UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

“දේවදත්තයෙනි, මම සැරියුත් මුගලන් දෙනමට වත් සංඝ පාලනය පවරා නොදෙමි. ඉතින් ඔබ වැනි නොහික්මුණු කෙනෙකුට සංඝ පාලනය පවරා දෙන්නේ කෙසේද? “බුදුන් වහන්සේට වෛර කරන්නට සහ උන්වහන්සේගෙන් පළිගන්නට එදා දේවදත්ත මුල පිරුවේ එසේ ය. දේවදත්ත සමූහයා කෙරෙන් ඉවත්ව ගිය පසු, බුදුරදුන් දේවදත්ත පෙර සේ නොව දැන් අමුතු පුද්ගලයකුව සිටින බවත්, සංඝයා විසින් ඔහු වර්ජනය කර නෙරපා හැරිය යුතු බවත් වදාළහ.



බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාහිදී, තමා බෝධිසත්වයකු ලෙස සාවුරුද්දක් පුරා දැඩි සේ දුෂ්කර ක්‍රියාවේ නිරතවීමේ හේතුවෙන් හටගත් ඇතැම් දරුණු කායික වේදනා සමනය පිණිස විවේක සුවයෙන් ගත කරද්දී සිය ශ්‍රාවකයනට නොකඩවා ධර්මදේශනා පවත්වාගෙන යෑමට පවරා තිබිණ. උන්වහන්සේට මේ සියල්ලට මුහුණ පාන්නට සිදු වී තිබුණේ “කම්ම” ශක්තියේ බලපෑමෙනි.


“අහං නාගෝච සංගාමේ – චාපාතෝ පතීතං සරං අතිවාක්‍යං තිතික්ඛිස්සං - දුස්සීලෝහි බහුජ්ජනෝ” (ධම්ම පදය 320 )

ලෝකයේ බොහෝ දෙනා දුස්සීලය. ඒ නිසා යුද බිමෙහිදී දුන්නෙන් විදිනු ලැබ ඊ පහර කාගෙන ඉවසන ඇතකු මෙන් මම නොයෙක් දෙනාගේ රළු බස් හා ඇනුම් බැණුම් ඉවසමි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ බුදුන් වහන්සේ විසින් ආනන්ද හිමියනට පවසන ලද්දකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොමනාපව සිටි කොසඹෑ නුවර උදේනි රජුගේ බිසවවූ මාගන්දි බැමිණිය විසින් අල්ලස් දෙනු ලැබූ බොහෝ දෙනා බුදුරදුන්ට දරුණු ලෙස ගරහන්නට පටන් ගත්හ. එවන් ගැරහුම් අසන්නට නොහැකි වූ ආනන්ද හිමියෝ එනුවර හැර අන් තැනකට යන්නට බුදුරදුන්ට යෝජනා කළහ. එවිට බුදුරදුන් ආනන්ද හිමියන් අමතා ඉවසීම පුරුදු කරන ලෙස අවවාද කොට, තමා යුද බිමට එළඹි කල්හි මැ අතින් ම එන ඊ පහර විඳ දරා ගන්නට සූදානම් විය යුතු ඇතකුට උපමා කොට දැක්වූහ.

අද අපි බුදුන් වහන්සේගේ ජීවිතය විනිවිද දකින්නට සහ එමඟින් අපේ ජීවිත වඩා යහපත් කර ගැනීමට අදාළ උපදෙසක් ලබා ගන්නට මුණගැසී සිටිමු. දැන් ඔබ මෙහි රැස්ව සිටින්නේ නිකිණි පුන්පෝදා නිමිති කර අටසිල් සමාදන් වන්නටයි. ශ්‍රී ලංකාවේ සැදැහැවත්තු නම්, පුරපසළොස්වක් පොහෝ දින අටසිල් හෝ දසසිල් සමාදන් වන්නට පුරුදුව සිටිති. එහෙත් මේ රටේ දී (එංගලන්තය) ඉරිදාවක් නොවේ නම්, විහාරස්ථානයකට යන්නට අපට නිදහසක් නැත. කෙසේ වෙතත් අද එහිලා ඔබගේ කැපවීම මම අගය කරමි. නිකිණි පුරපසළොස්වකදා බෞද්ධ දින දර්ශනයේ සුවිශේෂ දවසකි.

අපි අපේ විවේකය අහිමි කර ගනිමින් උපාධියක් ලබා ගැනීමේලා දැඩි සේ වෙහෙසට පත්වෙමු. විභාගයක් සමත් වූ විට, අප විඳි කරදර වලින් අඩක් අවසන් යැයි ද, වැඩි වෙහෙසක් නොවිඳ සතුටින් ජීවත් විය හැකි වෙතියි ද සිතමු. එවිට අපට විශාල වැටුපක් සමඟ හොඳ රැකියාවක් ලබා ගත හැකි ය. එක්තරා පැරණි කියුමක් මගේ මතකයට එයි. එනම්, “විද්‍යාතුරානං නසුඛම්, නනිද්‍රා” යනුයි. “ශාස්ත්‍ර ලෝභයෙන් ආතූර වූවනට සැපතක් නැත, නින්දක් නැත.”

අහඹුවකින් හෝ එංගලන්තයේ පය ගසා ගන්නට ලැබුණොත්, ඔබේ ජීවිතය බෙහෙවින් පහසු වෙතියි ද, සමෘද්ධිමත් වනු ඇතැයි ද සිතා සිටින්නට ඇත. අද පවා ශ්‍රී ලංකාවේ ඇතැම්හු සිරිත් පරිදි එංගලන්තය දිව්‍ය ලෝකයකි යි යන හැඟීමෙන් පෙළෙන්නෝ ය. එහෙත් මෙහිදී පුද්ගලයකු කවර තරමේ දුෂ්කරතා සමඟ පොර බැදිය යුතු දැයි දැන් ඔබ හඳුනා ගෙන තිබෙනු ඇත.

බුද්ධත්වය ලැබීමෙන් පසු බුදුන් වහන්සේ සුවපහසු ජීවිතයක් ගත කරන්නට ඇතැයි යන හැඟීම ඔබ තුළ ඇති වන්නට පුළුවන. එසේ නොවේ නම්, බෝධිසත්ත්වයෝ දස පාරමිතා පිරුවෝ නොවෙත් ද සහ බුදු වන්නට මහා ප්‍රයත්නයක් දැරුවෝ නොවෙත් දැයි ඔබ මගෙන් අසන්නට පුළුවන. මෙහිදී බුදුන් වහන්සේ මුහුණ දුන් එක් අභියෝගයක් ගැන කතා කිරීම මැනවි යි සිතමි. ඇයි ද යත් එය නම්, උන්වහන්සේ පිරිනිවන් පාන්නට හේතු වූ, කලින් වසරේ නිකිණි හෙවත් අගෝස්තුවේ පුන්පෝදා රෝගී බවට පත්වීමයි. ඒ බේළුවගමදී වැසි සමය ගෙවී යද්දීය. උන්වහන්සේගේ රෝගී තත්ත්වය දරුණු ද, මාරාන්තික ද විය. උන්වහන්සේ එය දරා ගත්තේ සාවධානව හා සන්සුන්ව ය. එසේ අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් සමාපත්ති සුව විඳිමින් රෝගී තත්ත්වය දරා සිටි බව කියනු ලැබේ. බුදුරදුන් වැසි සමය අවසානයේ බේළුව ගමින් පිටත් ව සැවැත් නුවර වෙත ගමන් ඇරඹූහ. එහෙත් මාසයක් හෝ ඒ අතර උන්වහන්සේගේ සර්වාංගය දරුණු වේදනාවකින් පෙළෙන්නට වන.

බුදුන් වහන්සේ ධර්ම දේශනා පවත්වමින් ද, ආශ්‍රමික සංඝ සමාජය මෙහෙයවමින් ද පන්සාළිස් වසක් පුරා ඇදහිය නොහැකි තරම් දුෂ්කරතා සම්භාරයකට මුහුණ දුන්හ. උන්වහන්සේ බුද්ධත්වය ලබා සිටියත් එතෙකුත් කර්මයේ බලපෑමෙන් නොමිදුණු සේක.

බුදුන් වහන්සේ නොයෙක් අවස්ථාහිදී, තමා බෝධිසත්වයකු ලෙස සාවුරුද්දක් පුරා දැඩි සේ දුෂ්කර ක්‍රියාවේ නිරතවීමේ හේතුවෙන් හටගත් ඇතැම් දරුණු කායික වේදනා සමනය පිණිස විවේක සුවයෙන් ගත කරද්දී සිය ශ්‍රාවකයනට නොකඩවා ධර්මදේශනා පවත්වාගෙන යෑමට පවරා තිබිණ. උන්වහන්සේට මේ සියල්ලට මුහුණ පාන්නට සිදු වී තිබුණේ “කම්ම” ශක්තියේ බලපෑමෙනි. මේ කියන “කම්ම” නම් කුමක් ද? එය සංස්කෘත භාෂාවේ “කර්ම” ශබ්දයේ තත්භව රූපයකි.

එය ව්‍යුත්පන්න වී ඇත්තේ කිරීම් අර්ථයෙහි ‘කෘ’ මූලයෙනි. කෙටියෙන් කියතොත් කර්ම යනු කිරීම හෙවත් ක්‍රියාවයි. බුදුන්වහන්සේගේ සමයේ ඇතැම් තවුසන් අතර හැම ක්‍රියාවක ම ප්‍රතිඵලයක් ඇතැයි යන අදහසක් තිබිණ. එහෙත් බුදුරදුන් ඒ අදහස ප්‍රතික්‍ෂේප කොට “යථා යථා වේදනීයං අයං පුරිසෝ කම්මං කරෝති, කථා තථස්ස විපාකං පටිසංවේදියති” යි කීහ. එයින් කියවෙන්නේ, “යම් යම් සේ චේතනාත්මකව පුද්ගලයා කර්මයක් කරයි ද, ඒ ඒ පරිදි ඔහුට විපාක විඳින්නට සිදුවෙයි” යනුයි. මෙසේ චේතනාත්මකව කළ පෙර කර්ම පමණක් නොව වර්තමාන කර්ම ද විපාක දෙයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” යනුත් මේ සමඟ ගළපා ගැනීම මැනවි.

ත්‍රිපිටකයට ලියන ලද අට්ඨකථා හෙවත් අටුවා වලට අනුව ලෙඩදුක්, වේදනා, කැක්කුම් සහ ඇනුම් බැණුම් ඇතිවීමට හේතුව, සංසාර ගමනේ දී බෝධිසත්ත්වයන් විසින් කරන ලද අහිතකර හෙවත් අකුසල පාක්‍ෂික සියලු ක්‍රියාකාරකම් වූ බව පෙනේ. සිංහල සාහිත්‍යයෙහි “වාසනා ගුණ කිසිවකුත් නැති” සහ “සවාසන සකල ක්ලේශ ප්‍රහීණ කළ” වැනි ප්‍රකාශ හමුවෙයි. එයින් කියවෙන්නේ බුදුන් වහන්සේට අතීත කර්මයන්ගේ විපාක නොදෙන බවයි. ඒ අනුව උන්වහන්සේ සියලු කර්ම ශක්ති නිෂ්ක්‍රීය කර තිබිණ. කෙසේ වෙතත් සිංහල සාහිත්‍යයේ දැක්වෙන ප්‍රකාශ, අටුවාවෙහි දැක්වෙන ප්‍රකාශ වලට පටහැනි ය. බුදුන් වහන්සේ සියලු ආකාර සම්භාවිත හෝ අවයවීය (සංරචක) ද්‍රව්‍යයන්හි අනිත්‍යය දැක්වූහ. බුදුන් වහන්සේගේ ජීවිතයේ අවසන් අවුරුදු කීපය තුළ ඉදිරිපත් කරන ලද අනුශාසනාවන්ගෙන් වැඩිතමයක් බෙහෙවින් ම සංරචක හෙවත් ඕනෑම දෙයක් නිර්මාණය වී ඇති මූලිකාංග වලට කුමක් වන්නේ ද යන්න පිළිබඳ ඒවා ය. (Space and form ඩොනල්ඩ් ග්ලේසර්) පහත දැක්වෙන ප්‍රකාශයන්ගෙන් එය පැහැදිලි වෙයි.

“අහං ඛෝ පන ආනන්ද ඒතරහි පිණ්ණෝ වුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ අසීතිතෝ මේ වයෝ වත්තති. සෙය්‍යථාපි ආනන්ද ජජ්ජරං සකටං වේගසම්මිස්සකේන යාපේති, ඒවමේව ඛෝ ආනන්ද වේගම්ස්සකේන මඤ්ඤේ තථාගතස්ස කායෝ යාපේති. පරිපත්තෝ වයෝ මයහං පරිත්තං මම ජීවිතං පහාය වෝ ගම්ස්සාමි. කතං මේ සරණමත්තනෝ.”

“ආනන්ද, දැන් මම වනාහි දිරාපත් වෙමි. වියපත් වෙමි. මහලු වෙමි. ආයු ගෙවමින් සිටිමි. අසූ වැනි වියට එළඹියෙමි. ආනන්ද යම් සේ දිරා ගිය ගැලක් අමාරුවෙන් ඇදී යන්නේ ද, එසේම තථාගත කය ද බොහෝ අමාරුවෙන් පවත්වා ගත යුත්තේ ය. මගේ ආයු පරිපාකයට ගියේ ය. දැන් මගේ ජීවිතය කෙටි ය. මම ඔබ හැර යෙමි. දැන් ඔබට ඔබේ ම සරණයි.” බුදුන් වහන්සේ කුසිනාරාවට (කුසිනගර) වඩින ගමනේ සිය කායික අපහසුතාව මෙසේ විස්තර කරති. “ඉංඝ මේ ත්වං ආනන්ද, සංඝටීං චතුග්ගුණං කත්වා පඤ්ඤාපේහී, කිලන්තෝස්මි ආනන්ද, නිසිදිස්සාමි.” බලන්න ආනන්ද, සතර ගුණ කර ගත් සඟළ සිවුර අතුරන්න. ආනන්ද ක්ලාන්තයෙමි. හිඳගනු කැමැත්තෙමි.”

ඉක්බිති බුදුරදුන් මෙසේ වදාරති. “ඉංඝ මේ ආනන්ද, පානීයං ආහර, පිපාසිතෝස්මි ආනන්ද පිවිස්සාමි.” ආනන්ද මා දෙස බලන්න. පැන් පොදක් ගෙනෙන්න. ආනන්ද, පිපාසිතයෙමි. බොනු කැමැත්තෙමි.” බුදුන් වහන්සේගේ මුළු බුද්ධ ජීවිත කාලය පුරා ම සිය ශ්‍රාවකයන් පිළිබඳ ඉවරයක් නැති ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවිය. උදාහරණයක් ලෙස අගසවු සාරිපුත්ත හා මහා කාශ්‍යප හිමිවරු බුදුන් වහන්සේගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නුදුන්හ. ඇතැම් භික්‍ෂුහු එකෙකා අඬදබර කිරීම පුරුද්දක් කර ගත්හ. ඔවුන් බුද්ධාවවාදය ගණනකට ගත්තේ නැත. එක් අවස්ථාවක උන්වහන්සේ සිය කායචිත්ත විවේකය සොයා පාරිලෙය්‍ය වනයට පසුබැස වැඩිසේක. එහිලා උන්වහන්සේ මෙසේ වදාරති. “අහං ඛෝ පන ඉදානී ආකිණ්ණෝ දුක්ඛං විහරාමි. ඉමේ ච භික්‍ඛූ මම වචනං න කරොන්ති. යන්නුනාගං එකකෝ ගණම්හා වූපකට්ඨෝ විහරෙය්‍යාමි.” “මම වනාහි දැන් දුකින් අවුලට පත්ව සිටිමි. මේ භික්‍ෂූහු මා කියන්නක් නොකරති. භික්‍ෂු සංඝයාගෙන් වෙන්ව හුදකලාව සුවසේ වෙසෙමි.”

ඇතැමකු අවබෝධය හෙවත් විමුක්තිය ලෙස සැලකුවේ ආහාර අනුභවය, නිදාගැනීම සහ කාමභෝගී ජීවිත ගත කිරීමයි. උදාහරණ ලෙස සුදින්න, උදායි, සුන්දරී නන්දා, අපස්මාර රෝගි භික්‍ෂුව සහ ෂඩ් වාර්ගික භික්‍ෂූන් ද දැක්විය හැකි ය. ඇතැමකුට හුදු නිර්මාංශාහාරයට බල ගැන්වීම සඳහා දැඩි නීති පැනවීමක් අවශ්‍ය විය. බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු මුල් සමයේ, මල්ලයන්ගේ අනුපීය නම් නියම්ගමෙහි කල් ගෙවමින් සිටි සේක.

ඒ වන විට මුල් පෙළේ ශාක්‍ය කුමාරවරු පිරිස ලෞකික ජීවිතය ගැන කලකිරි බුදුන් වහන්සේගේ අනුමතයෙන් සසුන්ගතව සිටියෝ ය. එහෙත් එතෙකුත් සඟ සසුනට ඇතුළු නොවූ තවත් අය උන්හ. මේ අතර ඒ වන විටත් පාලන කාරියෙහි නිරතව සිටි භද්දිය නම් ශාක්‍ය කුමාරයාත්, අනුරුද්ධ, ආනන්ද, භගූ, කිම්බිල, දේවදත්ත සහ ඔවුන්ගේ උපස්ථායක උපාලිත් යන සියලු දෙනා බුදුන් වහන්සේ වෙත ගොස් පැවිද්ද ඉල්ලා සිටියහ. එහිදී ශාක්‍ය කුමාර වරුන්ගේ ඉල්ලීම පිට පළමුවෙන් උපාලි පැවිදි කරනු ලැබී ය. එසේ කරන ලද්දේ අනෙක් අය විසින් ඔහු ජ්‍යෙෂ්ඨයකු ලෙස සලකා ගෞරව කරනු පිණිස ය.

ආනන්ද හිමියෝ, සුදොවුන් රජුගේ බාල සහෝදරයකු වූ අමිතෝදන රජුගේ පුතණුවෝ ය. දෙව්දත් ශාක්‍ය පාලක සුප්පබුද්ධ රජුගේ පුතා වන අතර යසෝදරාවන්ගේ සොහොයුරා ය. භද්දිය තෙරණුවෝ එළඹී වස්සාන සමයේ දී ත්‍රිවිද්‍යාධරයෙක් වූහ. අනුරුද්ධ තෙරණුවෝ දිව්‍ය චක්ෂුර් ඥානය ලබා ගත්හ. ආනන්ද හිමියෝ සෝවාන් ඵලයට පැමිණියෝ ය. දෙව්දත් තෙමේ ලෞකික ධ්‍යාන බල ලබා ගති. ටික කලකට පසු බුදුහු අනුපිය නියම්ගමින් පිටත්ව කොසඹෑ නුවර වෙත සැපත් වූහ. එහිදී උන්වහන්සේ ඝෝෂිත සිටුවරයා තනා දුන් ඝෝෂිතාරාමයේ කල් යවන්නට වූහ.

මේ අතර හුදකලාව සිටි මොහොතක, කිසියම් බලවතකුගේ සිත දිනා ගතහොත් ඒ උපකාරයෙන් තමාට ලෞකික සමෘද්ධිය ලබා ගත හැකි වනු ඇතැයි දෙව්දත්ට සිතිණ. එලෙසින් කාගේ සිත් දිනා ගනිම් දෝ විමතියෙන් සිටින කල්හි, ඔහුගේ සිත බිම්බිසාර රජුගේ පුත් අජාසත්ත කුමාරයා වෙත යොමු විය. ඉක්බිති දෙව්දත් හනික රජගහ නුවර වෙත ගොස්, සර්පයකු විසින් වෙළා ගනු ලැබූ කුඩා පිරිමි දරුවකුගේ වෙසක් මවා ගෙන, අජාසත් කුමාරයාගේ උකුළෙහි බැස පෙනී සිටියේ ය. එකල්හි තරයේ බියට පත් කුමාරයා අන්ද මන්දව නැඟිට ගති.

“කුමාරයෙනි, ඔබ මට බියද?” දෙව්දත් ඇසී ය.

“ඇත්තටම ඔව්, ඔබ කවුරුද?

“මම දේවදත්ත”

“ඔබ දෙව්දත් හිමි නම්, කරුණා කර ඔබේ සැබෑ රූපයෙන් ම පෙනී සිටින්න,” කුමාරයා ඉල්ලා සිටියේ ය.

ඉක්බිති දෙව්දත් තෙමේ පාත්‍රය හා සිවුරු දරා සිය පැවිදි රූපයෙන් පෙනී සිටියේ ය. අජාසත් කුමාර තෙමේ දේවදත්තගේ මේ සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් තරයේ වශීකර ගනු ලැබිණ. එතැන් පටන් අජාසත් දිනපතා උදේ සවස දෙවරක්, ගැල් සියයක් පිරිවරා දෙව්දත් බැහැ දකිනු පිණිස යන්නට පටන් ගත්තේ ය. එපමණක් නොව දිනපතා ආහාර පාත්‍ර පන්සියයක් ද පිළිගැන්විණ.

එකල්හි බුදුරදුන් කොසඹෑවෙන් පිටත් ව ගොස් රජගහ නුවර වේළුවනයේ, කලන්දක නිවාප පෙදෙසේ වසන සේක. ඒ අතර භික්‍ෂූහු මහ පිරිස් විසින් බුදුන් වහන්සේ වෙත ගොස්, අජාසත් දිනකට දෙවරක් බැගින් දෙව්දත් කරා එළඹ ආහාර පාත්‍ර පන්සියයක් බැගින් පිරිනමන බව කීහ. එවිට බුදුරදුන් මෙසේ වදාරති. “භික්‍ෂූන් විසින් ගිහි ජනයාගෙන් එසේ ගරු සම්මාන සහ පුද සත්කාර නොපැතිය යුතු ය. දෙව්දත් සම්බන්ධයෙන් එවන් ගරු සැලකිලි හා උපස්ථාන ඔහුගේ ආගමික ජීවන චරියාවේ ගරුත්වය පිරිහීමට හේතු වනු ඇත.”

බුදුන් වහන්සේ තවදුරටත්, දෙව්දතුන්ගේ ඒ ලෞකික ලාභ ප්‍රයෝජන උණ, බට, කෙසෙල් පීදෙන්නාක් සේත්, වෙළඹුන් ගැබ් ගන්නාක් සේත්, ඔහුගේ ම විනාශයට හේතු වන බව භික්‍ෂූනට පැහැදිලි කළහ. දෙව්දත් අජාසත්ගෙන් භෞතික ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටියදී, ඔහුගේ සිත තුළ භික්‍ෂූන්ගේ පාලනය තමා වෙත පවරා ගතහොත් මැනවයි අදහසක් පැන නැඟිණ. ඒ සිතිවිල්ල ජනිත වත් ම, ඔහුගේ භෞතික සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව සපුරා බිඳ වැටිණ. එහෙත් ඔහු ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමී ද, ගර්විත ද, මහේච්ඡ ද වූයෙන් ඒවා වඩාත් ස්ථාවර විය.

ඉක්බිති බුදුන් වහන්සේ රජුන් හා කුමාරවරුන් ඇතුළු විශාල පිරිසකට ධර්මදේශනා කරමින් සිටියදී, දෙව්දත් ද ඇහුම්කන් දී සිට මඳ වේලාවකින් නැඟිට ගත්තේ ය. අනතුරු ව චීවරය එක් උරස් කොට, දෑත් එක් කර සිට බුදුරදුන් අමතා මෙසේ කීය. “ස්වාමීනි, දැන් ඔබවහන්සේ ගෙවී ගිය වයස් ඇති සේක. සපුරා මහලු ය, වැඩිමනත් දුබල ය. දැන් ඔබවහන්සේ වෙහෙසෙනු නොයෙදේ. විවේක සුව විඳිනු යෙහෙකි. මෙතෙක් කරන ලද සේවාවේ පල නෙලා ගනු මැනවි. භික්‍ෂු සංඝයා මට පවරා දෙනු යෙහෙක. මම ඔවුන් රැක බලා ගනිමි.” එවිට බුදුරදුන් මෙසේ කියති.

“නැත දේවදත්ත, එසේ කරන්නට වුවමනා නැත. සංඝ පාලනයේ වගකීම පවරා ගන්නට නොසිතන්න.” දෙව්දත් පුනපුනා ප්‍රකාශ කරමින් තුන් වැනි වරටත් ඉල්ලා සිටියේ ය. එවිට බුදුරදුන් මෙසේ වදාරති. “දේවදත්තයෙනි, මම සැරියුත් මුගලන් දෙනමට වත් සංඝ පාලනය පවරා නොදෙමි. ඉතින් ඔබ වැනි නොහික්මුණු කෙනෙකුට සංඝ පාලනය පවරා දෙන්නේ කෙසේද? “බුදුන් වහන්සේට වෛර කරන්නට සහ උන්වහන්සේගෙන් පළිගන්නට එදා දේවදත්ත මුල පිරුවේ එසේ ය. දේවදත්ත සමූහයා කෙරෙන් ඉවත්ව ගිය පසු, බුදුරදුන් දේවදත්ත පෙර සේ නොව දැන් අමුතු පුද්ගලයකුව සිටින බවත්, සංඝයා විසින් ඔහු වර්ජනය කර නෙරපා හැරිය යුතු බවත් වදාළහ. බුදුන් වහන්සේ විසින් වෙසෙසින් ඒ කාරිය සැරියුත් හිමියනට පවරන ලදී.

එවිට සැරියුත් හිමියෝ, තමා කලින් දේවදත්ත ගරු කටයුතු භික්‍ෂුවක ලෙස සැලකූ නිසාත්, රජගහ නුවරදී ඔහුගේ සෘද්ධි ප්‍රාතිහාර්යයන් අගය කර ඇති හෙයිනුත්, දැන් ඔහු වර්ජනය කිරීම අපහසු බව ප්‍රකාශ කළහ. එවිට බුදුරදුන් මෙසේ වදාරති. “එදා ඔබ දෙව්දත් අගය කරන විට ඔහුගේ හැසිරීම සදාචාර සම්පන්න වූ අතර පැසසුම් කටයුතු ද විය. ඒත් දැන් ඔහු සිය හැසිරීමේලා නොහික්මුණු පුද්ගලයෙකි. ඔහු වර්ජනය කිරීමට සුදුසු වන්නේ ඒ නිසයි.”

ඉක්බිති ඒ අනුව සැරියුත් හිමියෝ රජගහ නුවර දී දෙව්දත් තෙරුන් නෙරපීම ප්‍රකාශයට පත් කළහ. කිසිත් විශ්වාසයක් තැබිය නොහැකි ඇතැම් පෘථග්ජනයා දේවදත්තට ලැබෙන සත්කාර සම්මාන කෙරෙහි ද්වේෂයෙන් ශාක්‍යයන් ඔහු වර්ජනය කරතියි චෝදනා කරන්නට වන්හ. එහෙත් සැදැහැවත්, බුද්ධිමත් ජනයා, බුදුන් වහන්සේගේ නියමය පරිදි, දේවදත්ත වර්ජනය කරනු ලබන්නට තරම් ඔහුගේ වරද බෙහෙවින් බරපතළ විය හැකි යයි කියා සිටියෝ ය. ඉක්බිති දේවදත්ත, අජාසත්ත හමු වන්නට ගොස්, කලින් පරපුරේ අය බොහෝ ආයු වළඳන අතර වර්තමාන පරපුරේ අය වැඩි කලක් ජීවත් නොවිය හැකි හෙයින්, කලින් පියා මරා රජ වුණොත් මිස, රජකම නොලබා කුමාරයකු ලෙස ම සිට මියැදෙන්නට සිදුවනු ඇතැයි කීය. තව දුරටත් තමා බුදුරදුන් මරා සංඝ පාලනය ලබා ගන්නා අතර, අජාසත්ට පියා මරා මගධයේ රජ බවට පත්ව පාලනය ලබා ගන්නා ලෙස කියා සිටියේ ය. මෙසේ දේවදත්ත විසින් පොළඹවනු ලැබූ අජාසත්ත පියා මරන්නට මානම් බලන්නට වන.

ඒ අනුව දිනක් අජාසත්ත සිය කලවයේ කිනිස්සක් බැඳගෙන පිය රජුගේ ඇතුළු ගබට පිවිසියේ ය. ඒ අතර ඔහුගේ සැක කටයුතු හැසිරීම කෙරෙහි අවධානය යොමු කළ රාජකීය ඇතුළු ගබ ආරක්‍ෂකයෝ අජාසත්ත අත්අඩංගුවට ගත්හ. ඒ අතර ඇතැම් නිලධරයෝ අජාසත්ත, දේවදත්ත සහ සියලු සංඝයාත් මරා දැමිය යුතු බවට යෝජනා කළහ. එහෙත් එය අනුමත නොකළාහු කිසිවකුත් නොමරා අජාසත්ත පමණක් රජු වෙත ඉදිරිපත් කළ යුතු යැයි යෝජනා කළහ. එසේ ආරක්‍ෂකයන් විසින් අජාසත්ත පියරජු වෙත ඉදිරිපත් කරනු ලැබිණ. හෙතෙම සියලු තතු නොසඟවා පියරජුට පැහැදිලි කළේ ය. එයට ඇහුම්කන් දුන් රජ තෙමේ, පුතුගේ පැතුම පරිදි රාජ්‍යය ඔහුට පවරා දුන්නේ ය. ඉක්බිති අජාසත්ත වෙත ගිය දේවදත්ත, බුදුරදුන් මරන්නට අණ දෙන ලෙස ඉල්ලා සිටියේ ය. අජාසත්ත ද එසේම අණ කළේ ය.

එහෙත් එසේ අණ ලද සෙබළා බුදුන් වහන්සේ දුටු මතින් තැති ගත්තේ අන්ද මන්ද විය. ඔහු බුදුරදුන් මරනු වෙනුවට තමාට සමාව දෙන ලෙස බුදුරදුන් යැදී ය. වරක් දෙව්දත් තෙමේ ම බුදුන් වහන්සේ ගිජුකුළු පව්ව අසල සක්මනේ යෙදී සිටියදී ලොකු ගලක් උන්වහන්සේ මතට පෙරළා එවී ය. එහිදී පෙරළෙමින් එන ගල වෙනත් ගලක හැපීමෙන් ගැලවී ගිය පතුරක් බුදුපතුලේ ගැටී තුවාල වීමෙන් ලෙයත් සෙලවිණ. විටෙක දේවදත්ත, බුදුරදුන්ගෙන් අනුමතයක් නොලැබෙන බව නියත විසින් දැන දැනත්, සාවද්‍ය හේතු දක්වා උන්වහන්සේ හෙළා දකිනු පිණිස සහ එමඟින් පෘථග් ජනයාගේ සිත් දිනා ගනු පිණිසත් භික්‍ෂූන් විෂයයෙහි පහත දැක්වෙන පැවතුම් පනවන්නට ඉල්ලා සිටියේ ය. එනම්, භික්‍ෂූන් දිවි හිමියෙන් අරණ්‍යක ද, පිණ්ඩපාතික ද, පාංසුකූ®ලික ද, වෘක්ෂමූල සේනාසනික ද, මත්ස්‍ය මාංශයෙන් වැළකීම ද යනු යි. එහෙත් විය යුතු ලෙසින් ම බුදුන් වහන්සේ විසින් ඒවා ප්‍රතික්‍ෂේප කැරිණ.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කැමති කෙනෙකු ඒ පිළිවෙත් අනුගමනය කළාට කාරියක් නැති බව සහ නමුත් ඒවා අනිවාර්ය නොවිය යුතු බවයි. බුදුන් වහන්සේගේ පිළිවෙත වූයේ භික්‍ෂු ජීවිතය සරල සහ සැහැල්ලු වන අතර දැඩි නීතිරීති මඟින් නොහික්මවිය යුත්තක් වන බවයි. ගැටලු විසඳා ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතකින් බව උන්වහන්සේගේ පිළිගැනීමයි. ශ්‍රද්ධා සම්පන්න හා ධාර්මික පැවැත්ම විෂයයෙහි මහා කස්සප හිමියෝ අසාමාන්‍ය කීර්තියක් අත්කර ගෙන සිටියෝ ය. උන්වහන්සේ සිය ජීවිතයේ වැඩි කලක් ගත කළේ හුදකලාව ය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන් වැඩිතරයෙන් කල් ගෙවූයේ එතරම් ප්‍රසිද්ධ නොවූ ජන වියුක්ත පෙදෙසක ය. ඇතැම් භික්‍ෂුහු බුදුන් වහන්සේ හැරුණු විට ජ්‍යෙෂ්ඨතමයා වූ කොණ්ඩඤ්ඤ හිමියනට තනතුරු නොදීම ගැන බුදුරදුන්ට චෝදනා කළහ.

වරක් කස්සප හිමියෝ තරුණ භික්‍ෂූන් ඇසුරු කිරීම විෂයයෙහි බුද්ධෝපස්ථායක ආනන්ද හිමියනට චෝදනා එල්ල කළහ. තරුණ භික්‍ෂූන් ඇසුර ආධ්‍යාත්මික හෝ බ්‍රහ්මචරියක පිළිවෙතට අනතුරුදායක වෙති යි කස්සප හිමියන් විසින් සැලකිණ. මහා කස්සප හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂූන් දෙදෙනකුගෙන් එක් කෙනෙක් වැඩිහිටි භික්‍ෂුවකගේ පිරිකර විනාශ කර, රජගහ නුවර අසල ආරාමයට ගිනි තැබී ය. එයට හේතුව වූයේ මහා කස්සප හිමියන් එකී ශිෂ්‍ය භික්‍ෂුවට සිය සාවද්‍ය පැවතුම් නිරවද්‍ය කර ගන්නා සේ අනුශාසනා කිරීම යි. එකල්හි ඒ භික්‍ෂුව සිය ගුරුවරයාට එරෙහි නොමනාපයක් පාන්නට පටන් ගත්තේ ය. ඉක්බිති අරණ්‍යගතවූ කස්පස හිමියෝ පිප්ඵලි ගුහා නම් ගල්ලෙනක් තුළ හුදකලා දිවියක් ගත කළහ. බුදුරදුන්ට අන්තොටු පිරිවැජියන්ගෙන් නොයෙක් විරෝධතා එල්ල වන්නට විය. ඇතැමෙක් නොයෙක් අභියෝග එල්ල කළහ. ඇතැමෙක් උන්වහන්සේ තරයේ විවේචනය කළහ. විකෘති මතවාද ඉදිරිපත් කරති යි චෝදනා නැඟිණ. සාවද්‍ය ඉගැන්වීම් කරති යි ප්‍රචාරය කැරිණ. බෞද්ධ සමාජයේ වේගවත් වර්ධනයත් සමඟ ඇතැම් පිරිවැජියන්ගේ වෛරය ද බහුගුණ විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ බුදුරදුන්ට එරෙහි නොයෙක් කුමන්ත්‍රණ දියත් වන්නට පටන් ගැනීම යි. බුද්ධත්වයෙන් විසි වසක් ගිය තැන බුදුන් වහන්සේ සැවැත් නුවර සිටියදී විරුද්ධවාදීහු උන්වහන්සේ අපකීර්තියට ලක් කරන්නට සුන්දරී නම් තරුණියක යොදා ගත්හ.

ඕ තොමෝ දූෂිත චරිතයක් ඇත්තියකි. ඔවුහු බුද්ධ චරිතයත්, බුද්ධ කීර්තියත් කෙලෙසෙන පරිදි ක්‍රියා කරන්නට සුන්දරී මෙහෙයවූහ. ඒ අනුව ඕ තොමෝ දිනපතා සවස් යාමයේ ජේතවනාරාමයට යන්නට පටන් ගත්තා ය. මෙසේ ටික දිනක් ගිය තැන ඝාතනය කරනු ලැබූ සුන්දරී පරවූ මල් ගොඩක් යට වළදමනු ලැබුවා ය. ඉක්බිති විරුද්ධවාදීහු සුන්දරී අතුරුදන්ව ඇතැයි රජුට පැමිණිලි කළහ. එහිලා පරීක්‍ෂණයක් පවත්වන ලෙස රජුගෙන් අණ ලැබිණ. එහිදී ලත් තොරතුරු අනුව ජේතවනාරාම භූමිය පුරා සොයා බැලීම් කැරිණ. ඉක්බිති සුන්දරීගේ මළසිරුර සොයා ගැනිණ. එහෙත් බුදුනට හෝ බුදුසවුවනට චෝදනා කරන්නට කිසිවකුට හැකි වූයේ නැත. බුදුන් වහන්සේගේ පන්සාළිස් වසක සේවාව අටලෝදහමේ කොන්දේසි වලට සපුරා මුහුණ දීමකි. කෙසේද යත්,

ලාභෝ අලාභෝ අයාසො යසෝ ච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං
එතේ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිණාම ධම්මා”

“ලාභ, අලාභ, අයස, යස, නින්දා, පැසසුම්, සැප දුක් නම් වූ මිනිසුන් අතර පවතින මේ ධර්මයෝ අනිත්‍යයහ, අශාස්වත ය. එනම් සදාකාලික නොවේ. ඒවා ක්ෂණ භංගූර හෙවත් වහවහා වෙනස් වන සුළු ය. අපි සියල්ලෝ අනිවාර්යයෙන් මේ ලෞකික කොන්දේසි වලට මුහුණ දිය යුත්තෙමු. එබැවින් අපි ඉවසිලිමත් ද, යෝනිසෝ මනසිකාරයෙන් හෙවත් සිහි නුවණින් සජ්ජිත ද විය යුත්තම්හ. අපි බෞද්ධයෝ වෙමු නම්, අපේ ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්නේ කෙසේදැයි උගත යුත්තෙමු. අප සිහි නුවණින් යුක්ත වෙමු, අධිෂ්ඨානවත් වෙමු, කැප වෙමු.

2009.09.18 සහ 2009.09.26 දෙදින බුදුසරණ පුවත් පතේ පළ කරන ලද ලන්ඩනයේ, බර්මින්හැම්හි, ආචාර්ය හාන්දුපැල්පොළ මහින්ද හිමියන්ගේ  Challenges Confronted by The Buddha ලිපියේ පරිවර්තනයකි.

බක් පුර පසළොස්වක

බක් පුර පසළොස්වක පෝය මාර්තු 29 වන දා සඳුදා පූර්ව භාග 11.04 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්ව භාග 07.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 29 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 06 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk