UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දිවි මඟ නිරවුල් කරන සත්‍යයේ සිතුම් පිළිවෙත

කෘෂිකාර්මික සුශීක්ෂිත බොදු ජන ජීවිතය බොල් ආකල්පවලට යට වී වාණිජ ආර්ථික රටාවකට පරිවර්තනය වී තිබේ. එය රටේ ජනතාවගේ සාරධර්මවල සෝදා පාළුවට ප්‍රබල හේතුවක් වී තිබේ. නූතන වගා යන්ත්‍ර භාවිතා කිරීමේ වරදක් නැත. එහෙත්, බත, අපේ ප්‍රධාන ආහාරය යි. ආහාර නිෂ්පාදන කටයුතු ගරු සරු ඇතිව සැලකිල්ලෙන් ඉටු කිරීම , සත් චාරිත්‍ර ධර්මයකි.

සිංහල ජාතික ඇතැම් බොදුනුවන් විවිධ ආගමික සංකල්පවලින් පෝෂණය ලබන හෙයින් සිය යථාර්ථ වාදී විය යුතු ගමන්මඟ වත් පිළිවෙත්, වැඳුම් පිදුම් සමූහයකින් පමණක් ආවරණය කරගෙන තිබීම, අනුකම්පාව දනවන සුලු ය. බුද්ධි ගෝචර විය යුතු සත්‍යය සොයා යෑමේ මාවත, භක්තිය , විශ්වාසය, ඇදහීම් වලින් වරදවාගෙන , එයින් විමුක්තිය ලද හැකි වේ ය යන ආකල්පයකින් කටයුතු කිරීම ද අනුකම්පා කටයුතුය. මානව වර්ගයා දුක කරා ගමන් කරවන තෘෂ්ණාව නම් වූ විනාශ දායක පිපාසය සංසිඳුවීමට මේ කිසිවක් සමත් වේ ද? බුද්ධ ධර්මයේ අවබෝධ මාර්ගය රැඳී තිබෙන්නේ විද්‍යා, ආගම් හෝ අනෙකුත් දර්ශන වාද ගමන් කරන පිළිවෙළෙහි නොවෙයි. දූෂිත මිනිසුන් අතර සම්බුදුරදුන් නම් වූ පද්මය පහළ වන්නා සේ, ලෝකයේ විවිධ සංකල්ප විද්‍යා මති මතාන්තර අතර ප්‍රඥාව නම් වූ උත්තරීතර ඥාන සම්පත්තිය ද පහළ වෙයි . එහෙත් ඒ කිසිවකින් ථේරවාදී පිවිතුරු බුදු දහමට කිසි හානියක් සිදු නොවේ. බුදු දහම අන් කිසි ඉගැන්වීම් ක්‍රමයකට වඩා මිනිස් සිතුවිලි ගොඩනැගී ඇති මූලික පදනම වෙත ගමන්කර ඒ පිළිබඳ සනාතන ධර්මතාව හෙළි කරයි.

අප දැනගත යුතු දේ කවර තැනකින් පටන් ගන්නේ ද යන්න ගැටලුවක් නොවේ. පංච ශීලයේ එන ශික්‍ෂා පද පුද්ගලයන් වෙතින් ආරක්‍ෂා වන්නේ කවර පරමාර්ථයක මුදුන් පමුණුවා ගැනීමට ද යන්න විමසීම වැදගත් ය. බොහෝ දෙනෙක් පංච ශීලයෙහි පිහිටා සිටීමට වෙර දරනුයේ දැඩි ආයාසයකින් නම්, ඊට හේතුව කිසියම් භීතියකි. පාප කර්ම වල නියැළීමෙන් නිරා දුකට පත් වීමට නම්, එය ආත්ම වංචනයකි. අසද්ධර්මය කෙරෙහි ඇති පිළිකුළ හා එය මගින් පීඩා ලබන පුද්ගලයා කෙරෙහි අනුකම්පාව ඇති නිසාම අකුසල් නොකෙරයි නම් එය ධර්මානුකූල පිළිවෙතයි. නොඑසේව නිරා දුක කෙසේ වෙතත් සමාජයෙන් ලැබිය හැකි නිග්‍රහයෙන් හෝ මිදීමේ සහ පරාලොව දිව්‍ය සම්පත් පිළිබඳ ආශාව මුදුන් පමුණුවා ගැනීමේ අපේක්‍ෂා ඇත්තවුන් තුළ ශීලයක් පිහිටීමට අවකාශයක් නැත.

එසේ අවබෝධය පදනම් කර ගෙන පස් පවින් වැළකෙයි නම්, එය යථා පරිද්දෙන්ම ශීලයෙහි පිහිටීමක් වන්නේය. ආරෝපණය හා සත්‍යාවබෝධය අතර ඇත්තේ පුළුල් පරතරයකි. බුද්ධ දේශනාව පරිදි යම් කෙනෙකු තුළ පංච ශීලය රැකීමෙන් චෛතසික කෞශල්‍යය (කුසලය) වැඩෙන්නේ, බාහිර බලපෑමකින් තොරව චිත්ත අභ්‍යන්තරයෙන්ම ජනිත වන හැඟීමෙන් සිල් රැකීමෙනි. චිත්ත කෞශල්‍යය යනු සිතෙහි අනුකම්පාව , කරුණාව , ක්‍ෂාන්තිය යන උතුම් ගුණ වර්ධනය වීම ය.

මල් පහන් පිදීම ආහාර දැහැත්, ගිලන්පස ආදිය බුදුරදුන්ට පූජා කිරීම තුළින් සැදැහැවතුන් ලබන්නේ අවිහිංසක පී‍්‍රති ප්‍රමෝදයකි. ශ්‍රද්ධාව, භක්තිය, ගෞරවය එකී වන්දනාමාන වල මූලික පදනම වේ. එහි දී දෙව්ලොව සැපත පැතීමට වඩා ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ නිවන් සුව ළඟා කර ගැනීම ය. එය එක්තරා ආකාරයක භාවනාවක්ද වන්නේ ය. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ බොහෝ දෙනෙකු පුජනීය ස්ථානය වෙත යන්නේ බුදුරදුන් පිදීමට වඩා දෙවියන් උදෙසා බාර හාර විම් හා දේව පූජා පැවැත්වීමට ය. පරලොව සුගතියට වඩා ප්‍රමුඛ බලාපොරොත්තුව වන්නේ ලෞකික සැප උදා කර ගැනීම ය. පූජනීය ස්ථාන වෙත තෙල් මල් ගෙන ඒමට වඩා ඔවුන් උනන්දු වන්නේ හොඳ පළතුරු , කැවිලි ආදියෙන් යුතු පුජා වට්ටිය සැකසීමට අවශ්‍ය දේ රැගෙන ඒමටය. ජීවිතය බියෙන් හා සැකයෙන් යුතුව ගත කරන පුද්ගලයන්ගේ ක්‍රියා පිළිවෙළ එයයි. බිය හා සැකය උපදින තමාගේ් ක්‍රියා පිළිවෙල හා සිතිවිලි වල යම් වරදක් තිබෙන බැවිනි. සිතට එකඟව කරන දේ හා ආත්ම වංචනය අතර වෙනසක් තිබේ. බිය උපදනේ වැරැදි කරන පුද්ගල තුළ ය. බෝධි වන්දනය ද හුදෙක් අපල උපද්‍රව වලින් ආරක්‍ෂා වීමේ අදහස කරා පුර්ණ වශයෙන් යොමු වී ඇති ආකාරය කනගාටුදායකය. දැන් බෝධි පූජා පැවැත්වීම් බහුලය. බෝධි වෘක්‍ෂයට එනම ලැබී තිබෙන්නේ සිද්ධාර්ථ ගෞතම තවුසාණන්ට සම්බෝධි ඥානය (බුදුබව) ලබා ගැනීමට. සෙවණ සැලසීමෙන් උපකාර වූ හෙයිනි. බෝධිය තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්තුවකි. ඒවාට වන්දනාමානයෙන් බුහුමන් දක්වන්නේ ශ්‍රද්ධාව හා භක්තිය පුද කරනු සඳහා ය. අසහාය ප්‍රඥා සම්පත්තියකින් අනූන වු එබඳු උත්තමයෙකු පිදීමෙන් අපට ද සත්‍යවබෝධයේ මං පෙත් විවර කර ගැනීමට භාග්‍යය හිමිවේවා යන සිතිවිල්ල ද බෝධි පුජාව අභ්‍යන්තරයෙහි ගැබ් විය යුතුය. එහෙත් එබඳු බුද්ධිමත් අදහසකින් බැහැර ව හුදු ලෞකික වශයෙන් ලබා ගැනීමට අපේක්‍ෂා කරන දේ පමණක් බලාපොරොත්තු වන තරමට සිංහල බෞද්ධ පින්වතුන් අනුවණයන් වූයේ කවර නම් අභාග්‍යයක් නිසා ද යන්න විමසිය යුතුය. කෙසේ වෙතත් බෝධි පුජාව දේව පූජාවක ස්වරූපය නම් ගෙන තිබේ.

පූජනීය ස්ථානය ලෞකික පී‍්‍රති ප්‍රමෝදයකින් පසුවන සැණකෙළි භූමියක ස්වරූපයෙන් යුතු තැනක් බවට පත්වී ඇති නිදසුනක් ලෙස පින්කම්පොළ දැක්විය හැකිය. නෙත් සිත් වශී කරවන රෙදි පිළි වලින් සැරසී උසුළු විසුළු පාමින් අසංවර ලෙස ඔබ මොබ සැරිසරන මානවක මානවිකාවන්ගෙන් ද, සල් පිල් වලින් ද සමන්විත වූ පින්කම් පොළ වනාහි වත්මන් කානිවල් පළකට සම නොවන්නේ අල්පයකිනි. එම භූමිය බොදු වතින් පිළිවෙතින් සරු වීම කෙසේ වෙතත් කාම භෝගි පිළිවෙත් භජනය කිරීම නම් සිදු වෙයි. පුණ්‍ය භූමිය රඟ මඬලක ස්වරූපය ගනී නම් , ශ්‍රී සද්ධර්මය ප්‍රතිෂ්ඨාපනය වන්නේ ඒ තුළ ගොඩ නගා ඇති බුදු මැදුර ,චෛත්‍යරාජයා සහ ආවාස ගෘහ වලද?

පන්සලක දායක කාරකාදීන් දෙස බලන විට එම ස්ථාන දියුණු කිරීම් ශීල ව්‍යාපාර ඇතුළු පුණ්‍ය කටයුතු වල දී දක්නට ලැබෙන පරිහානි කර ලක්‍ෂණයකි. විවිධ කරුණු පදනම් කරගෙන ක්‍රියාත්මක වන පිල් බෙදීම් ලෝභ, ද්වේෂ , මෝහ යන ත්‍රිවිධ අකුසල දුරු කිරීම අරමුණු කරගත් ක්‍ෂේම භූමිය තුළදී එම අකුසල මූල ප්‍රවර්ධනයට අවශ්‍ය පසුබිමක් සැකසේ නම් කවර ඵලයක් ද? දායක මහත්වරුන් එකිනෙකා පරයා ස්වකීය දායකත්වය , කළමනාකාරිත්වය , මඟ පෙන්වීම ආදියේ ලොකු කම ගැන පුරසාරම් දොඩයි නම් ඇති වන ප්‍රතිඵලය කුමක් ද? එහි දී මානය තණ්හාව ආදිය ඉස්මතු වීමෙන් සිත් සතන් අපිරිසුදු වෙයි. ධම්ම පදයේ යමක වග්ගයේ එන “මනෝ පුබ්බංගමා ධම්මා “ යන ගාථාවෙන් කියන්නේ චෛතසික ධර්ම සිත මුල් කොට සිත අධිපති කොට ඇති වන බවත්, සිතිවිලි වල පහත් නොපහත් කම අනුව එහි ප්‍රතිවිපාක දෙන බවත් ය.

ශ්‍රී ලංකාව සිංහල ජාතිකයන්ගේ රට ය. මෙරට ආර්ය ජනාවාසයක් බවට පත් වී අවුරුදු තුන්සීයකට පමණ පසු දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේදී බුදුසසුන පිහිටුවනු ලැබීය. එවක පැවැති විවිධ මිථ්‍යා ඇදහිලි ක්‍රම අභිබවා බුදු දහම පැතිරගොස් එය මෙරට ජන ජීවිතය මෙහෙයවන ප්‍රබල සාධකයක් බවට පත් විය. සිංහලයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනය. ගොවි කටයුතු වලදී ඔවුන් කොතරම් දුරට බුදු දහමේ ආශීර්වාදය ලබා ගත්තේද යන්න දැනට වුවද මෙරට වෙසෙන වයෝ වෘද්ධ ගොවියන්ගේ වතගොත විමසීමෙන් දත හැකි වෙයි. වෙළට බැස උදැල්ල අතට ගැනීමට පෙර තෙරුවනට නමස්කාර පූර්වකව වැඩ ආරම්භ කිරීම, වටිනා චාරිත්‍රයකි. ගොයම් කපා පෑගීමේ සිට

බැත නිවසට ගෙන ඒම දක්වා කාර්යයන්හි දී තෙරුවන් වැඳීම හා සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඔහු ඉල්ලා සිටියේ ය. එහෙත්, යන්ත්‍රෝපකරණ භාවිතා වන නූතන යුගයේ තෙරුවන් හෝ දෙවියන් ගැන පවා තැකීමක් නැත.

කෘෂිකාර්මික සුශීක්ෂිත බොදු ජන ජීවිතය බොල් ආකල්පවලට යට වී වාණිජ ආර්ථික රටාවකට පරිවර්තනය වී තිබේ. එය රටේ ජනතාවගේ සාරධර්මවල සෝදා පාළුවට ප්‍රබල හේතුවක් වී තිබේ. නූතන වගා යන්ත්‍ර භාවිතා කිරීමේ වරදක් නැත. එහෙත්, බත, අපේ ප්‍රධාන ආහාරය යි. ආහාර නිෂ්පාදන කටයුතු ගරු සරු ඇතිව සැලකිල්ලෙන් ඉටු කිරීම , සත් චාරිත්‍ර ධර්මයකි.

බැත නිවසට ගෙන ඒම දක්වා කාර්යයන්හි දී තෙරුවන් වැඳීම හා සියලු දෙවියන්ගේ ආරක්‍ෂාව ඔහු ඉල්ලා සිටියේය. එහෙත් යන්ත්‍රෝපකරණ භාවිතාවන නූතන යුගයේ තෙරුවන් හෝ දෙවියන් ගැන පවා තැකීමක් නැත. කෘෂිකාර්මික සුශීක්ෂිත බොදු ජන ජීවිතය බොල් ආකල්ප වලට යට වී වාණිජ ආර්ථික රටාවකට පරිවර්තනය වී තිබේ. එය රටේ ජනතාවගේ සාර ධර්ම වල සෝදා පාළුවට ප්‍රබල හේතුවක් වී තිබේ. සත්‍ය ලෙසම එහි ආශිර්වාදය අපට හිමි වන්නේ ය.

වත්මන් තරුණ පෙළ බෞද්ධ කටයුතු වලට මුසු වන ආකාරය දෙස ද විමසිලිමත් විය යුතුය. දානමාන , ශීල ව්‍යාපාර , දන්සල් ආදිය සඳහා ඔවුන්ගේ නොමසුරු සහයෝගය ලැබෙන බව අපි දනිමු. තරුණ තරුණියන්ගේ අතුරු අභිප්‍රාය අතර ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ විනෝදයටයි. එයි උපරිම ඵල ලබනු වස් මත්පැන් වල පිහිට පතන අවස්ථාද හමු වෙයි. එසේ වන්නේ සිය අභ්‍යන්තරයෙහි පවත්නා හිස් බව මකා ගැනීම උදෙසා චිත්ත ප්‍රබෝධයක් ගෙන දීමටය. මිනිස් ජීවිතය බාහිර වූ කෘත්‍රිම ක්‍රමයකින් තොරව පී‍්‍රති ප්‍රමෝදයක් ගෙන දීමට අපොහොසත් තත්ත්වයට පරිවර්තනය වූයේ පිරිහුණු චෛතසික ස්වභාවයේ අනිටු විපාක වශයෙනි. සභ්‍යව හා සාරධර්ම වශයෙන් මිනිසා පරිහානියට හෙළන්නේ නවීනත්වය පසු පස හඹා යාම සහ ආගම ධර්මය ඉගෙනීම, ධාරණය හා ධර්මානුකූල ජීවනය යන දේ කාලෝචිත නොවන හා බුද්ධි ගෝචර නොවන බව සැලකීම නිසා ය. එකී දුර්මතධාරීන් එයින් මුදා ගැනීම පහසු කටයුත්තක් නොවේ. තරුණ සිත් බොළඳ ආශ්වාද පසු පස ගමන් කරනු වැළැක්වීම ද දුෂ්කරය. ඔවුන් කෙසේ හෝ හරි මඟට යොමු කළ හැකි වන්නේ අවබෝධය තුළින් පමණකි.

ධර්මානුකූ®ල ජීවන කලාව තුළ දැකිය හැකි අනභිභවනීය ලක්‍ෂණ කිහිපයක් මතකයට නැගිය යුතු ය. ලද දෙයින් හැකි තෙක් තෘප්ත වීම සැනසිල්ලකි. අපරිමිත තෘෂ්ණාව දුරු කිරීමේ අභ්‍යාසයක් වශයෙන් මීට වඩා කදිම පිළිවෙතක් තවත් නැත. ගැමි ජනයා දැඩි දුක් දෙන ජීවන අරගලයකට මැදිවී ජීවත් වීමට අසීමිත ප්‍රයත්නයක් දැරුව ද ඔවුන්ට ලැබෙන අල්ප දේ පිළිබඳ කිසිවකුට දොස් පවරන්නේ නැත.

එළඹෙන හැම දිනයක්ම හැම මොහොතක්ම නව ප්‍රබෝධයකින් යුක්තව , ගත කළ නොහැකි ද? පායන හිරු, තුරුලතා , ගංගා ඇළ දොළ , සතා සිව්පාවුන් නව ප්‍රබෝධයකින් නැරඹීමට මිනිසා අපොහොසත් වන්නේ ලෝභ , ද්වේෂ, මෝහාදි ත්‍රිවිධ කුසල වලින් සිත වසා තැබෙන නිසාය. එම කසළ සිත් දුරු කරන තරමට සනාතන සතුට හා සැහැල්ලුව ළඟා කර ගත හැකිය. එවිට උදාවන හැම දිනයක්ම අලුත් දිනයකි. ලෝභ,ද්වේෂ, මෝහ යන බාධක සමබරතාව අවුල් කරයි.

ධර්මය දැකීමටත්, එය අවබෝධ කර ගැනීමටත් පහසු වන්නේ බිය හා සැකය නම් වූ බර බහා තැබූ විටය . ඔබේ ආශා හා බැහැර කිරීමට උත්සාහ දරන දේ දෙස මනා පරීක්‍ෂාවෙන් සිටින්න. කිසිවක් පිළිබඳ සිතමින් හෝ කනස්සළු වීමෙන් වැළකි සිටින්න . ඒ ගැන සිහියෙන් සිටින්න.

සත්‍යය දර්ශනය වීමට පටන් ගන්නේ අන්තගාමී වීමෙන් නොව මධ්‍යස්ථ අරමුණක සිත පිහිටුවා ගත් විටය. එවිට ඉබේටම මෙන් මනස සමබර වී විසිර යෑම නැවතී ජීවිතයේ පරම ශාන්ත සුවය වෙත ළඟා වීමට පටන් ගනු ඇත.

 

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk