UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන කවියා දුටු වම් සිරිපාදය සහ දකුණු සිරිපාදය

සිව් බුදුවරයන්ම වැඩම කළ ඕජදීප, වරදීප, මණ්ඩදීප, ලංකාදීප ලෙස සඳහන් වන මෙම ලංකාවේ සිරිපා සටහන් පිළිබඳ කියැවේ. ඒ අතර වම් සිරිපා සටහන සමනළ කන්ද මුදුනේ පිහිටි බව ලෝක ප්‍රකට සිද්ධියකි. සැළලිහිණි අස්නේ සඳහන් වන්නේ කෝට්ටේ සිට සමනළ දැක බලා ගන්නා ලෙස ය.

සුර රඳ සමන් සමගින් සුරඟන එවර
පැහැනඳ මදාරා පරසතු මල් පතර
කරපුද වඳින රැදි මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොළ ගල නැගෙන හිර

වම් සිරිපා සටහන සමනළ කන්ද මුදුණේ පිහිටා තිබෙන විට, දකුණු සිරිපා සටහන්මක්කම වැල්ලේ ඇතැයි ජන කවියා ප්‍රකාශ කරන්නේ මෙසේ ය.

ලකුණු බලාලා මහ මෙර එල්ලේ යා
වැටුණු තලිය තලි තුනකට පල්ලේ යා
ඉසුණු බුදු සිරින් මහ මෙර සෙල්ලේ යා
දකුණු බුදු සිරි පතුල මක්කම වැල්ලේ යා

මක්කම වැල්ලේ දකුණු සිරිපා සටහන පිහිටි බව ජන කවියා අපූරුවට සිව් පදයකට ගොතා ඇත. ක්‍රි.ව. 1426 දී දෙවුන්දර සිට පේදුරු තුඩුවට යන කෝකිලයාට දකුණු සිරිපතුල පිහිටි මක්කම නරඹාගෙන යන ලෙසට මුල්ගිරිගල වාසි තිලක පිරිවෙන් හිමි කමණීය පදවැල් සතරක් එකට ගැට ගසා ඇත.

ගත පිවිතුරු සරහන ගෙල පදක්ක ම
කරවනතුරු ලියනෙක රුසිරු වැක්ක ම
සැදි විසිතුරු මග දෙපස එක්ක ම
බල මා මිතුරු සඳ ඇත්තාල මක්ක ම

පුත්තලමත් – මන්නාරමත් අතර මක්කම සිරි පතුල පිහිටි ස්ථානය පිළිබඳව ග්‍රාම නාම ලේඛනය හෙවත් මග වැනුම අනුව ඉතා පැහැදිලි ය. විහාර නාම ලේඛනය අනුවද ඇත්තාල විහාරය, මක්කම විහාරය යන්න දැක්ක හැක. මෙම මක්කම විහාරය ගල් පර්වතයක් සහිත ස්ථානයක් බව ජනකවියා විසින් ගොතන ලද ඔන්චිලි වාරම් පදවැල් වලදී සටහන් කර තිබේ.

උඩම උඩම උඩ මක්කම වැල්ලේ
වසින වසින වැසි ඒගල පල්ලේ
දුවන දුවන නැව් සමුදුර එල්ලේ
අපිත් පදිමු දැන් රට ඔන් චිල්ලේ

හෙළ කලා කරුවා විසින් ලියන ලද සාහිත්‍ය කෘති වලද සමනළ සැහැල්ල සහ මක්කම සැහැල්ල යන පුස්කොළ පොත් දෙකක් ගැන කියැවේ. සමනළ සැහැල්ල අද අපිට උරුමව තිබුණත් මක්කම සැහැල්ල අද අපිට අහිමි වී ඇත. පුරාණ හිමගත සැහැල්ලද සිරිපා සටහන් පිහිටි ස්ථාන වැඳ නමස්කාර කළ කමණීය පද බැඳුමකි. සිරිපා සටහන් දෙකෙහි පිහිටි මංගල ලකුණු පිළිබඳව එහි සඳහන් ය.මේ ගැන ලිපියක් 2007.08.28 වනදා බුදුසරණ පුවත්පතෙහි පළ විය.

සතර දෙනයි අපි ආවේ ඔක්කොම
සතර පිටට කැරකෙයි සොඳ ගෙත්තමසතර වටට අල්ලන මා ලක්කම

සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම
කකුසඳ කෝණාගම මුනි සරණින්
කාශ්‍යප ගෞතම මුනිදුන් සරණින්
මක්කම සමනළ සිරිපා සරණින්
වස් නැත මේ සිව් පද හැම සරණින්

කනට ඇසෙන දේ ලියා තැබීම, එය කවියට නැගීම එසේත් නැති නම් ගීතයකට නැගීම නිර්මාණ කරුවාගේ විෂය පථයට එක්බීජ මූලයකි. ගෞතම බුදුරදුන් මක්කම වරායෙන් ගොඩ බැස මල්වතුඔය දිගේ අනුරාධපුරයට වැඩම කළ බව යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් ලියන ලද වර්ග පූර්විකාවේ සඳහන් ය. එක් අවස්ථාවක මංගර දෙවියන් මෙරට ආ ගමන් මාර්ගයද මක්කම හරහා බව දෙවොල් කවිවල සඳහන් ය. ජන කවියා ශ්‍රී පාදය හා බැඳෙන බොහෝ තොරතුරු සටහන් කර ඇතත් ලංකාවේ වංශ කථාව ලෙස ගැනෙන මහා වංසයේ මෙම තොරතුරු දැක ගැනීම අවස්ථා දෙකකට වඩා නැත.

දැනට සම්මත වී ඇති ඉතිහාසය අනුව මිහිඳු මහ රහත් හිමියන් හා සංඝමිත්තා තෙරණියගේ වැඩම කරවීම පිළිබඳව බොහෝ විස්තර ඇතත් මෙම දෙදෙනා කිසිදු දිනක සමනළ සිරිපා සටහන නැරඹීමට හෝ දැක වැඳපුදා ගැනීමට ගිය පුවතක් හමු නොවේ.

ජන කවිය හා සාහිත්‍යකරුවා හෝ ඉතිහාස කරුවා අතර යම් ගැටීමක් මෙමඟින් පිළිබිඹු නොවන්නේ ද යන්න කුකුසක් ඇතිවේ. වංශ කථාවේ ඇති තොරතුරු අනුව සිරිපා නැරඹීමට ගියා වූ රජවරු පිළිබඳව දැක්ක හැක්කේ එක රජවරයකුම පමණි. නමුත් වංශ කථාවට ඇතුළත් වී නොමැති රජවරයෙක් වන ධමරාජ රජතුමා “ “ “දමරඣ” සමනළ යාම පහසු වනු පිණිස ගල් පඩි කරවූ බව කට වහරේ පවතී. සෙල්ලිපි වලින් හෙළිවන කරුණු අනුව මෙම දමරඣ දමා රජතුමා ශුමනගේ පුත්‍රයෙකි. ශුමන යනු නූතන සුමන සමන් දෙවියන් ය.

ධර්ම රජ ගල් පොත්තට වැඩ ලා
ධර්ම ආපල ක්‍රිතිය පෙන්නා ලා
කර්ම කලෝ වන් එතනට වැඩ ලා
පෙම් පෑපු ගල් පඩි කප්පා ලා

හිමගත වර්ණනාම ලියූ සාහිත්‍යකරු වාගේ මෙම පද වැලේ ධර්ම රාජ ගැන කියැවේ. ගිරා සංදේශ කරුවාට සමනළ ගැන වර්ණනා කිරීමේදී කළු ගඟ ද අමතක කිරීමට නොහැකි වී ඇත.

ලක කොමලඟ සමනොළ ගිරි හිසින් ගො තා
හළ මනරඟ මලිගිය මල් දමින් යු තා
වරලස රඟ පෙණ වැලි හැලි සියොන් ඉ තා
දිලි කළුගඟ ළඟවැද හරු ගිමන් ප තා

දවස සරි කිරීම සඳහා ජීවන රටාව ගවයින් සමඟ ගත කළා වූ දුප්පත් ගැමියා තමාගේ ගවයින්ට විවිධ වූ ලෙඩ රෝග සෑදුනු අවස්ථාවලදී සිරිපාදයෙහි පිහිට පතා ගොතා ඇති සිව්පද අතර මක්කම සිරිපතුල සහ සමනළ සිරිපතුල වැඳ තම දුක් අදෝනාව මෙසේ පෙල ගස්වා තිබේ.

මක්කම තිබු පාද පත්ම එක්කම සමනළ වදින්ඩ
දුක්මම කවි කර පවසමි සමන් දෙවිඳුමේ උතුමන්ඩ
ඔක්කොම ගව රැළ වැනසුන් මෙදා යුගේ බැරි ගෙවන්ඩ
මක්කම සමනළ බලයෙන් නරකද පැතිකක් ඇරෙන්ඩ

උගතුන් සිතනා විදියට නූගත් ගැමියාගේ මෙම ඉදිරිපත් කිරීම් සේම, උගත් යැයි කියනා එදවස සිටියාවූ රාජ්‍ය නිලධාරීන් විසින් ලියන ලද කඩයිම් වලදී සිරිපතුල් පිහිට වූ ස්ථානයන් පිළිබඳව මෙසේ සටහන් කර තිබේ.

“....... තවද අප බුදුන් තුන්වන ගමනේ වඩිනා දිනයෙහි කැලණියට හා නම්මදා නම් ගඟවට හා මක්කමට හා මෙකී ස්ථාන වලට වැඩ ශ්‍රී පාද පත්ම ලාංඡනය කරවා සමනළට වැඩ සමන්ත කූට මස්තකයෙහි ශ්‍රී පාදය පිහිටුවා වැඩි සේක......”

මෙම ඉතිහාසාත්මක කථා අනුව මෙරට ජීවත් වූ පැවිදි පඬිවරු විසින් සමනළ පිහිටි සිරිපාදය සහ අනිකුත් සිරිපාද ලාංඡනයන් පිහිටි ස්ථානද කැටිකොට පාලි ගාථාවක් නිර්මාණය කළහ. ඒ අනුව අපිට පාලි සාහිත්‍යයට මෙම ගාථාව එකතු වීය.

“තතො පගනත්වා සුගතෙ භගාමි
තස්මිං හිතමෙඛ ගිරි ගම්භ රායං
දිවා විහාරං නිසිදි යත්ථ
සුපාකටං තං භගවා ගුහාති”

“යං නම්මදාය නදියා පුලිනෙච තීරේ
යං සච්ච බද්ධ ගිරිකේ සුමනා ච ලග්ගේ
යට තත්ත යෝනක පුරේ මුනිනෝච පාදං
තං පාද ලාංඡන මහං සිරසා නමාමි”

සිරිපා වඳින ගාථාව පැවිදි පඬිවරුන් අතින් නිර්මාණය වෙද්දී ජනකවියා සිරිපාදය වර්ණනා කළේ කවි නිර්මාණය කිරීමෙන් ය. සංදේශ කරුවා නිරතුරුවම සිරිපාදය ගැන සටහන් කළේ මග වැනුම් වලදී ය. මේ අනුව හංස සංදේශ කරුවා,

සමනොළ මුහුල සිරිපද ඔබන මඟුලට
නිකසල මග සඟන ගෙන වඩින මුනිදුට
පැහැදුල සුනිල් මැණිකෙන් කළ මඟ ලෙසට
මනදොළ පිරෙයි ගඟ සිරිසර දුටු තොපට

ගිරා සංදේශ කරුවා තම නිර්මාණයේ දී, “ ලක කොමලඟ සමනොළ ගිරි හිසින් තා” යැයි මීට ඉහත ඉදිරිපත් කළ පදවැල තුළ තම නිර්මාණ ශක්තිය පිළිබිඹු කළේය.

“සිරිපාදේ සමනොළ කන්ද පෙනේ ආලෝකය සමන් කුලේ සඳ පානේ මහ වන දිහා බලා සුදු රිදී කඳන් හමුවේ.... යැයි,”

කරුණා නදියෙන් නැහැවුණු ගීත පදවැල් බැන්දේ ය.

“ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ
සිරි වස දෙක පිහිටපු සිරි පතුලේ
නඳවට දෙක පිහිටපු සිරි පතුලේ
අපි යමු වඳිනට ඒ සිරි පතුලේ

යැයි ආරම්භ කරමින් 216 ක් වූ මඟුල් ලකුණු පිළිබඳව හිමගත වර්ණනාවේ. කමණීය වැනුමක් දැක්ක හැක. අපිට අහිමි වී ඇති අප්‍රකට පුස්කොළ පොත්වල තවත් මෙවැනි කමණීය වැනුම් දැක්ක හැක. ඒ අතර එක් ග්‍රන්ථයකි. බුදු මූල උපත සහ බුදුගුණ ශාන්තිය හෙවත් මරගන සැහැල්ල, මෙම කෘතියේ මොනවා ලියවී තිබුනා දැයි අපිට කීමට නොහැක.

එංගලන්තයේ පුස්තකාලයේ තිබෙන එම ග්‍රන්ථය ලංකාවට ගෙන්වා ගතහොත් අපිට එහි ඇති තොරතුරු සමග මෙතෙක් අප්‍රකටව ඇති දකුණු බුදු සිරිපතුල පිහිටි ස්ථානය වූ මක්කම හෙවත් මරගන ඓතිහාසික වූ පූජාභූමිය පිළිබඳව බොහෝ දේ දැන ගැනීමට පුළුවන.

“ලස්සන සෝභන සමගම බබළන
මක්කම සිරිපා සමනළ වැඳගෙන
ලස්සන තල මල කිනිති පෙළින් පෙළ
විස්තර තල මල පච්ච වෙල මැද”

යන ජනකවිය ලියූ ඒ ගැමියා දුටු වයඹ පළාතට අයත් පුත්තලම් දිස්ත්‍රික්කය තුළ පිහිටි මරගන හෙවත් මක්කම වෙළෙඳ නගරයේ පිහිට වූ දකුණු බුදු සිරිපතුල් ලාංඡනය දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව ද උදා වනු නොඅනුමානය. අප ඉහත සඳහන් කළ ‘මරගන සැහැල්ල’ නැමති පුස්කොළ පොත මෙරටට ගෙන්වා ගැනීමට රජය, රාජ්‍ය ලේඛනාගාරය හෝ සංස්කෘතික අමාත්‍යාංශයෙහි අවදානය යොමු වේ නම්! එය ලංකාවට වැඩදායක ය. මෙම ලිපිය කියවූ බුදුසරණ පාඨකයාගේ ද උනන්දුව මේ පිළිබඳව යොමු වේ නම්! අපගේ මෙම ව්‍යායාමය සාර්ථක වනු ඇත.

දුරුතු
පුර පසළොස්වක 

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 21 වැනිදා සඳුදා අපර භාග 09.11 ට ලබයි. 22 අඟහරුවාදා අපර භාග 07.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
22 වන දා අඟහරුවාදා.

මීළඟ පෝය
ජනවාරි 30 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

First Quarterපුර අටවක

පෙබරවාරි 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk