ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා කීපනමක් සසුනට දායාද කොට තිබීම විශේෂයෙන් අගය කළ යුත්තකි. ඒඅතර වර්තමාන මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරාධිපති යටිනුවර සුමන නාහිමි ප්‍රමුඛ, ඇමෙරිකාව, කැනඩාව ආදී රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින යටිරාවණ ධම්මාරාම, යටිරාවණ විමල හා කුළුගම්මන ධම්මාවාස යන හිමිවරුන් මහත් ගෞරව පෙරටුව හඳුන්වා දිය හැකි ය.

දෙදහස් පන්සිය පනස් වන බුද්ධ ජයන්තිය නිමිති කරගෙන බුරුමයේ පැවති සවැනි ධර්ම සංඝායනාවට සහභාගිවීමට ද වරම් ලැබූ නාහිමියෝ බුරුම රජයෙන් “ජට්ඨ සංගීතිකාරක” යන ගෞරව නාමය ලබන්නට ද, කාම්බෝජයට වැඩම කොට එරට සංඝරාජාරාමයේ දී රජුට හා රාජදේවියට පාලි භාෂාවෙන් ධර්ම දේශනා කළ නිසා, “රාජපූජිත” තත්ත්වයට පත්වන්නට ද මහා පිනැති විය. ලෝසසුන් වැඩ වැඩූ අසහාය බුද්ධ පුත්‍රයෙකු ලෙසින් මහ මෙහෙයක් කළ මෙතුමාණන් තම උදාර දිවිමෙඟ් අටපනස් විය සපුරන මොහොතේ දැයෙන් සමුගත්තේ 1975.12.31 වනදාය. ප්‍රථම රන් වැට ඉදිකොට වසර හතළිස්තුනක සපිරෙන මොහොතේ රන්වැට සංවත්සරයත් නාරද නාහිමි අනුස්මරණයත් පිණිස, සිරි සිදුහත් භික්‍ෂු පදනමත්, සිරිමහ බෝ පදනමත් එක්ව මෙම 22 වන දින අසිරිමත් මහ බෝ වන්දනාවත්, මහ බෝ පෙරහරත් අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳු අභියස දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කොට ඇත.


හොරන්ගල්ලේ මහින්ද හිමි

තල්ගස්වල, ගෝනලගොඩ ශ්‍රී තිලකාරාමය හා පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරය යන උභය විහාරාධිපති, විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රපති හොරන්ගල්ලේ මහින්ද හාමුදුරුවන් වහන්සේ වෙත මල්වතු මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව වෙතින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ප්‍රේමරතන’ යන ගෞරව නාමය සහිත ගාලු දිස්ත්‍රික්කයේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

ඇන්.බී.ඩබ්. අගොස්තිනා උපාසිකා මාතාවගේ හා කේ.බී. මව්නිස් මහතාට දාව 1947.08.23 වෙනි දින මෙලොව එළිය දුටු උන්වහන්සේ ගා/නියාගම විජිත කනිටු විදුහලේ අධ්‍යාපනය ලැබීය. එවකට පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ගාලු දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝනායක ගෝනලගොඩ ප්‍රේමරතනාභිධාන මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස 1963 ඔක්තෝබර් මස 23 වෙනි දින උතුම් පැවිදි දිවියට එක් වූහ.

උන්වහන්සේ රෑකඩහේනේ ශාන්ති නිකේතන පිරිවෙනින් හා මීගතැන්නේ විද්‍යාරාම විද්‍යායතන පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලැබ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් 1980 වසරේ දී ශාස්ත්‍රවේදී උපාධියත් 1992 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලැබ ගැනීමට සමත් වූහ. හම්බන්තොට ගුණානන්ද පිරිවෙන හා නාකියාදෙණියේ සරණපාල පිරිවෙනේ ද ගුරුවරයෙකු ලෙස සේවය කළ උන්වහන්සේ 1984 වසරේ සිට 2003 වසර දක්වා ඉඳුරුපත්විල විද්‍යානන්ද විද්‍යායතන පිරිවෙනෙහි උප ගුරුවරයෙකු ලෙසින් හා නියෝජ්‍ය පරිවේණාධිපතිවරයා ලෙසද සේවය කරමින් ඉතා විශිෂ්ට සේවාවක් සිදු කළහ.

පොල්පැලකැටිය ශ්‍රී ප්‍රේමරතන දහම් පාසල ආරම්භ කිරීමෙන් හා පොල්පැලකැටියේ රංගන කලායතනය ආරම්භ කිරීමෙන් ආගමික හා සමාජ මෙහෙවර ආරම්භ කළ උන්වහන්සේ වසර තුනක් වත්තහේන ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරයා ලෙස අදටත් ප්‍රතිඵල ගෙන දෙන විශිෂ්ට ගනයේ සමාජ මෙහෙවරක් කළහ. එවකට ගරා වැටෙමින් තිබූ ගෝනලගොඩ ශ්‍රී තිලකාරාමය වෙත 1992 වසරේ දී වැඩම කරන උන්වහන්සේ අපවත් වී වදාළ විහාරාධිපති මාපලගම සුමනසාර ලොකුහාමුදුරුවන් වහන්සේට ඇප උපකාර කරමින් හා උවටැන් කරමින් අපවත්වන තෙක්ම ඉතා හොඳින් සංග්‍රහ කළහ.

2001 වසරේ දී පොල්පැලකැටිය ශ්‍රී දේවගිරි විහාරාධිපති මාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම නිසා එහි විහාරාධිපති පදවියද භාර ගැනීමට සිදුවූයෙන් කාර්ය බහුල ජීවිතයක් ගත කිරීමට උන්වහන්සේට සිදුවූයෙන් සේවය කිරීමට තව කාලය ඉතිරිව තිබියදී නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයෙන් විශ්‍රාම ලැබ ගත්හ. නව නායක පදවියෙන් පිදුම් ලබන ශාස්ත්‍රපති හොරන්ගල්ලේ මහින්ද මාහිමිපාණන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා. තෙරුවන් සරණයි.


බකුණාවල සරණපාල හිමි

හෙට්ටිපොල මලගනේ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති බකුණාවල සරණපාල ස්වාමිපාදයන් වහන්සේ ජන්ම ලාභයෙන් සම පනස්වියට එළඹෙන සහ පැවිදිවීමෙන් සිව්තිස්වන වසර හා උපසම්පදාවෙන් සමතිස්වන වසරද සපුරති.

මලගනේ ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ විසූ පහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය විලාකටුපොත ශ්‍රී ශීලානÁදාභිධාන හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් 1978 නොවැම්බර් මස 03 වන දින ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ. පාරිවෙණික අධ්‍යාපනය සඳහා කුලියාපිටියේ දියකලමුල්ල ශ්‍රී පති පිරිවෙනේ සහ විද්‍යා විනෝද පිරිවෙණේ අධ්‍යාපනය ලබා අධ්‍යායන පොදු සහතික පත්‍ර විභාගයෙන් සමත්ව උසස් අධ්‍යාපනය හා ප්‍රාචීන භාෂාධ්‍යායනයේ නිරත වෙමින් ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් අධ්‍යාපනය ලැබූහ.

ගුරුදේව නා හිමියන්ගේ අපවත්වීම හේතු කොට ගෙන විහාරස්ථානයේ කුදුමහත් සියලු කටයුතු වල නායකත්වය, භාරකාරත්වය භාර ගැනීමට සිදු විය. විලාකටුපොත ශ්‍රී සීලානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත්‍රි සිංහලයේම අති ගෞරවාදරයට පාත්‍ර වූ ජාතික වීරවර වාරියපොල සුමංගල අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවේ උගත් වියත් බහුශ්‍රැත සුපේශල ශික්‍ෂාකාමී යතිවරයෙක් වූහ. බකුණාවල සරණපාල හිමියන් මලගනේ ශ්‍රී බෝධිරුක්ඛාරාමයට අත්‍යවශ්‍ය නවාංග රැසක් එක් කරමින්, පැරණි බෝධීන් වහන්සේ ලා (පහක් පමණ) සඳහා විසිතුරු ලෙස භූමිය සකස් කරවා ශක්තිමත් බෝධි ප්‍රාකාරයක් ලෙස නිර්මාණය කිරීම, පුස්තකාලය සහිත නව දෙමහල් ධර්ම මන්දිරය ඉදි කිරීමට පියවර ගැනීම අටවිසි බෝධි රෝපණ සහිත බෝමළුවක් සකස් කිරීම සිය ගුරු දේවයන් වහන්සේ අනුස්මරණය කිරීම සඳහා සංඝාවාසය නව ශාලාවක් එකතු කිරීම සඳහා කටයුතු කළහ.

ඊට වැඩිහිටි මහා සංඝරත්නය අතිශයින් උපස්ථම්භක විය. රත්මුළු කන්දේ හෙණ්ඩියගල ශ්‍රී ශීලරතන සත්කෝරළ මහ දිශාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හෙට්ටිපොල ස්වර්ණගිරි විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේ ආදි මහා සංඝරත්නයෙන් ලැබුණු ගුරුපදේශ පැවිදි ජීවිතය මෙන්ම ආගමික කටයුතු සිදු කිරීමෙහිලා පන්නරයක් වූ බව උන්වහන්සේ නිහතමානීව සඳහන් කරති.

ප්‍රදේශවාසී ගිහි පැවිදි සියලු දෙනාගේත් අන්‍යාගමික බැතිමතුන්ගේත් අත්‍යන්ත ගෞරවයට පාත්‍රව වෙසෙන උන්වහන්සේ ජාතික, ආගමික, සාමාජික, කටයුතු වලදී ද පෙරමුණ ගෙන ක්‍රියා කරන අතර පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ පළමු කලාපයේ සමාජසේවා අනුමණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් ක්‍රියා කරමින් දහම් පාසල් අධ්‍යාපනය සඳහා විශාල සේවයක් සිදු කරති. 2012 දෙසැම්බර් මස 17 වන දිනට යෙදෙන උපන් දිනය සිහි කිරීම් වස් එදින සන්ධ්‍යාවේ මහා සංඝරත්නය වැඩමවා සෙත් පිරිත් සජ්ඣායනයක් ද ගිලන්පස දානයක් සඟ සතු කොට පූජා කිරීමට විධි විධාන සලසා තිබිණි.


ජුලම්පිටියේ ශ්‍රී චන්දජෝති නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහෝපාධ්‍යාය මිද්දෙනිය, මෑල්ලකැටිගොඩ ජයමහා බෝධි පුරාණ විහාරය, ආදලුගොඩ ශ්‍රී නීග්‍රෝධාරාමය යන උභය විහාරාධිපති ගිරුවාපත්තුවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශ්‍රී ධම්මදින්න ධම්මජෝති ජුලම්පිටියේ ශ්‍රී චන්දජෝති නාහිමියෝ උදාර සංඝ පීතෘවරයෙකි.

හම්බන්තොට දිසාවේ උතුරු ගිරුවාපත්තුව උඩ ජුලම්පිටියේ රටදෙනිගහහේන විසු ජාලත් පතිරණගේ දාවිත් අප්පුහාමිට දාව විජේසිංහ ආරච්චිගේ ඩිංගිහාමි මාතාවගේ කුසින් මෙලොව එළිය දුටු පින්වත් කුමරු ජාලත් පතිරණගේ ලන්දේරිස් නම් විය. මාපිය සෙනෙහස හා රැකවරණය මත වැඩෙන කුමරු තංගල්ල රාහුල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබමින් පසුවන විට මෑල්ල කැටිගොඩ පුරාණ විහාරාධිපතිව විසූ අතුබෝදේ ධම්මජෝති මාහිමියන්ගේ නෙත ගැටුණි. මාපිය අනුමැතිය තුළ කුමරු 1930 මැයි මස 09 වන දින තෙළ කී ආචාර්යත්වයෙන් ජුලම්පිටියේ චන්දජෝති නමින් සසුන් ගත විය.

දුටුවන්ගේ සිත් පැහැදවීමට සමත් ප්‍රසන්නතාවය ආදී ගුණාංගයන්ගෙන් යුක්ත චන්ද්‍රජෝති සාමණේරයන් වහන්සේ ගාල්ල කුඹල්වැල්ල ශ්‍රී‍්‍ර රේවත විද්‍යායතන පිරිවෙනින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා ගත්හ. මේ අතර උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූ හෙයින් අතුබෝඳේ ධම්මජෝති මාහිමියන්ගේ ආචර්යත්වයෙන් 1939 ජූනි මස 01 වන දින මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබූහ. තම අධ්‍යාපනික කටයුතු සිදු කරමින් ධර්ම දේශනා, පිරිත් දේශනා ආදියෙහි සහජ කුසලතා ප්‍රකට කරමින් මධුරභාණි හිමිනමක් බවට පත්ව වැඩ සිටින චන්ද්‍රජෝති හිමියන් ගිහි පැවිදි උභය පාර්ශවයේම චිත්තාරාධනය කිරීමට සමත් විය.

මේ අතර සිය ගුරුදේව අකුබොදේ ධම්මජෝති මාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ විහාරාධිපති ධූරයට පත් චන්දජෝති හිමියෝ දිවා රෑ නොබලා විහාර සංවර්ධනය පිණිස ක්‍රියා කළ අතර 1950 දී ශ්‍රී චන්දජෝති නමින් දහම් පාසලක්ද ආරම්භ කළහ. එසේම ආදලුගොඩ නම් ග්‍රාමයේ නිග්‍රෝධාරාමය නමින් විහාරස්ථානයක් ද ශ්‍රී චන්ද්‍රජෝති නමින් දහම් පාසලක් ද අරඹා දෙගම්වාසී ජනතාවගේ ජාතික ආගමික හා සමාජය මෙහෙවරට සිය දිවිය කැප කළ චන්දජෝති හිමියෝ ශ්‍රී රෝහණ පාර්ශවය වෙතින් කර්මාචාර්ය පදවියකට ද පත් කරන ලදී. පසුව ගිරුවාපත්තුවේ ප්‍රධාන සංඝනායක ධූරය සහිත උපාධ්‍යාය තනතුරකට ද පත් විය. පුරා වසර 95 ක් සම්බුද්ධ සාසනයටත්, ජාතියටත් අමිල මෙහෙවරක් ඉටු කළ ජුලම්පිටියේ ශ්‍රී චන්දජෝති ගිරුවාපත්තුවේ ප්‍රධාන සංඝනායක මාහිමියෝ 2012 අගෝස්තු මස 20 වන දින අපවත් වී වදාළහ. නාහිමි තෙමස් පූර්ණ ගුණ සමරු පින්කම මේ මස 19, 20 දෙදින තුළ විහාරාධිපති, ශාස්ත්‍රපති ආදලුගොඩ යසස්සි හිමියන් ප්‍රධාන සිසු පිරිසගේ හා දායක සභාවේ අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 19 වැනි දා බදාදා අපරභාග 10.40 ට ලබයි.
20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 20 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 27 වැනිදා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk