UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහා සතිපට්ඨාන සූත්‍රයේ වටිනාකම

 

බුදුසමයේ පරම නිෂ්ඨාව නිර්වාණාවබෝධයයි. ඒ සඳහා දුක පිළිබඳ මනා අවබෝධයක් ලැබිය යුතු බවත් දුකට කාරණ වන තෘෂ්ණාව මූලෝත්පාටනය කළ යුතු බවත් බුදුසමය උගන්වයි. නිර්වාණ මාර්ගය කිසියම් ප්‍රතිපදාවකට අනුව සකස් වී ඇත. එහිලා භාවනාවට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි.

බෞද්ධ භාවනාව සමථ, විපස්සනා යනුවෙන් දෙවැදෑරුම් වේ. දීඝනිකායාගත මහාසතිපට්ඨාන සූත්‍රයේදී මෙකී භාවනා දෙකම උගන්වයි. අන් කිසිදු ආගමක හෝ දර්ශනයක නොඉගැන්වෙන විදර්ශනාව මෙහිලා ප්‍රමුඛ වේ. බෞද්ධ භාවනාව පිළිබඳ කතා කිරීමේදී කිසි ලෙසත් අමතක කළ නොහැකි සූත්‍රයක් ලෙස දීඝනිකායාගත මහා සතිපට්ඨාන සුත්‍රය හඳුනාගත හැකිය. කාය, වේදනා, චිත්ත සහ ධම්ම වශයෙන් පට්ඨාන සතරක් මෙහි දැක්වේ.

කායානුපස්සනාවෙන් රූපස්කන්ධ පරිග්‍රහයද වේදනානුපස්සනාවෙන් වේදනාස්කන්ධ පරිග්‍රහයද චිත්තානුපස්සනාවෙන් විඤ්ඤාණස්කන්ධ පරිග්‍රහයද දේශනා කළ බුදුරදුන් විසින් ධම්මානුපස්සනාවේදී සඤ්ඤාස්කන්ධ හා සංස්කාරස්කන්ධ පරිග්‍රහයන් දේශිත බව අටුවා විවරණයන්ට අනුව පැහැදිලි වේ.

වචනාර්ථ විග්‍රහය

’සතිපට්ඨාන’ යන වචනය ‘සති’ , ‘පට්ඨාන’ යනාකාරයටද ‘සති’ ,’උපට්ඨාන’ යනාකාරයටද වෙන්කළ හැකි බව බෞද්ධ විශ්වකෝෂය (Encyclopedia of Buddhism) පෙන්වා දෙයි. සතිපට්ඨාන යන වචනය සංස්කෘත භාෂාගත ‘ස්මෘති + උපස්ථාන = ස්මෘත්‍යුපස්ථාන’ යන්නෙන් තත්භව හෙයින් ව්‍යාකරණානුකූලව උපට්ඨාන යන්න ගැළැපෙන බව එහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත. ‘ළඟ තැබීම’ (Placing near) වැනි අරුතක් එයින් ලැබේ. එමෙන්ම විසුද්ධිමාර්ගය ඇතුළු අට්ඨකථා ගෙනහැර දක්වන ‘පට්ඨාන’ යන්න උපස්ථාන යන්නටත් වඩා වැඩි අර්ථයක් ගම්‍ය කරන බව බෞද්ධ විශ්වකෝෂය පවසයි. එයින් ‘පිහිටුවීම’ (Establishment) යන අදහස ලැබේ.

’සති’ යන්න ‘ස්මෘ’ යන සකු දයින් භින්නය. ‘සරණෙත්‍ථන සති’ යන ප්‍රකට විග්‍රහයට අනුව පැහැදිලි වන්නේ ‘සිහි තබාගැනීම’ යන අදහසින් සති යන්න ව්‍යවහාර කෙරෙන බවයි. ත්‍රිපිටක අර්ථකෝෂය සති යන්න විග්‍රහ කරන්නේ “සිත අකුසල පක්‍ෂයට බැස නානාරම්මණයන්ට විසිරී යා නොදී. කුසල භාවනාවක බැඳ තබන, භාවනාවෙන් බැහැර ගිය සිත නැවත ඒ අරමුණට පමුණුවන ස්වභාවය සතියයි” යනුවෙනි.

’පට්ඨාන’ යන්න ‘ප’ උපසර්ග පූර්ව ‘ඨා’ ධාතුවෙන් සිද්ධ වන බව පැහැදිලිය. සංස්කෘත භාෂාගත ‘ස්ථා’ ධාතුවෙන් ‘ඨා’ ධාතුව සිද්ධ බව පෙනේ. එයින් ‘පිහිටුවීම’ යන අර්ථය ලැබෙන බව පොල්වත්තේ බුද්ධත්ත නාහිමියෝ දක්වති.

Dines Andersen විසින් සම්පාදිත Pali reader and pali glossary Vol.ii නමැති කෝෂ ග්‍රන්ථය දක්වන පරිදි සති යන්නෙහි ‘අනුස්මරණය’ (Recollection) ‘කල්පනා සහිත බව’ (Thoughtfulness) ‘අවධානය’ (Attention) වැනි අදහස් අන්තර්ගත වේ. R.C.Childera සිය පාලි භාෂා ශබ්ද කෝෂයෙදි සති යන්නට පුළුල් පරාසයක් තුළ අර්ථ දක්වයි. ඒ මෙසේය. ‘අනුස්මරණය’  (Recollection) ‘සිතේ ක්‍රියාශීලි තත්ත්වය’ (Active state of mind), ‘ඕනෑම අරමුණක් පිළිබඳව සිත තිර කොට තබා ගැනීම’ (Fixing the mind strongly upon any subject) ‘අවධානය’ (Attention) ‘සැලකිලිමත්බව‘ (Attentiveness), ‘කල්පනාව‘ (Thought),, ‘කල්පනා කොට බැලීම’ (Reflection), ’සවිඥානිකබව‘ (Consciousness) යන ලෙසිනි.  T.W.Rhys Davids, සහ William Stede, සති යන්නට අර්ථ එකොළොසක් ලබාදී ඇත.

සති යන්නෙහි ‘සරති’ යන්න සමඟ සමීප සබැඳියාවක් පවතින බව බෞද්ධ විශ්වකෝෂය කියයි. සරති යන්නෙහි ‘සිහිකිරීම’ (To remember) යන අරුත ගැබ්වී ඇති බව එය වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘භාවනා’ යන්න ද සතිපට්ඨාන යන වචනය සමඟ නිරතුරුවම පාහේ බැඳී පවතී. එහෙයින් සතිපට්ඨාන යන්නට අර්ථ දැක්වීමේදසී කෝෂ ග්‍රන්ථකරුවන් භාවනාව පිළිබඳ සැලකිලිමත් වී ඇත. සතිපට්ඨානය සූත්‍ර දේශනාවක වුවත් සැබැවින්ම එය භාවනාවක් ලෙස ප්‍රගුණ කළ යුත්තකි. එහෙයින් භාවනා පිළිබඳවද මෙහිදී යමක් කිව යුතුමය. ‘භූ®’ ධාතුවෙන් නිපන් ‘භාවේති’ යන ක්‍රියා පදය මුල් කොටගෙන භාවනා යන පදය සකස්වී ඇත. නයනතිලෝක හිමියන් ‘මානසික සංවර්ධනය’ යන අදහස මෙයට ලබාදී ඇත.

“භාවේතී කුසල ධම්මේ ආසෙවති වඩ්ඪෙති ඵතායාති භාවනා “ යනුවෙන් අත්‍ථසාලිනි අටුවාවේ එන විග්‍රහයට අනුව කුසල ධර්මයන් දියුණුකිරිම , වැඩීම යන අරුතින් මෙය භාවනා නම් වන බව පැහැදිලිය.

අත්‍ථසාලිනියේම එන “භාවෙතී’ති ජනෙති උප්පාදෙති වඩ්ඪෙති අයං තාව ඉධ භාවනාය අෙත්‍ථ” යන පාඨයට අනුව පැහැදිලි වන්නේ කුසල ධර්මයන් ජනනය කරයි, උපදවයි, වඩයි යන අරුතින් එය භාවනා නම් වන බවයි. සුමංගලවිලාසිනි නම් වු දීඝ නිකායට්ඨකතාවේ ,සතිපට්ඨාන සූත්‍ර වර්ණනාවෙහි එන “ කාය වේදනා චිත්ත ධම්මේසු කඤ්චි ධම්මං අනාමයිත්වා භාවනා නාම නÀථි “ යන පාඨයට අනුව පැහැදිලි වන්නේ සතර සතිපට්ඨානයට අයත් නොවන බෞද්ධ භාවනාවක් නොමැති බවයි.

සූත්‍ර දේශනාව

වර්ග තුනක ඇතුළත් කරන ලද සූත්‍ර තිස් හතරකින් යුත් දීඝ නිකාය වනාහී සූත්‍රපිටකාගත ප්‍රථම පුස්තකයයි. එම වර්ග තුනෙන් තෙවැන්න වන මහා වග්ගයේ එන නවවැනි සූත්‍රය වන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයයි. මෙය බෞද්ධ භාවනාව නිරවුල්ව මෙන්ම ක්‍රමානුකූ®ලව උගන්වන සූත්‍රයක් වන හෙයින් දේශීය බෞද්ධයන්ගේ මතු නොව විදේශීය බෞද්ධයන්ගේද අවධානයට ලක්ව ඇත. සතිපට්ඨාන භාවනාව යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි සැබැවින්ම දැකගත හැක්කේ එම මහා සතිපට්ඨාන සූත්‍රය වෙත ඉතා සමීප දෘෂ්ටියක් එල්ල කිරීමෙන් පමණකි. එසේ බලන විට පෙනෙන්නේ මෙය මුළු බුදුදහමෙහිම සාරය එකම සූත්‍රයක් තුළට කැටි කොට දැක්වීමක් බඳු බවය.

කුරු රට කම්මාස්සදම්ම නම්වූ නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ විසින් මෙම සූත්‍රය දේශනා කරන ලදී. මහා සුතසෝම හා ජයද්දිස ජාතකයෙහි සඳහන් වන ආකාරයට පාදයෙහි කබර සහිත වණ කැළැලක් තිබූ හෙයින් පෝරිසාදයාට ‘කම්මාස’ යන්න අන්වර්ථ විය. කම්මාස නම් වූ පෝරිසාදයා දමනය කළ ස්ථානය සහිත ප්‍රදේශයද කම්මාස්සදම්ම නියම් ගම යැයි ප්‍රකට විය.

පුරුෂයෙකු යම් සේ රන් කරඬුවක් ලැබ එහි නොයෙක් මල් බහා තබන්නාක් මෙන්, රන් පෙට්ටියක් ලැබ සත්රුවන් බහා තබන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේද කුරු රටවාසී පිරිස ලැබ ගම්භීරාර්ථ සහිත දහම් දෙසුම් පැවැත්වූහ. කුරු රටදී දේශනා කළ මහානිදාන, සාරෝපම, රුක්ඛූපම, රට්ඨපාල ,මාගන්ධිය ආනෙඤ්ජ සප්පාය වැනි සූත්‍ර එයට දෙස් දෙයි. මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමට පෙර සිටම කුරු රට වැසියන් සතිපට්ඨාන භාවනාව වැඩීමට හුරුවී සිටි බව සුමංගලවිලාසිනියෙන් පැහැදිලි වේ. “දෙසනාපරියොසානෙ පන තිංසභික්ඛූ සහස්සානි අරහන්තෙ පතිට්ඨහිංසු ‘ති” යන අටුවා පාඨයට අනුව පැහැදිලි වන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවසානයේදී තිස් දහසක් භික්‍ෂූන් රහත් වූ බවයි. නමුත් එවන් සඳහනක් සූත්‍රයේ කිසි තැනක විද්‍යමාන නොවේ.

සර්වාස්තිවාදීන්ගේ ස්මෘතිත්‍යුපස්ථාන, මහායානිකයන්ගේ ප්‍රඥාපාරමිතා, මහාසාංඝිකයන්ගේ ඒකායන යන සූත්‍ර ධර්මවල අන්තර්ගතය හා මහා සතිපට්ඨාන සූත්‍රය අතර සමානකම් රැසක් විද්‍යමාන වේ. එමෙන්ම ථෙරවාදී ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේදීද සංයුක්ත නිකායේදීද සතිපට්ඨාන සූත්‍ර අපට හමුවේ. එමතුද නොව අංගුත්තර නිකායේදී සතිපට්ඨාන වග්ගයක්ද අභිධර්මපිටකාගත විභංගප්පකරණයේ දහඅට වැදෑරුම් විභංග අතර සතිපට්ඨාන විභංගයක්ද විද්‍යමාන වේ. මහා සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් ස්ථාන කිහිපයකදීම දේශනා කරන ලද හෙයින් මෙලෙස ත්‍රිපිටකයේ විවිධ ස්ථානවලට එකතු වී ඇතැයි සිතීමට වඩා යෝග්‍යතර වන්නේ එක් එක් භාණකාචාර්යවරුන් සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති වටිනාකම සලකා වැඩි අඩු වශයෙන් එය සකස් කොට තම තමන්ගේ භාණක පරම්පරාවලට එකතු කර ගත් බවයි.

මහා සතිපට්ඨාන සූත්‍රාගත
“කථඤ්ච භික්ඛවෙ භික්‍ඛු “
“පුනචපරං භික්ඛවෙ භික්‍ඛු “
“කතමොච භික්ඛවෙ...”
“සෝක ධම්මානං භික්‍ඛවෙ“
“එවම්පි ඛෝ භික්‍ඛවෙ භික්‍ඛු ....”

වැනි සඳහන් දෙස බැලූ කල මෙම සූත්‍රය භික්‍ෂූන් සඳහා පමණක් අදාළ බව ඇතමෙකුට සිතිය හැකිය. නමුත් “භගවතො අනුසාසනියං සංපටිච්ඡන්තෙසු භික්‍ඛු සෙට්ඨා සබ්බප්පකාරාය අනුසාසනියා භාජන භාවතො. තස්මා සෙට්ඨත්තා භික්‍ඛුති ආහ. තස්මිං ගහිතෙ පන සෙසා ගහිතාව හොන්ති, රාජගමනාදිසු රාජග්ගහනෙන සෙස පරිසා විය .” යන සුමංගලවිලාසනියේ එන සතිපට්ඨාන සූත්‍ර වර්ණනා පාඨයට අනුව පැහැදිලි වන්නේ රජුගේ ගමන්වලදී රජු ගැනීමෙන් සෙසු පිරිසද ගැනෙන්නාක් මෙන් ‘භික්‍ඛු’ යැයි කී කල්හි සෙසු පිරිසද අයිති වන බවයි. එමෙන්ම භාවනාවට පැමිණි කල්හි දෙවියකු හෝ මනුෂ්‍යයකු හෝ වේවා භික්‍ඛු ගණයෙහි ලා ගිණිය හැකි බව පහත අටුවා පාඨයෙන් පැහැදිලි වේ. ”පටිපන්නකොහි දෙවො වා හොතු මනුස්සො වා භික්‍ඛුති සංඛං ගච්ඡතියෙව “ එමෙන්ම දීඝනිකායේ පාටිකවග්ගාගත සම්පසාදනීය සූත්‍රය ”චතුසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා ....” යනාදි වශයෙන් දක්වන පරිදි සතර සතිපට්ඨානයන්හි හොඳින් පිහිටුවන ලද සිත් ඇතිව සම්මා සම්බෝධිඥානය ලැබිය යුතු බව පැහැදිලි වේ.

අභිධර්ම පිටකාගත කථාවත්‍ථුපකරණයේදී “සබ්බේ ධම්මා සතිපට්ඨානා ති” (සෑම ධර්මයක්හුම සතිපට්ඨාන වෙත්ද? ) යන පැනයට “ආමන්තා” (එසේය) යනුවෙන් පිළිතුරු ලබා දී ඇත. එහි නැවත නැවත නඟන අතුරු ප්‍රශ්නද ඇත. එහිදී “සබ්බං ධම්මං ආරබ්භ සති පත්තිට්ඨතී’ ති සබ්බේ ධම්මා සතිපට්ඨානන්ති?” (හැම දහම් අරභයා සිහි එළඹ සිටුනේ යැයි ප්‍රමාණ කොට ගෙන හැම දහම්හු සතිපට්ඨාන වෙත් ද) යන පැනයටද “ආමන්තා” යනුවෙන් පිළිතුරු ලබාදී ඇත.

මහා සතිපට්ඨාන සූත්‍රය ‘උද්දේස ‘,’නිද්දේස’ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. උද්දේස යන්නෙහි ‘කෙටි විස්තරය’ යන අදහස ගැබ්වී ඇත. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන උද්දේසයද එම සූත්‍රයේ සාරය කෙටි විස්තරයකින් දක්වයි. එහිදී සූත්‍ර නිදානය හා සතිපට්ඨානිසංස ගෙනහැර දක්වන අතර සතර සතිපට්ඨානයද කෙටියෙන් හඳුන්වා දෙයි. උද්දේසවාරයේදි සතිපට්ඨානිසංස පහක් දක්වා ඇත. ඒවා මෙසේය.

1. සත්තානං විසුද්ධියා (සත්වයන්ගේ පිරිසුදු බව පිණිස)
2. සොකපරිද්දවානං සමතික්කමාය (සෝ වැළැපුම් ඉක්මෙනු පිණිස)
3. දුක්ඛදොමනස්සානං අත්‍ථංගමාය (දුක් දොම්නස් දුරුවනු පිණිස)
4. ඤායස්ස අධිගමාය (අරි අටැඟි මඟට පැමිණෙනු පිණිස)
5. නිබ්බානස්ස සච්ඡිකිරියාය (නිර්වාණය සාක්‍ෂාත් කරනු පිණිස)

මෙහි එන ”ඒකායනො අයං භික්ඛවෙ මග්ගො” යන්නද විමසිය යුත්තකි. ‘අයන’ යන්න මාර්ගය යන්නට සමාන පදයකි. එසේ නම් මාර්ග ශබ්දයක් යළි මෙහි යෙදුවේ මන්ද? අර්ථෝද්දීපනයම අරමුණු කොට ගෙන ය. (‘වනස්පති වෘක්‍ෂය’ ආදියෙහි මෙනි) මහා සතිපට්ඨාන සූත්‍රයේ අවසාන භාගයේදි “යො හි කොචි භික්‍ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා” යනුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් කාලය අඩු කරමින් ගොස් සූත්‍රයේ අවසාන ඡේදයට පූර්ව ඡේදයේදි ”තිට්ඨතු භික්ඛවෙ අඩ්ඪමාසෝ, යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකංඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති “ යනුවෙන් සත් දිනක් තුළ සතිපට්ඨාන භාවනානිසංස ලද හැකි බව පෙන්වා දී ඇත.

කාය, වේදනා, චිත්ත සහ ධම්ම යන සතර සතිපට්ඨානයන් අතුරෙන් ප්‍රථම සතිපට්ඨාන තුනෙන් යෝගාවචරයාගේ සිත එක අරමුණකට ගැනීම සඳහා උපකාරී වන සමථ භාවනාව හෙවත් සමාධී භාවනාව ඉගැන්වෙන බවත් එහි දී විදර්ශනාවේ ලකුණු විද්‍යමාන වන බවත් ධම්මානුපස්සනාවේදී විදර්ශනාව ඍජුවම අරමුණු කොටගෙන ඇති බවත් දැකගත හැකිය. ”එකවීසතියා ඨානේසු කම්මට්ඨානං අරහන්තෙ පක්ඛිපිත්වා ඉදං ගම්භීරත්‍ථං මහා සතිපට්ඨාන සුත්තමකාසි” යන සුමංගලවිලාසිනි අට්ඨකථා පාඨයට අනුව පැහැදිලි වන්නේ මෙම සූත්‍රයෙහි කර්මස්ථාන විසිඑකක් ඇති බවයි.

මහා සතිපට්ඨාන සූත්‍රයෙහි අන්තර්ගතය දෙස විමසුම් ඇස යොමු කිරීමේදි පැහැදිලි වන්නේ ක්‍රමානුකූල පටිපාටියකට අනුව එය සකසා ඇති බවයි. මුලින්ම එන ආනාපාන කාණ්ඩයෙන් යෝගාවචරයාට සරලතම කමටහන උගන්වයි. එහිදී සිදුවන්නේ තමා තුළ ස්වභාවිකව සිදුවන සංසිද්ධියක් වන ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි අවධානය යොමුකිරීමයි. එයින් දෙවැනි පියවර වන ඉරියාපථ කාණ්ඩයට යෑමේ පහසුවක්ද ඇතිවේ. ඉරියාපථ පබ්බයේදී සිදුවන්නේ තමාගේ සතර ඉරියව් පිළිබඳ සිහිය පිහිටුවීමයි. ඉන් පසුව හමුවන සම්පජඤ්ඤ පබ්බයේදී දෛනිකව සිදුකරන වැදගත් වූද නොවැදගත් වූද සියලුම කාර්යයන් කෙරෙහි සිහිය පිහිටුවීම පිළිබඳ ඉගැන්වෙයි.

ඉනික්බිතිව එන පටික්කුල මනසිකාර පබ්බයේදි ශරීරාභ්‍යන්තරය කෙරෙහි යෝගාවචරයාගේ අවධානය යොමුකරවයි. මේ වන විට ආශ්වාස ප්‍රශ්වාසය, ඉරියව් පැවැත්ම ආදිය පිළිබඳ පුර්ණාවධානය යොමුකර සිටින යෝගියාට ශරීරයේ එක් එක් කුණප කොටස් පිළිබඳ වෙන වෙනම සිහිය මෙහෙයවීම පහසුවේ.

ඉනික්බිතිව දක්වා ඇති ධාතු මනසිකාර පබ්බයෙන් එකී දෙතිස් මහා කුණපවල සැකැස්මට පාදක වූ මහා භූ®තරූප ගෙනහැර දක්වයි. මෙලෙස මෙනෙහි කිරීමෙන් පසුවත් ශරීරය පිළිබඳ බින්දු මාත්‍රික හෝ ආශාවක් ඇත්නම් එය දුරු කිරීම අරමුණු කොට ගෙන ඉනික්බිතිව නවසීවථිකය දක්වයි. එතුළින් ශරීරයේ අස්ථීර බව ප්‍රායෝගිකව අත්විඳීමේ මහඟු අවස්ථාවක් යෝගාවචරයාට උදාවෙයි. මෙලෙස යෝගාවචරයාගේ ඉන්ද්‍රියයන්ට පහසුවෙන් ගෝචර වන රූපකය පිළිබඳව ක්‍රමානුකූලව අවධානය යොමුකිරීමෙන් පසුව ඔහුට පහසුවෙන් ගෝචර නොවන වේදනා හා සිතුවිලි පිළිබඳ අවධානය යොමුකර ඇත්තේ වේදනානුපස්සනාවේදී හා චිත්තානුපස්සනාවේදීය. අවසාන වශයෙන් බොහෝ සෙයින් ගැඹූරු වූ ත්‍රිලක්‍ෂණානුකූලව දැකිය යුතු වු ධම්මානුපස්සනාව දක්වා ඇත.

 

මැදින්පුර අටවක පෝය

මැදින්පුර අටවක පෝය පෙබරවාරි 29 වන දා බදාදා 05.39 ට ලබයි.
මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.53 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 29 වන දා බදාදා ය.

මීළඟ පෝය
මාර්තු 07 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk