UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
 

ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි. දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක.

මේ එළැඹ ඇත්තේ ශ්‍රීපාද වන්දනා සමයයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේද අති මහත් වූ ගෞරවාදරයට බඳුන් වූ මහා කාරුණික ගෞතම බුදුපියාණන්ගේ සිරිපා පියුම වන්දනා කිරීම සඳහා සැදී පැහැදී සිටින වන්දනාකරුවන් උදෙසා මේ ලිපිය ලිවීමට සිත් පහළ විය.

සමන්ත කූඨය තරණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නා වූ ජනපි‍්‍රයම මාවත වන්නේ හැටන් නගරයේ සිට නල්ලතන්නිය වෙත පැමිණ ඉන් පසු සමනොළ ගිර දක්වා දිවෙන මාර්ගයයි. ඉතා ජනාකීර්ණ මාවතක් වු මෙම මාවත සිරිපා කරුණා කරන ජනතාවගෙන් විශාලම පිරිසක් භාවිතයට ගන්නා වු ඉතා ජනපි‍්‍රයම මාර්ගයයි. නමුත් අතීතයේදි බෞද්ධ ජනතාව විසින් භාවිතා නොකරන ලද්දා වූද ඓතිහාසික කරුණු කාරනා වලින් හීන වූද ඉතා කෘත්‍රිම මාර්ගයක් වන මෙය වසර 1800 සියවසේදී මෙය හැඳීන්වූයේ මහනුවර මාර්ගය ලෙසයි (විලියම් ස්කීන් නම් ඉංගී‍්‍රසි ජාතික සිවිල් නිළධාරියකු විසින් ලියා ඇති ග්‍රන්ථයක් මෙහි සිතියමක් අඩංගුව ඇත) නමුත් වන්දනාකරුවන්ගේ වැඩි පහසුව නිසා මෙය වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි.

සිරිපා කරුණා කිරීම සඳහා භාවිතයට ගනු ලබන්නා වූ තවත් මාවතක් වන්නේ රත්නපුර නගරයේ සිට පලාබද්දල දක්වා ගොස් (පලාබද්දල අතීතයේදී පලාපත්දොල යනුවෙන්ද ව්‍යවහාර කෙරිණ) ගිලිමලේ (ගිලීමලේ යනු කඳු අතර ගිලී ගිය ගමක් නිසා මෙනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය. නුවර යුගයේදී රජවාසල සඳහා පුවක් සැපයූ ගමයි) හරහා වැටී ඇති ඉතා ඓතිහාසික වටිනාකමකින් අනූන වූ පැරණි රජදරුවන් පවා භාවිතයට ගනු ලැබූූ මාවතකි. (මේ මාර්ගයට රජ මාවත යනුවෙන්ද ව්‍යවහාර කෙරේ රජවරුන් මේ මාර්ගයේ සිරිපා පියුම කරුණා කළ නිසා එනම පටබැඳුනු බව ජනප්‍රවාදයේ සඳහන්ය) ඒ මාර්ගයේ ගමන් කරන ඔබට දැක ගන්නට ලැබෙන්නා වූ ඓතිහාසික ස්ථාන මින් පසු විස්තර කෙරේ.

මුලින්ම ඔබට ලිහිණි හෙල නම් වූ ස්ථානයක් මුණ ගැසේ. අතීතයේදී ලිහිණිනම් කාන්තාවක් මේ හෙලෙන් පහලට වැටී ඇති බවත් ඇය සිහිකරනු වස් මෙ නම පට බැඳී ඇති බව ජනප්‍රවාදෙයේ සඳහන්ය. අදටත් සිරිපා කරුණා කරන වන්දනාකරුවන් ‘ලිහිණි අක්කේ අපි යනවා’ යනුවෙන් හෙල දෙසට කෑ ගසා ඇය සිහි කරන බව දක්නට ඇත. ලිහිණි හෙල අසල ඉතා පැරණි අම්බලමක් (අද මෙය දක්නට නැත. ගොඩනැගිල්ලක අත්තිවාරම පමණක් ඇත) ඇත. එය ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා විසින් සාදන ලද්දක් බවද සඳහන් වේ. (අදටත් එය හඳුන්වන්නේ නෝනගේ අම්බලම යනුවෙනි) මනරම් වූ පරිසර පද්ධතීන් ගෙන් අනූන වූ මාර්ගයක් වන මෙය හැටන් පාරේ ඇති කෘත්‍රිම භාවය දක්නට නොමැත.

ඉන් පසු ඔබට දිය බෙත්මද ගෙත්තම් පානද වේ. රත්නපුර පාරේ ගෙත්තම් පාන පිළිබඳ ඓතිහාසික කරුණු රැසක් සඳහන් වේ. එනම් සුමන සමන් දේවාරාධනයෙන් සමන්ත කූඨය මත සිරිපා සළකුණ සටහන් කිරීම උදෙසා වැඩම කළ අප බුදුපියාණන් වහන්සේ මාර්ගයේ තිබුණ දුෂ්කරතාවය නිසා උන්වහන්සේගේ සිවුර ඉරීගිය මොහොතේ කටුවක ආධාරයෙන් එය පිළිසකර කරගත් ස්ථානයයි. (අද ද වන්දනාකරුවන් එම කරුණ සිහි කරමින් මුලින්ම සිරිපා කරුණා කරන (කෝඩු ) අය ලවා ඉදිකටුවක පටලවා ගත් නූලක් ගෙත්තමක ආකාරයෙන් එහි රඳවා තබයි) ඉන් පසු ධර්මරාජ ගලත් හැරමිට පානත් (හැරමිටි පාන යනු බුදුරදුන් සමන්ථකූඨය තරණය කරන අවස්ථාවේදී එම ස්ථානයේදී හැරමිටියක ආධාරයෙන් ගමන් ගත් බැවින් මෙ නම පටබැඳුන බව ජනප්‍රවාදයේ සඳහන්ය) හැර මිටි පානේදී ඔබට විශාල ප්‍රමාණයේ අම්බලම් කීපයක් මුණ ගැසේ. ඒවායෙහි නැවතී ගිමන් නිවාගෙන ඉදිරියට කරුණා කිරීමට පුළුවන. (හැරමිටිපානට සමන්ථකූඨය ඉතා ශෝභමානව දිස් වේ. රාත්‍රියට මෙය සිත පිනවන දසුනකි)

ඉන් පසු ආඬියාවලතැන්න ස්ථානය මුණ ගැසේ. කෝට්ටේ යුගයේදි රජකල පළමුවැනි රාජසිංහ රජු විසින් ශ්‍රීපාදස්ථානය ආඬීන්ට පවරා තිබූ යුගයේදී මිය ගිය ආඬිගුරුන් කෙනෙකු සිහිවීම පිණිස මෙම නම භාවිතා කරන බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ඒ ස්ථානයට සිරිපා අඩවියේ ඇති ශෝභාව උපරිමාකායෙන් අත්විදිය හැකිය. බාන සමනොළ (සමහර උදවිය මෙයට බෑන සමනල ලෙසද භාවිතා කෙරේ) කන්දත් නුවරවිළ කන්දත් කුණුදිය පර්වතයත් දැක ගත හැකිය.

මින් පසු එළැඹෙන්නේ ගමනේ අති දුෂ්කර වූ ස්ථානයන්ය. ඇහැළ කරනුව (අතීතයේදී වන්දනාකරුවන් මේ ස්ථානයේදි සුදු පිරුවට ඇද සිරිපා කරුණා කිරීම සඳහා පේ උන බව සඳහන් වේ) මහ ගිරිදඹ (හැටන් පාරේ හමුවන ස්ථානය ඉතා පහසුවෙන් තරණය කිරීමට පහසුවෙන් රත්නපුර පාරේ ඇති ස්ථානය ඉතා වෙහෙස කර ස්ථානයකි. නමුත් සුමන සමන් දෙවියන්ගේ ගුණ සිහිකරමින් උන් වහන්සේගේ කරුණාව යදිමින් වන්දනාකරුවන් මෙම ස්ථානය පසු කරයි. (දඹය නගින අවස්ථාවේදී මහ මළුව ඉතා මනරම් දිස්වේ. හැටන් පාරේ එන වන්දනාකරුවන්ට මෙම අත්දැකීම අත්විදීමට අවස්ථාවක් නැත. මන්දයත් ඔවුන් මළුවට පිවිසෙන්නේ පිටුපසින් බැවින්) හැටන් පාරේ සමනොළ ගිර එතරම් ශෝභමාන බවක් නොවූවද රත්නපුර පාරේ මෙම ස්ථානයේදී පර්වත රාජයා අති මනරම් අයුරින් දිස්වේ. ඉන් පසු මහ මළුවටද සමන් දේවාලයටද, සොලොස් මහෙ පහනටද ගමන් කළ හැකිය.ශ්‍රී පාද කරුණා කිරීම සඳහා තවත් ජනපි‍්‍රය නොවු මාවතක් ඇත. එය නම් කුරුවිට නගරයේ සිට එරත්න බලා පැමිණ ඉන්පසු ශ්‍රීපාද අඩවිය හරහා ගමන් කරන්නා වූ ඉතා ශෝභමාන පරිසරයකින් අනූන වූ කුඩා දිය ඇලි රාශියකින් ගහන නෙක නෙක තුරුලතාවලින් සෙවන දෙන්නා වූ මාර්ගයකි.

දිගටම ඇවිද යන විට පරිසරයේ විචිත්‍රවත් බව අත්විඳීය හැක. එකකට එකක් උස් වු කඳුපන්තින්ගේ ඇති රසය අත්විඳිමින් ගලා හැලෙන්නා වූ දිය දහරාවන්ගේ හඬට සවන් දෙමින් (යම් අවස්ථාවලදි වන සතුන් නැරඹීමටද හැකි බවත් එය ඉතා විරල අවස්ථාවක) ඔබට ගමන් කළ හැක. ඉන් පසු පිවිසෙන්නේ වර්ණගල නම් ස්ථානයටයි. මේ ස්ථානයේදී වර්ණගල කඳුවැටියත් (වර්ණග කඳුවැටිය සමනලගිරට නමස්කාර කරමින් එදෙසට නැමී ඇති කඳුවැටියක් බව ජනප්‍රවාදයේ සඳහන්ය.) අතිඅලංකාර වර්ණගල දිය ඇල්ලත් දැක ගත හැකිය.

මෙම මාර්ගය භාවිතා කරනු ලබන්නාවු වන්දනාකරුවන් විසින් ගෙන නොයා යුතු දෙය වන්නේ පානීය ජලයයි. ඔබට ඇවැසි තරම් පිරිසුදු පානීය ජලය එහි ඇත. ඔබ විසින් ගෙන යා යුත්තේ එම ජලය පුරවා ගැනීමට ඇවැසි බඳුන් පමණි. පරිසරයේ ඇති චමත්කාර ජනක අසිරිය විඳ ගනිමින් සමහර අවස්ථාවල කන්ද නගිමින්ද යම් අවස්ථාවන් වල තැන්න පසු කරමින්ද යන නිසා ගතට දැනෙන විඩාව අඩුවේ. එනමුත් ගමන් කිරීමට අපහසු ස්ථාන නැත්තේ ද නොවේ. නමුත් එම ස්ථානයක් පසු කිරීමේදි ඉතා ප්‍රවේශමත් ගමන් කළ යුතුය. ඉතා ළගින් වෙළෙඳ සැලක් පිහිටා නැති බැවින් අවශ්‍ය ආහාරපාන ගෙන යන්නේ නම් මැනවි. පසුව මෙම මාර්ග මා කලින් සඳහන් කළ රත්නපුර පලාබද්දල මාර්ගයට සම්බන්ධ වේ. (හැරමිටිපාන නම් ස්ථානයේදී ) එරත්න සිටම මෙහි විදුලි ආලෝකය සපයා ඇති අතර දැනට භාවිතා කරනු ලබන්නා වූ මාවත් අතර දීර්ඝම මාර්ගය මෙයයි.

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk