UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව බුදුසමය ආලෝකමත් කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

ධර්මපාලතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයනි නැගිටියව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතුමා මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කරගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී කටයුතු කළේය. මහන්තා සහ මහන්තාගේ මැර පිරිස, බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන් මෙන්ම ඇතැම් භික්‍ෂුන් ද යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා කළ සටන ගැන අපට සිතීමටවත් අපහසුය. බුදුන් වැඳීම, වතාවත් කිරීම සහ භාවනා කිරීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළේය. එතුමාගේ ධර්මදූත සේවය බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා පමණක් නොව විවිධ සමාජ සේවා වැඩ කෙරෙහිද නැඹුරුවක් දැක්වීය. ළමයින් පස් දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක් ආරම්භ කර පසුව මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු සූදානම් කළේය. එහිදී දුගී දුප්පත් දූදරුවන් හට කෙස්, නිය පිළිවෙළට කපා පිරිසුදුව සිටීම, පිරිසුදු ඇඳුම් ඇඳීම ආදිය ගැන කියාදී ඒ සඳහා ඔවුන් යොමු කිරීමද සිදු විය.

විදේශීය ආක්‍රමණිකයන්ට දඹදිව යටත් වූ අවස්ථා බොහෝය. ඒ හේතුවෙන් සමහර සංස්කෘතීන් විනාශ වූ අතර ඇතැම් සංස්කෘතීන් අලුතෙන්ම ඇති විය. මෞර්ය හා ගුප්ත කාලවල බුදුදහම භාරතීය සමාජයේ දියුණු තත්ත්වයකට පත්ව තිබිණි. විශේෂයෙන් ධර්මාශෝක මහාධිරජතුමාගේ කාලයේ සංගායනාවක් සිදුකර අසූහාරදහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් අසූහාරදහසක් වෙහෙර විහාර කරවූ අතර විවිධ රටවල ධර්මප්‍රචාරය සඳහා ධර්මදූතයන් පිටත්කර යැවීමද සිදු විය. සිංහල දීපයට බුදුදහම ලැබුනේත් ධර්මාශෝක මහරජතුමා නිසාය.

කෙසේ නමුත් මුස්ලිම් ආක්‍රමණයන්ට දඹදිව මුළුමනින්ම නතු වී ගිය සමයක සියලුම හින්දු කෝවිල් සහ බෞද්ධ වෙහෙර විහාර විනාශ කළ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි. මෙසේ ක්‍රමයෙන් වසර අටසියයක් දඹදිව බුදුදහම රැකගත හැකි කෙනෙකු නොවූ කල ලුම්බිණි, බුද්ධගයා, බරණැස ඉසිපතන සහ කුසිනාරාව ආදී සියලුම සිද්ධස්ථාන වල් බිහිවන්නට විය. සමහර බෞද්ධ සිද්ධස්ථාන හින්දු භක්තිකයන් සහ මුස්ලිම් භක්තිකයන් අතට පත් වූයේය.

බෞද්ධයකු බෞද්ධ භික්‍ෂුවක නැති තරමටම දඹදිව බුදු සසුනෙහි ආලෝකය වසා දමනු ලදුව වසර අටසියයකට පසුව 1891 දී, ලංකාවේ ධනවත් පවුලක තරුණයකු වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ දඹදිව වන්දනාව සඳහා පැමිණියේය. එඩ්වින් අර්නෝල්ඩ් ලියූ ‘ආසියාවේ ආලෝකය’ කියවා ඇමෙරිකන් ජාතික හෙන්රි ඕල්කට් මැතිතුමා දඹදිව බෞද්ධ සිද්ධස්ථාන දැක බලා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කළ දේශන අසා කම්පාවට පත්ව, මේ තරුණයා දඹදිව වන්දනාවට මුලින්ම පැමිණ ඇත්තේ බරණැස ඉසිපතන මිගදායටය. බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යනවිට ගල් කණු පිරුණු කරත්ත දහයක් බරණැස නගරය දෙසට යන ආකාරයත් හිස් කරත්ත කිහිපයක් නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් ඔහු දැක ඇත. කරත්තකරුවන්ගෙන් විමසූවිට පවසා ඇත්තේ තම තමන්ගේ නිවෙස්වල අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙනයන බවයි. කරත්තවලට සමීපව බලනවිට දකින්නට ලැබී ඇත්තේ විහාරයේ කැටයම් කණු සහ පිළිම වහන්සේගේ කඩා බිඳ දැමූ කොටස් ය.

ඉසිපතනයට ළඟාවන විට රාත්‍රිය එළැඹ තිබූ නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා එම ප්‍රථම රාත්‍රිය ගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල තිබූ නුග ගසක බෙනයකය. මහා වනාන්තරයෙන් යටව තිබූ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේ ධම්මික ස්ථූපය පමණි. ලෝකයට ධර්ම චක්‍ෂූෂය, ඤාණ චක්‍ෂූෂය, විද්‍යා චක්‍ෂූෂය පහළ වූ මහා පින්බිමේ දකින්නට ලැබුණු දුක්බර හා අනුවේදනීය වාතාවරණය දැක හෙතෙම බලවත් කම්පාවට පත්විය. ඔහු දෙවැනිවර පැමිණියේ සිදුහත් මහාබෝසතාණන් වහන්සේ සම්මාසම්බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පුණ්‍ය භූ®මියටයි. එහිද දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනා සහගත දර්ශනයකි. ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින් බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ අත්පත්කර ගනු ලැබ තිබිණි. වජ්‍රාසනය මත වැඩ සිටින පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්ටු තබා, කඩුක්කන් පළඳවා හින්දු දේවතාවකු හැටියට පුද පූජා කෙරෙමින් තිබූ අතර හිÁදු ආගමිකයන්ට හැර වෙන කිසිවකුට එහි ඇතුළු වීම පවා තදින් ම තහනම්කර තිබී ඇත. හේවාවිතාරණ තරුණයාට ඇතිවූ වේදනාව අසීමිතය.

කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අභියසට ගොස් සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කර අධිෂ්ඨාන කර ඇත්තේ, මගේ ධනය මගේ ශ්‍රමය මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බුද්ධගයාව ඇතුළු දඹදිව සියලුම සිද්ධස්ථාන මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදාගැනීමට කැප කරමි යනුවෙනි. ලෝක බෞද්ධයන්ට නිදහසේ වැඳීම පිදීම පිණිස මේ පූජනීය ස්ථාන නිදහස් කරගැනීම ඔහුගේ අභිලාෂය විය.

1891 දී, එවකට කොළඹ විද්‍යෝදය පිරිවෙණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධගයා මහාබෝධි සමාගම ආරම්භ කරන ලදී.

ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂූන් වහන්සේ කිහිප නමක් වඩමවාගෙන ගොස් බුද්ධගයාවේ නතර කරවාගෙන තම සටන ආරම්භ කළේය.

එතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයනි නැගිටියව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතැන් පටන් මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කරගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී කටයුතු කළේය.

මහන්තා සහ මහන්තාගේ මැර පිරිස, බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන් මෙන්ම ඇතැම් භික්‍ෂුන් ද යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා කළ සටන ගැන අපට සිතීමටවත් අපහසුය. බුදුන් වැඳීම, වතාවත් කිරීම සහ භාවනා කිරීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළේය. එතුමාගේ ධර්මදූත සේවය බුදුදහම ප්‍රචාරය කිරීම සඳහා පමණක් නොව විවිධ සමාජ සේවා වැඩ කෙරෙහිද නැඹුරුවක් දැක්වීය. ළමයින් පස් දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක් ආරම්භකර පසුව මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු සූදානම් කළේය. එහිදී දුගී දුප්පත් දූදරුවන් හට කෙස්, නිය පිළිවෙළට කපා පිරිසුදුව සිටීම, පිරිසුදු ඇඳුම් ඇඳීම ආදිය ගැන කියාදී ඒ සඳහා ඔවුන් යොමු කිරීමද සිදු විය. වර්තමානයේ එකී විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වී ඇති බව බරණැස ගිය පිරිස දකින්නට ඇත.

මේ අයුරින් බුද්ධගයාවේ ද පාසල් සහ පින් බෙහෙත් ශාලා ආදිය ආරම්භ කර ඇත. නන් අයුරින් ලෝකවාසී ජනතාවට සේවය කිරීම එතුමාගේ අරමුණුවලින් එකකි.

අද මුළු ලෝකයාම බුද්ධගයා මහා විහාරය වැඳ පුදා ගන්නේ ධර්මපාලතුමාට පින් සිද්ධවන්නටය. බුද්ධගයාව පමණක් නොව කුසිනාරා, ලුම්බිණී, සැවැත්නුවර, කෝසම්බි, සංකස්ස සහ සාංචි ආදී සියලුම දඹදිව සිද්ධස්ථාන අද බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්නට හැකිවී තිබෙන්නේ ධර්මපාලතුමාගේ නාමයට පින් සිද්ධ වන්නටය.

දඹදිව බෞද්ධ, හින්දු සැමදෙනාම විශ්වාස කරන්නේ අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට දඹදිව සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි වන බවයි.

1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් තැන්පත් කර ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ඉදිකරන ලද ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය බෙංගාලයේ පිහිටවූ ප්‍රථම බෞද්ධ විහාරයයි.

ඉන්දියාවේ සෑම භාෂාවකින්ම අනගාරික ධර්මපාලතුමාගේ චරිත කථාව ලියැවී ඇත.

2012 සැප්තැම්බර් 17 වැනි දා ධර්මපාලතුමාගේ 148 වැනි ජන්ම දිනය සමරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ප්‍රදානය කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිනි ප්‍රදීපා මහීෂිණී කොලොන්න මැතිනිය විසින් සැප්තැම්බර් 17 වැනි දා පෙ. ව. 10. 00 ට ශ්‍රී ධර්මරාජික චේතිය විහාරයේ තැන්පත් කිරීමට නියමිතය.

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk