UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මවුපිය උපස්ථානය බෝසත් ගුණයක්

සම්බුද්ධ දේශනාවෙහි නොයෙක් මවුපිය ගුණ අගැයීමට ලක්කර තිබෙනවා. මවුපියන්ට සැලකීම ඉතා උසස් කොට දක්වන අතර මවුපියන්ට නොසලකන දරුවන් දෙලොවෙන්ම පිරිහෙන බව පෙන්වා දී තිබෙනවා. මවුපියන්ට සෙනෙහසෙන්, ඔවුන්ගේ අගය වටහාගෙන උපස්ථාන කළ උතුමන් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ඉතිහාස ග්‍රන්ථවලත් සඳහන් වනවා.

ලොවුතුරු බුදු පදවි ප්‍රාර්ථනා කරගෙන සසර පාරමී දම් පුරන අවධියේදි මවුපියන්ට සැලකීම උතුම් ගුණධර්මයක් ලෙස බෝසතාණන් වහන්සේ විසින් ද පුරුදු පුහුණු කරනු ලැබුවා. සැබැවින්ම මවුපිය උපස්ථානය උත්තම බෝධිසත්ව ගුණයක්.

දිනක් නැවක නැඟී මහ සමුදුර මැදින් පිට දේශයක වෙළෙඳාම සඳහා තම මව සමඟ අපේ මහ බෝසතාණන් වහන්සේ ගමන් කළා. හදිසියේම හැමූ සැඩ සුළඟකින් නැව විනාශ වී මිනිසුන් වැනසෙද්දී අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව බෝසතාණන් වහන්සේ මෑණියන් කරපිට තබාගෙන දින හතකින් සයුරු තරණය කළා. එසේ කොට මවගේ ජීවිතය ආරක්ෂා කර දෙන්නට සමත් වුණා. ඒ මවුපියන් වෙනුවෙන් දරුවකු කළ උත්තරීතර කැපකිරීමක්. දස මසක් කුස දරා තමන් මේ ලොවට බිහි කළ තමන්ගේ මෑණියන්, තම ජීවිතය පවා අනතුරට ලක්ව තිබියදී එදා ඒ අයුරෙන් රැකගෙන ආදර්ශයෙන් බෝසතුන් මවුපියන්ට සැලකීමේ අගය අපට පෙන්වා දී තිබෙනවා. එදා ඒ අම්මා ප්‍රාර්ථනයක්, ආශිර්වාදයක් කළා, ඒ මගේ පුතු මතු බුදුවේවා’යි කියා. මවුපියන්ගේ ආශිර්වාදය දරුවන්ගේ ජීවිතයට ඉතාම වැදගත්.

මාතුපෝසක ජාතකයේදී ඇත් කුලයක ඉපදුණු මහ බෝසතුන්හට අසූ දහසක ඇත් පිරිසේ නායකත්වය ලැබුණා. ඒ සමඟ එක් කරදරයකට මුහුණපාන්නත් සිදුවුණා. ඒ ඇත් මවගේ දෙ ඇස අන්ධවීමයි. එහෙත් බෝසත් හස්තිරාජයා තම මෑණියන් ආදරයෙන් රැකබලා ගත්තා. ඇත්පිරිස සමඟ පලවැල සෙවීම සඳහා වනාන්තරයේ දුර ගෙවා ගමන් කරන විට මව වෙනුවෙන් රසවත් පලවැල එකතු කරගෙන ඒවා ඇතුන් අත මවට යැවුවා. එහෙත් ඒ ඇත්තු වනාන්තරයේ මඟක් දුරගොස් ඒ පලවැල තමන්ම අනුභව කොට, ඒවා බෝසතුන්ගේ මව් ඇතින්නට දුන් බවට අසත්‍ය ප්‍රකාශ කළා.

මේ ආකාරයෙන් දින ගණනක් ගෙවී යද්දි එක් දිනක් බෝසත් ඇත් රජු තම මැණියන් දුකෙන් කනගාටුවෙන් දුර්වලව සිටිනු දැක මව සමීපයට ගොස් ඊට හේතු විමසුවා. එහිදී දෙනෙතෙන් කඳුළු වගුරුවමින් තමන්ට දින ගණනාවකින් ආහාර නොලැබුණු බව මෑණියන් ප්‍රකාශ කළා. ඇත් රජුට දරාගත නොහැකි

වේදනාවක් ඇතිවුණා.මෙතරම් දුර්ජන පිරිසකට රැකවරණය සලසමින් නායකත්වයේ සිටිනවාට වඩා තම මව රැක බලා ගැනීම වැදගත් බව බෝසත් හස්තිරාජයා කල්පනා කළා. එසේ කල්පනාකොට උන්වහන්සේ තම මෑණියන් සමඟ එදිනම රාත්‍රියේ පිටත්ව ගොස් වනයේ ඈත චන්ඩෝර නම් වූ පර්වතය අසල නැවතුණා. එහි ගුහාවක මෑණියන් රඳවා උපස්ථාන කරමින් රැක බලා ගත්තා. එක් අවස්ථාවක බරණැස රජුගේ රාජපුරුෂයන් විසින් ඇත් රජු අල්වාගෙන යනු ලදුව, රජතුමා සිය මංගලහස්තියා වශයෙන් රඳවා රැක බලා ගැනීමට උත්සාහ කරද්දී ද බෝසත් හස්ති රාජයා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. සිය මෑණියන් වනයේ නිරාහාරව සිටින බව දන්වා රජුට කරුණු අවබෝධ කරදී යළි මෑණියන් වෙතටම ගොස්, එතෙක් නිරාහාරව වියැලී සිටි මව සනසා, ආහාර අනුභව කරවීමෙන් අනතුරුවයි තමන් ආහාරයක් ගත්තේ.

තිරිසන් ආත්මභාවයක් ලබා සිටියදීත් සමාජයට මෙයින් බෝසතුන් වහන්සේ ලබාදුන්නේ පූර්වාදර්ශයක්. මිල මුදල්, ඉඩකඩම් ආදිය වෙනුවෙන් මවුපියන් අපහසුවට පත් කරන, ඇතැම් විට ඝාතනය කරන දූ දරුවන් මේ හැදියාව ආදර්ශයට ගෙන සිය ජීවිත සකස් කරගත යුතුයි.

සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව පවා බුදුරජාණන් වහන්සේ මවුපියන්ට ලැබිය යුතු ඉහළම සැලකීම දැක්වූවා. දිනක් දෙව්රම් වෙහෙරේ මහරහතන් වහන්සේ පිරිවරා වැඩ සිටි බුදුහිමියන්ට තම පියතුමන් මරණාසන්නව වේදනාවෙන් මරණ මංචකයෙහි වැතිර සිටින බව දැනගන්නට ලැබුණා.උන්වහන්සේ මහරහතුන් පිරිවරා සුදොවුන් රජ මාළිගයට වැඩම කළා. පියතුමන් සමීපයට වැඩම කොට දහම් දෙසා මාර්ගඵල ලාභය අත්කර දුන්නා.

සිදුහත් කුමරුන් ඉපදී දින සතක් ඇවෑමෙන් මහා මායා මවුබිසව කළුරිය කළා. මියගොස් තව්තිසා දෙව්ලොව මාතෘ දිව්‍ය රාජයා වශයෙන් උපත ලැබුවා. බුදු හිමියන් සිය මවට උපස්ථාන කිරීම් වශයෙන් තාවතිංසයට වැඩම කර තෙමසක් පුරා මාතෘ දිව්‍ය රාජයා ඇතුළු දිව්‍ය පිරිසට අභිධර්මය දේශනාකොට ඔවුනට මඟඵල නිවන් අවබෝධය ලබාදුන්නා.මාතෘ දිව්‍ය රාජ තෙමේ උතුම් සෝවාන් ඵලයට පත්වුවා.

මහාමායා දේවිය කළුරිය කිරීමෙන් පසු මහබෝසත් ළදරුවාට කිරි මවු වූයේ ඇයගේ නැඟණිය වූ මහාප්‍රජාපති ගෝතමියයි. ඇය තම පුතු කිරිමවුන් වෙත භාරකොට සිදුහත් බෝසතාණන් වහන්සේ ඉතා ස්නේහයෙන් රැක බලා ගත්තා. සම්බුදු පදවි ලැබීමෙන් අනතුරුව බුදුරදුන් වෙතින් අෂ්ට ගරු ධර්ම පිළිගෙන පැවිදි වී නොබෝ කලෙකින්ම මහ රහත් බවට පත් වුණා. මහාප්‍රජාපතී ගෝතමි තෙරණියෝ ‘බුදුමව‘ යන අතිදුර්ලභ ගෞරව නාමයට හිමිකම් ලැබුවා.

කාලයාගේ ඇවෑමෙන් මහා ප්‍රජාපති ගෝතමි තෙරණියෝ පිරිනිවන් පෑමට සුදානම්ව බුදුපියාණන් වහන්සේ හමුවට වැඩම කළා. බුදුන් වහන්සේට වන්දනාකොට එකත්පසෙක හිඳ මහත්සේ බුදුගුණ වර්ණනා කළා. එතුමිය මෙසේද පැවසුවා.

”මුනීන්ද්‍රයන් වහන්ස, රජුගේ මව, රජුගේ මෙහෙසිය යන නම් ස්ත්‍රින්ට සුලබයි. එහෙත් බුදුමව යන නාමය ස්ත්‍රීන්ට පරම දුර්ලභයි. මහා වීරයන් වහන්ස, මම ඒ නාමය ලැබුවෙමි. මාගේ සියලු පැතුම් ඔබ වහන්සේ විසින් සම්පූර්ණ කරන ලදී”

මෙසේ බුදුගුණ ප්‍රකාශකොට බුදු හිමි නැවතද වන්දනා කරමින් පිරිනිවන් පෑමට අවසරය ලබාගත් මහා ප්‍රජාපතී ගෝතමි තෙරණියෝ බුදුහිමියන් වෙතින් පසුගමන් කරනු ලැබීමෙන් ද ගෞරව ලබා ගත්තා.

මේ ආකාරයෙන් අප බුදුපියාණන් වහන්සේ මවුපියන් හට ඉහළම මට්ටමෙන් සංග්‍රහ කොට තිබෙනවා. ශාස්තෘවරයකු වශයෙන් උන්වහන්සේගේ චරිතය අපට මහත් පූර්වාදර්ශයක්.

අප රටේ අනුරාධපුර යුගයේ රජකළ රජකෙනකුගේ මවුපිය උපස්ථාන ගැන මහාවංශයේ සඳහන් වනවා. එහි දැක්වෙන කරුණූ අනුව අටවැනි අග්බෝ රජු තරම් සිය මෑණියන් හට සැලකූ තවත් රජකු නැතැ’යි කල්පනා වනවා. අග්බෝ රජු මවට උපස්ථාන කළ අයුරු මෙසේ සඳහන් වනවා.

“ හෙතෙම දිවා රෑ මෑණියන්ට උපස්ථාන කිරීමෙහි ඇලුණේ විය. උදෑසනම රජ තෙම මෑණියන් උපස්ථානයට ගොස් හිස තෙල් ගා ඇඟදූලි ආදිය උලා නිය සුද්දකොට ආදර සහිතව නහවා සුව පහසු ඇති අලුත්වත් තමාම හඳවා හළ වත ගෙන තමන්ම මිරිකා (සෝදා ) ඒ වස්ත්‍රයේ ජලයෙන් ඔටුනු සහිතව තම හිස තෙමා ඒ මෑණියන් සුවඳ මලින් චෛත්‍යයක් මෙන් පුදා ඇය ප්‍රදක්ෂිණා කොට තුන්වරක් වැඳ ඇයගේ පිරිසට වස්ත්‍රාදියෙන් රුචි වූ දෙය දී මාහැගි වූ බොජුන් සියතින් වළඳවා ඉතිරි වූ දෙය අනුභව කොට ඒ බිසවුන්ගේ පිරිසටද උතුම් වූ රාජ භෝජනය අනුභව කරවා වාසය කරන ගෙයද සුවඳ කවා සජ්ජිත කොට එහි යහනක් මනා කොට සියතින් පනවා පාදයන් සෝදා සිනිඳු කොට සුවඳ තෙල් ගල්වා මිරිකමින් හිඳ ඇය නිද්‍රාවට පමුණුවා ඇඳ පැදකුණු කොට මොනවට තුන්වරක් වැඳ දසුන්ද කම්කරුවන්ද ආරක්ෂාකරුවන් සේ නියෝග කොට ඇය දෙසට පිටු නොපා පිටුපසින්ම ඉවත්ව නොපෙනෙන තන්හි සිට නැවත තුන්වරක් වැඳ ඒ කර්මයෙන් සතුටුව නැවත සිහිකරමින් ගෙට යේ. දිවි සහිත වු ඒ බිසවට මෙපරිද්දෙන් උපස්ථාන කළේය.”

මවකගේ ගුණ හඳුනාගත් නියම පුත්‍රයකු ක්‍රියා කළ යුතු ආකාරය අග්බෝ රජු තම ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. රජු තම රට වැසියාට ආදර්ශ සපයනවා. ඒ අනුව රටේ දරු පරපුරට මවුපිය උපස්ථානයේ අගය අටවැනි අග්බෝ රජු ඇතුළු අපේ රජවරු පෙන්වා දී තිබෙන්නේ ක්‍රියාවෙන්මයි. මවුපිය ගුණ හඳුනාගෙන ඔවුන්ට සංග්‍රහ කරමින් දිවි ගෙවන දරුවන්ගේ ජීවිත සාර්ථක වනවා. ඔවුනට දේව ආශිර්වාදය පවා හිමිවනවා.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk