UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

 “සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”

බුදුරදුන්ගේ අවිහිංසක ගුණය බුද්ධ චරිතයේ පමණක් නොව බෝධිසත්ව අවධියේ පටන් පැවති ගුණයක් බව දාන පාරමිතාවන් තුළින් පවා පැහැදිලි ය.

සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි බුදුරදුන් විසින් ප්‍රතික්‍ෂේපිත සංකල්පයකි හිංසනය. මිනිසුන් උදෙසා පමණක් නොව අජීවී වස්තු විෂයෙහි සිදු කරන හිංසනය පවා විනය පිටකයෙහි තහනම් කර ඇත. බුදු දහමෙහි මූලික වශයෙන් ම ශාරීරිකව සිදු කරන හිංසනය තහනම් කර ඇති අතර හිංසනය සිදු කිරීම හෝ ඊට අනුබල දීම ද එක හා සමාන අකුසල ගෙනෙන වරදකි.

බුද්ධ දේශනාව වූයේ කිසිවකු කිසිවකුට හිංසා නොකළ යුතු බවත් සියල්ලෝ ම හිංසනය හමුවේ සැලෙන බවත් ය. ධම්මපදයෙහි සඳහන් වන්නේ කෙනකු තමාගේ සැප විහරණය සඳහා අන්‍ය සත්වයන් දණ්ඩනයෙන් හිංසාවට පත් කරයි ද හෙතෙම පරලොව සැප නොලබන බවයි.

බුදුදහමෙහි මිනිසා හිංසනයෙන් වැළකිය යුතුය යන්න දේශනා කර ඇත්තේ හිංසනයට ලක්වන්නන් මෙලොවදී අපහසුතාවයට පත්වන අතර එසේම හිංසනය සිදු කරන්නන් සාංසාරික අපහසුතාවයට පත්වන බැවිනි. හිංසනයෙන් තොර වූවෝ පරම නිෂ්ඨාව වූ නිවන සාක්‍ෂාත් කර ගනිති. කෙතරම් පින්කම් සිදුකළත් එම පින්කම් සිදුකිරීමේ දී තවත් පිරිසක් පීඩාවට පත් වන්නේ නම් පරලොව සුගතිය අත්නොවේ. අහිංසක සූත්‍රයෙහි දැක්වෙන්නේ කෙනෙකු තම නාමයට ගැළපෙන ලෙස තම ඇවතුම් පැවතුම් සකස් කර ගත යුතු බවයි. නමින් අහිංසක වුවද ක්‍රියාවෙන් ඒ බව නොපෙනෙන්නේ නම් එය අර්ථ විරහිත ස්වභාවයකි.

බුදුදහම යනු ලෝකයෙහි ස්වභාවය පැහැදිලි කරනු ලබන දර්ශනයකි. සෑම සමාජ අකටයුත්තකදී මෙන්ම හිංසනය සම්බන්ධයෙන් ද බලපානු ලබන්නේ තෘෂ්ණාවයි. ඒ බව කොතෙකුත් දේශනාවලින් උන්වහන්සේ පැහැදිලි කර ඇත. සමාජයෙහි හිංසනය පවතින්නේ මිනිසුන් තුළ ඇති ආශාව, තෘෂ්ණාව, කාම වස්තුන් පිළිබඳ ඇති බැඳීම හේතුවෙනි. කෙනකු තවත් කෙනකුට හිංසා සිදුකරන්නේ තමන්ට ළඟාකර ගත යුතු එහෙත් ළඟාකර ගැනීමට අපහසු දේ ළඟාකර ගැනීමට ය. තණ්හාමූලික සූත්‍රයෙහි දැක්වෙන්නේ කෙනකු තවත් කෙනකුට හිංසා සිදු කරන්නේ නව තෘෂ්ණාමූල නිසා බවයි. එනම් වස්තු සෙවීමේ තෘෂ්ණාව නිසා විනිශ්චය, විනිශ්චය නිසා ඡන්දරාගය, ඡන්දරාගය නිසා බලවත් සනිටුහනය, බලවත් සනිටුහනය නිසා පරිග්‍රහණය, පරිග්‍රහණය නිසා මාත්සර්ය (ඊර්ෂ්‍යාව), මාත්සර්ය නිසා ආරක්‍ෂාය, ආරක්‍ෂාය හේතුවෙන් දණ්ඩාදානය, ශාස්ත්‍රදානය, කලහ, විග්‍රහ, විවාදය, තෝ තෝයි බිණුම, මුසාවාදය ආදී ළාමක අකුසල ධර්මයන් උපදනා බවත් ය. හිංසන ක්‍රියාවලට මිනිසා පෙළඹෙන්නේ දැඩි කාමය හේතුවෙනි. රටක් සමාජයක් ලෙස හිංසාකාරී බව ඉහවහා යාම නිසා ඇතිවන අනිටු ඵලවිපාක රාශියකි. හිංසාකාරී බව නිසා මනුෂ්‍යයන්ගේ පරමායුෂ කෙටි වේ. මිනිසා විසින් ගැහැණුන් මව ය, මවගේ සොහොයුරිය ආදී වශයෙන් හඳුනාගැනීමක් සිදු නොවනු ඇත. එවිට ලෝකය අතිශයින් සංකීර්ණ කාමුක හැසිරීම්වලට ගොදුරු වේ.

බමුණු සමාජයෙහි පැවති යාග සංකල්පය බුදුරදුන්ගේ දෝෂ දර්ශනයට ලක්වූයේ ද ඒ තුළින් තවත් කොටසක් හිංසනයට ලක්වන බැවිනි. බුදුදහමෙහි පරමාර්ථය වූයේ,

“සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා”

එනම් සියලු සත්ත්වයන් සුවපත් කිරීමයි. පිරිසක් හිංසනයට පත්කර තවකෙනකුට ආශිර්වාද කළ නොහැකි ය. මහා විජිත රජුගේ අවිහිංසාව මුල්කරගත් යාගය බුදුරදුන් අගය කළේ ය.

සමාජය තුළ හිංසනය ඇතිවීම විෂයෙහි බලපානු ලබන්නේ මිනිසුන්ගේ තිදොර සංවර නොවීම හා මිනිසුන් තුළ පවතින අඥාන බව යි. බුද්ධියේ ඇති හීනභාවය මේ සඳහා ඉවහල් වී ඇත. සෝණදන්ඩ සූත්‍රයෙහි දැක්වෙන ප්‍රඥාව ශීලයෙන් පිරිසුදු වේ. ශීලය ප්‍රඥාවෙන් පිරිසුදු වේ. සිල් ඇති තැන ප්‍රඥාව වේ. ප්‍රඥාව ඇත්තාට සිල් ඇත. එමඟින් පැහැදිලි වන්නේ හිංසනය සඳහා බොහෝ විට බලපානු ලබන්නේ මිනිසුන්ගේ නොහික්මුණු බව හා සංයමයෙන් තොර වූ බවයි.

බුදුරදුන්ගේ අවිහිංසක ගුණය බුද්ධ චරිතයේ පමණක් නොව බෝධිසත්ව අවධියේ පටන් පැවති ගුණයක් බව දාන පාරමිතාවන් තුළින් පවා පැහැදිලි ය. ආටානාටිය සූත්‍රයෙහි දැක්වෙන පරිදි යකුන් බොහෝවිට බුදුරදුන් කෙරෙහි නොපැහැදෙනුයේ බුදුරදුන් හිංසන ක්‍රියාවලින් වැළකීම පිණිස දහම් දෙසන නිසාවෙනි.

බුද්ධ දේශනාව මිනිසුන්ට හිංසාවෙන් වැළකෙන ලෙස දේශනා කරන අතර හිංසාව තුළ සසර අත්විය හැකි අනිටු විපාක ද දක්වයි. දුක්ඛුද්‍රය සූත්‍රය පැහැදිලි කරන්නේ හිංසාවේ අනුරූප විපාක වන්නේ සසර ජීවිතය දුක්ඛදායක තත්ත්වයකට ඇද වැටීමයි. කෙනකු තව කෙනකු පෙලන්නේ මිනිසුන් තුළ ඇති වැරදි දැකීම හේතුවෙනි. තපනීය සූත්‍රය මේ බව පැහැදිලි කර ඇත. නොදැකිය යුත්ත දැකීම දැකිය යුතු දේ නොදැකීම මිනිසා හිංසනාත්මක ක්‍රියා සඳහා යොමුවීමට හේතුවෙයි. බුද්ධ දේශනාව වන්නේ සියලුම සත්වයන් දඬුවමට, හිංසාවට බිය බවත් තමා උපමා කරගනිමින් අන්‍යයන්ට හිංසා පීඩා නොකරන ලෙසත් ය.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්ථානං උපමං කත්වා
නහනෙය්‍ය නඝාතයේ

තමන්ට කෙනකු හිංසා පීඩා කරනවාට අකමැති සේම සමාජයෙහි අනෙක් පිරිස ද එසේම ය. එම තත්ත්වය හැමදෙනාම වටහාගත යුතු ය. බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම වන්නේ මිනිසුන් හිංසාවට ලක්වීමට හා කිරීමට බොහෝ හේතු ඇති බවත් එය නුවණින් අවබෝධ කරගෙන වැළකිය යුතු බවත් ය. එමඟින් දෙලොව අපහසුතාවයට කිසිදු පාර්ශ්වයක් පත් නොවේ. එවිට දෙලොව සතුටුවිය හැකි අතර පරම නිෂ්ඨාවට ළඟාවීමට ද පහසු වේ. බෞද්ධයාගේ සැබෑ වුවමනාව සසර කෙටි කර ගැනීම නම් ඇති කරගත යුතු උත්කෘෂ්ට තත්ත්වයක් ලෙස දැක්විය හැක්කේ අවිහිංසක ගුණය යි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk