UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
budusarana@lakehouse.lk

පරිසරය රැක ගැනීමට නම්...

සෑම ජීවියකු ගේ ම පැවැත්ම පරිසරයේ සමතුලිතතාව මත රඳා පවතී. මෙහි දී පරිසරය යනුවෙන් අදහස් කැරෙනුයේ පොළොව, ජලය හා වාතය යන සාධක පමණක් නො ව මිනිසා විසින් නිර්මාණය කරන ලද සමාජ පරිසරය ද ඇතුළත් සමස්ත විශ්වය ට ය. එ බැවින් පරිසරය රැක ගැනීමේ වැඩි වගකීම මිනිසා වෙත පැවැරී තිබේ. එහෙත් විසි එක් වන සියවසෙහි ජීවත් වන ඊනියා දියුණු මිනිසා එම වගකීම නිසි පරිදි ඉටු කැර නොමැත. මේ නිසා මිනිසා ගේ ක්‍රියාකාරකම් මඟින් දූෂිත වී ඇති පරිසරය නමැති සාධකය අද වන විට මානව සංහතියේ පැවැත්මට එල්ල වූ බරපතළ තර්ජනයකි.

මේ තත්ත්වය උදාවූයේ කෙසේද? රතු ඉන්දියානු නායක සියටල් විසින් ඇමෙරිකාවේ ජනාධිපති ෆ්‍රැන්ක්ලීන් පියර්ස් (1853 -1857 දක්වා බලයේ සිටි) වෙත ලියූ ලිපියෙන් ඊට පිළිතුරු ලැබේ.

“අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලය ද අප ගේ ම කොටසක් වන්නේ ය. සුගන්ධවත් පුෂ්පයෝ අපේ සොහොයුරියෝ ය. පිනිමුවා, අශ්වයා , මහ රාජාලියා ආදි මේ සියල්ලෝ ම අප ගේ සහෝදරයෝ වෙති. ඔබේ මිනිසුන් තම මවටත්, සහෝදරයාටත්, මහ පොළොවටත් , අහස් තලයටත් සලකන්නේ මිලට ගත හැකි, කොල්ලකෑමට හැකි හෝ විකිණීමට හැකි බැටළුවන් හෝ දීප්තිමත් පබළු වැනි දෑ ලෙසිනි. ඔවුන් ගේ කෑදරකම් විසින් මේ භූමියේ සාරය උරා බොනු ලැබීමෙන් පසු ඉතිරි වන්නේ හිස් කාන්තාරයක් පමණි.

ජීවිතය නමැති දැල මිනිසා විසින් වියන ලද්දක් නො වේ. ඔහු එහි නූල්පොටක් පමණි. මිනිසා එම දැලට යම් හානියක් කරතොත් ඒ තමාට ම කර ගන්නා උපද්‍රවයකි.”

සියටල් පෙන්වා දුන් මේ සත්‍යය පිළිගැනීමට අකමැති වූ ධවල ආධිපත්‍යය ද බරපතළ පාරිසරික අර්බුදයකට ගොදුරු වී හමාර ය. එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නමැති වත්මන් පාරිසරික අර්බුදය නිසා වඩාත් පීඩාවට පත් ව ඇත්තේ දිළිඳු රටවල් බව රහසක් නො වේ. අප ගේ අසල්වැසි මාලදිවයින් දූපත් සමූහය එ බඳු එක් රටකි. වසර 2100 පමණ වන විට ගෝලීය උණුසුම වැඩි වීම නිසා ආක්ටික් ප්‍රදේශයේ හිම දිය වී මුහුදු මට්ටම ඉහළ ගොස් මාලදිවයින ජලයෙන් යටවනු ඇතැයි පරිසර විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. ගෝලීය උණුසුම වැඩි වීමට බලපාන කාබන් විමෝචනය අඩු කිරීම පිළිබඳ ව ලබන දෙසැම්බරයේ දී පැවැත්වෙන කෝපන්හේගන් පාරිසරික සමුළුවේ අවධානය දිනා ගැනීම සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් අපූරු වැඩ පිළිවෙළක් යෙදී ය. පසුගිය 17 වන දා ඔහු සිය කැබිනට් රැස්වීම අඩි විස්සක් පමණ ගැඹුරු මුහුදේ දී පැවැත්වීම එම අපූරු වැඩ පිළිවෙළ යි. සාගර පත්ලෙහි පැවැති මේ කැබිනට් රැස්වීමට සහභාගි වීම සඳහා ඇමැතිවරුන් 14 දෙනකුට කිමිදුම් පුහුණුවක් පවා ලබා දී තිබිණ.

ලොව පළමුවරට මුහුදු පත්ලෙහි පැවැති මේ අපූරු කැබිනට් රැස්වීම පිළිබඳ ව අන්තර්ජාතික මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණ. එම සිද්ධිය කෙරෙහි අප ගේ අවධානය යොමු වූයේ එය දුලබ සිදුවීමක් නිසා ම නො වේ. අනාගතයේ දී සැබවින් ම මුහුදු පත්ලෙහි කැබිනට් රැස්වීම් පැවැත්වීමට සිදුවන තරම් බරපතළ පාරිසරික අර්බුදයක් අප ඉදිරියේ ඇති බව හා මාලදිවයින මෙන් අප ද ඊට නිසි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කිරීම අප ගේ උත්සාහය යි.

මෙයට දෙවසරකට පෙර අපි මෙහි මෙ සේ සටහන් කළෙමු.

මිහිතලය උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස උත්තර ධ්‍රැවය ආශි‍්‍රත හිම කඳු දිය වී ක්‍රි.ව. 2100 පමණ වන විට සෙ.මී. 18 සිට 88 දක්වා ප්‍රමාණයකින් මුහුදු මට්ටම ඉහළ යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන අනතුරු අඟවා තිබේ. එම අනතුරු ඇඟවීම අනුව ශ්‍රී ලංකාවේ වෙරළ ආශි‍්‍රත ප්‍රදේශ පමණක් නො ව ලන්ඩන් හා නිව්යෝර්ක් වැනි නගර ද මුහුදු ජලයට ගොදුරු විය හැකි ය.

දැඩි අවධානය යොමු වී ඇති මේ කාරණය පිළිබඳ ව පරිසර විශේෂඥයන් රැස් වී 2007 දෙසැම්බර් මස 15 වන දා තෙක් දෙසතියක් පුරා සාකච්ඡා කැර තිබේ. ඉන්දුනීසියාවේ බාලි දූපතේ නූසා ඩුවා නුවර දී පැවැති කාලගුණ විපර්යාස පිළිබඳ එම සමුළුව ලොව සියලු දෙනාට එක සේ වැදගත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වන ලද එම සමුළුවට රටවල් එකසිය අනූවක නියෝජිතයෝ සහභාගි වූ හ. එහෙත් 2009 වසරේ දී මිහිකත උණුසුම් වීම වැළැක්වීමට සම්මත කළ යෝජනාව ඇමරිකාවේ විරෝධය නිසා අර්බුදයට ලක් ව තිබේ.

බාලි සමුළුවේ යෝජනාවෙහි ඇතුළත් හරිතාගාර වායු පරිසරයට නිකුත් කිරීම සීමා කැරෙන වගන්තියෙන් චීනය හා ඉන්දියාව වැනි වේගයෙන් සංවර්ධනය වන රටවලට අසාධාරණයක් විය හැකි බව ඇමරිකාවේ තර්කය යි. එ සේ වුව ද මිහිකත උණුසුම් වීම නිසා මේ සියවස අවසන් වන විට ඇති විය හැකි කාලගුණික විපර්යාසයන් හේතු කොට ගෙන ලොව පුරා වෙසෙන දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිවාස හා ආහාර අහිමිවීම මෙන් ම රෝග පැතිරී යෑමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ පවසති.

අප ගේ අසල්වාසීන් ගේ පමණක් නො ව දුරස්ථ ඥාතීන් ගේ ද අහිතකර හැසිරීම නිසා අපට මුහුණ දීමට සිදුවන මේ අනතුරෙන් මිඳිය හැක්කේ කෙ සේ ද? කියතෝ සම්මුතිය හෝ බාලි සම්මුතිය මඟින් බලවත් රාජ්‍යයන්ට යහපත ඉගැන්විය නො හැකි බව පැහැදිලි කාරණයකි. එ සේ නම් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක් බලවතුන් ගේ අයහපත් හැසිරීම හමුවේ නිහඬ ව පරාජය බාර ගත යුතු ද? මෙහි දී අපට ඇත්තේ එක ම විසැඳුමක් පමණි. මානව දයාවෙන් පිරිපුන් පරිසර හිතකාමී බුදු දහම ලෝකයට රැගෙන යෑම මෙයට ඇති එක ම විසැඳුම ය. බාලි සමුළුව හෝ වෙන යම් කුමන අන්තර්ජාතික සමුළුවක දී වුව ද බුදු දහම සැබෑ විසැඳුමක් බව පෙන්වා දීමට අපට හැකියාව තිබිය යුතු ය.

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 25 වනදා ඉරිදා අපර භාග 4.54 ට ලබයි. 26 වනදා සඳුදා අපර භාග 7.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk