UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
budusarana@lakehouse.lk

වප් පුර පසළොස්වක 2010.10. 22

කසාවත වග තුග

දට යෙදී ඇති වප් පුර පසළොස්වක පොහොය දිනය පිළිබඳ ව කතා කිරීමේ දී සිහිපත් කැරෙන ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් තිබේ. එ නම්, සාකේත නුවර දී වස් එළඹ මහා පවාරණයෙන් පවාරණය කොට බුදුරදුන් දකිනු පිණිස සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පැමිණෙන අතරමඟ දී වැස්සට තෙමී ක්ලාන්ත ගතියෙන් යුතු ව බුදුරජාණන් වහන්සේ බැහැදුටු භික්‍ෂූන් වහන්සේ තිස් නමක් පිළිබඳ සිද්ධියයි. එම භික්‍ෂූන් වහන්සේ ලා මුහුණ දුන් අපහසුතා සැලැකිල්ලට ගත් බුදුන් වහන්සේ, මහණනි, වස් වැස නිම කළ භික්‍ෂූන්ට කඨින ඇතිරීම අනුදනිමි’ යි වදාළ සේක. එ තැන් සිට භික්‍ෂූන් වහන්සේලාට කඨින සිවුරු පරිභෝග කිරිමට අවස්ථාව ලැබිණ. මෙය ඉතා වැදගත් ශාසනික සිද්ධියක් ලෙස අප සඳහන් කළේ ඇයි?

බුද්ධ ශාසනයේ ක්‍රියාකාරිත්වය, භික්‍ෂූන් වහන්සේ ගේ සිවුරු පරිභෝග පිළිවෙත සකස් වූ ආකාරය, භික්‍ෂු විනය නීති වෙනස්වීම, භික්‍ෂූන් වහන්සේ ගේ පැවැත්ම සම්බන්ධයෙන් බුදුරදුන් දැක් වූ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්පය, භික්‍ෂූන් වහන්සේ ගේ සමාජ සබඳතා පමණක් නො ව බුද්ධකාලීන භාරතයේ සමාජ ආර්ථික වාතාවරණය ද මේ සිද්ධියෙන් මනාව පැහැදිලි කැරේ. ඒවා නිසි ලෙස අවබෝධ කැර ගැනීම බුදු දහමේ අනාගතය සඳහා වැදගත් වන කරුණකි. මේ පිළිබඳ ව කතා කිරීමේ දී ‘ලක්දිව බුදු සමයේ ඉතිහාසය ‘ නමැති මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ගේ කෘතිය අපට විශාල මඟ පෙන්වීමක් වනු ඇත. එම කෘතිය මහාචාර්ය වල්පොළ රහුල හිමියන් විසින් තම දර්ශන විශාරද උපාධිය සඳහා විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කරන ලද උපාධි නිබන්ධනය පදනම් කොට ගෙන 1956 දී සකස් කළ ‘හිස්ටි‍්‍ර ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්’ යනුවෙන් ප්‍රකාශයට පත් ඉංගී‍්‍රසි කෘතියෙහි සිංහල අනුවාදය යි. අපි දැන් එහි කොටසක් උපුටා දක්වමු.

“මුල් කාලයේ දී භික්‍ෂූන් හැඳ පෙරවීමට පාවිච්චි කෙළේ පංසුකූල චීවරය පමණි. ඒ කියන්නේ ප්‍රයෝජනයකට නැති අහක දැමු කඩමාල්ලෙන් මසාගත් සිවුරු පමණි. එහෙත් පසු විටෙක, සුප්‍රකට ජීවක වෛද්‍යයාගේ ඉල්ලීම ඉවසා, බුදුහු භික්‍ෂූන්ට ගිහියන්ගෙන් සිවුරු පිළිගන්නට අවසර දුන් හ.මේ අවසරය ලැබුණු විට ගිහියෝ භික්‍ෂූන්ට බොහෝ සිවුරු පිළිගන්වන්ට පටන් ගත්තෝ ය. ඇතැම්විට ආරාමයක තම තමන් ගෙනා සිවුරු පිළිගන්ට භික්‍ෂුවක් සොයා ගත නොහැකි වූ බැවින් සැදැහැවතුන්ට තමන්ගේ සිවුරු ආපසු ගෙදර ගෙන යන්ට පවා සිදුවිය.මේ බව බුදුන්ට සැලකරන ලද්දෙන්, සැදැහැවතුන් පිළිගන්වන සිවුරු බාර ගැනීම පිණිස චීවර - පටිග්ගාහක භික්‍ෂුවක් පත්කළ යුතු යැයි බුදුහු ව්‍යවස්ථාවක් පැනවූහ.මෙ සේ චීවරපටිග්ගාහක (සිවුරු - පිළිගන්නා ) පදවිය ඇති කරන ලදී. එහෙත් චීවර පටිග්ගාහකයන් සිවුරු පිළිගෙන ඒවා සුදුසු තැනක පරිස්සමට නොතබා කොතනක හෝ දැමූ බැවින්, සිවුරු නාස්තිවෙන්ට විය. එ බැවින් බුදුහු සිවුරු තැන්පත් කොට තැබීම පිණිස චීවර නිදහකයකු පත්කළ යුතුයැයි නියම කළාහුය. එහෙත් මේ කටයුත්තට සුදුසු තැනක් නො තිබුණි. එ බැවින් තැනින් තැන ගොඩ ගසා තිබුණු සිවුරු වේයන්,මීයන් කෑමෙන් නාස්ති විය. එ විට ගබඩා කාමරයක් (භණ්ඩගාර) පදවිය ද පිහිටුවන්ට සිදු විය . මෙ සේ එකතුවුණු සිවුරු බෙදා ගැනීමේ දී භික්ෂූන් අතර අරගල හා භේද හටගත්තේ ය. මේ අමනාපය වළක්වනු පිණිස භික්ෂූන්ට නිසි පරිදි සිවුරු බෙදාදීමට බුදුන් විසින් චීවර භාජකයකු (සිවුරු බෙදන්නකු) පත් කළ යුතු විය. මෙ පරිදි සිවුරු පිළිබඳ නීති ක්‍රම ක්‍රමයෙන් වැඩි වීගෙන ගියේ ය.”

“ සමහර විට, රටේ තත්ත්වයට ගැළපෙන පිණිස විනය ශික්ෂාපද වෙනස් කරන ලද්දේ ය. මුල් ව්‍යවස්ථාවල හැටියට උපසම්පදා කර්මයකට භික්‍ෂූන් දස නමක් සිටීම අවශ්‍ය ය.හම්කඩ එකකට වැඩි ගණනකින් සැදූ සෙරෙප්පු පාවිච්චි නො කළ යුතු ය.දෙසතියකට වරක් මිස ඊට වැඩියෙන් නිතර නිතර නෑම තහනම් ය. සතුන්ගේ හම් ඉඳ ගැනීමට පාවිච්චි නො කළ යුතු ය. මේ ව්‍යවස්ථා පවත්නා කාලයේ දී සැවැත්නුවර වැඩ සිට බුදුන් දකිනු පිණිස අවන්තියේ සිට එහි ගිය මහාකච්චායන තෙරුන්ගේ ශිෂ්‍ය සෝණ භික්ෂුව තම ආචාර්ය ස්ථවිරයන් වෙනුවෙන් බුදුන්ට මෙ සේ ආයාචනයක් කෙළේ ය. ස්වාමීනි, අවන්තියෙහි භික්ෂූහු ඉතා දුර්ලභ ය. එ බැවින් භික්ෂූන් ස්වල්ප දෙනකුගෙන් උපසම්පදා කර්මය කරන්නට අවසර දෙනු මැනවි. අවන්තියේ පාරවල් අමාරු ය.එ බැවින් හම්කඩ එකකට වැඩි ගණනකින් සැදු සෙරෙප්පු එහි දී පාවිච්චි කරන්නට අවසර දෙනු මැනවි. අවන්තියේ මිනිස්සු නිතර නිතර නෑම හොඳ සිරිතක් හැටියට සලකති. එ බැවින් එහි දී නිතර පාහේ නෑමට අවසර දෙනු මැනවි. මධ්‍ය දේශයේ ජනයා, ඉඳ ගැනීමට පැදුරු පාවිච්චි කරන්නා වගේම, අවන්තියේ මිනිසුන් ඉඳගැනීමට පාවිච්චි කරන්නේ හම් ය. එ බැවින් එහි දී වාඩිවීමට හම් පාවිච්චි කරන්නට අවසර දෙනු මැනවි’ යනුවෙනි.”

ශාසන ඉතිහාසය මෙ සේ දීර්ඝ වශයෙන් උපුටා දැක් වූයේ නිශ්චිත අරමුණක් ඇතිවය. එ නම් පොදු සමාජයෙන් බැහැර ජීවිතාපේක්‍ෂාවන් සහිත වුව ද භික්‍ෂූන් වහන්සේ ගේ ජීවන රටාව පාරිසරික සාධක හා සමාජ ආකල්ප මත රඳාපවතින බව පෙන්වාදීම ය. එය ගිහියන්ට පමණක් නො ව භික්‍ෂූන් වහන්සේ ට ද තිබිය යුතු අවබෝධයකි. එම අවබෝධය ලබා ගැනීමේ මාර්ගයක් බවට කඨින පින්කම් යොදා ගන්නේ නම් මැනවි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 22 වන දා සිකුරාදා පූර්ව භාග 05.35 ට ලබයි.23 වන දා සෙනසුරාදා පූර්වභාග 07.07 දක්වා පෝය පවතී..සිල් සමාදන්වීම ඔක්තෝබර් 22 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර්  22

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 30

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk