UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සැම කලට සරිලන ජාතක කථා පොත

අප මහ බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පුරන කාලයේ පිරූ දස පාරමිතා පිළිබඳ සඳහන් තොරතුරු ඇතුළත් ග්‍රන්ථය ජාතක කථා නමින් හැඳින්වේ. බොදුනු ඔබට පන්සිය පනස් ජාතක කතා පොත දක්නට ලැබෙයි. ඔබ මඳක් කල්පනා කර බැලුවහොත් ඔබට සිතේවි. මේ ජාතක පොතේ කථා සුරංගනා කථා වලට සම වන බව. එසේ නැත්නම් කවුරුන් විසින් හෝ නිර්මාණය කරන ලද බව. එය එසේ නොවන බව මම ඔබට ප්‍රකාශ කරමි. ජාතක පාලියෙහි සඳහන් කථා ජාතක පොත ලෙසට පරිවර්තනය වී ඇත. බොදුනු ඔබ ජාතක පොත නිසි ලෙස කියවා බලා ඇත්නම් ඔබට වැටහී යා යුතුව ඇති දෙයක් නම් ජාතක පොතේ කථා අවුරුදු සිය දහස් ගණනකටත් වැඩි ඈත අතීතයකට සම්බන්ධ බවය. එය එසේ වුවද එදාට වඩා අදටත් යෝග්‍ය ජාතක කථා රැසක් වේ. ජාතක පොතේ අන්තර්ගත කාලය , දේශය, චරිත, වෙනස් වී පැවතුණද ඒ අන්තර්ගත සාරය නම් තුන් කාලයටම වටිනා ලෙස දේශනා කොට තිබීම ඉතාම වැදගත් වේ. අප රටේ සාහිත්‍ය නිර්මාණවලටත් වඩා ඉදිරි දැක්මක් ජාතක කථා වල දක්නට ඇත. අප බුදුරජාණන් වහන්සේ පන්සිය පනස් ජාත කථා දේශනා කළේ එකල විසූ පුද්ගල චරිත පෙර චරිතයන්ට සම්බන්ධ කර පූර්ව ආත්ම භාව වල පුරුදු කළ දේ සංසාරගත ක්‍රියාවලියක් තුළ සිදු වූ දෙයම බව පෙන්වීමටයි. සසර පුරුදු එක දිගටම ගලා යන ආකාරය පිළිබඳ මේ ජාතක කථා මගින් හොඳින් නිරූපණය කොට තිබේ.

අප රටේ පැරැන්නන්ගේ ශ්‍රද්ධාව භක්තිය ජනනය කළ මේ ජාතක කථා පොත එදා බණ මඩුවේ ධර්ම සාකච්ඡාවට බඳුන් විය. අද වන විට ජාතක කථා පොත වර්තමාන සමාජයෙන් ඈත් වීමට පටන් ගෙන ඇත. සමහර විට පොහෝ දින ජාතක කථා ටෙලි වෘත්තාන්තයක් හැටියට හෙන්රි ජයසේන මහතා විසින් නිරූපණය කර ඇති බව පෙනේ. එහි ඉතා සීමිත කොටසක් පමණි, රංගනය වන්නේ. එය වුවද අපගේ ප්‍රශංසාවට ලක්කරමු. අද වන විට රූපවාහිනී මාධ්‍ය ආයතන අපේ සමාජයට ලබා දෙන හොඳ දේ බොහෝම ටික ය. එයින් හොඳම ක්‍රියාවකි පොහෝ දින විකාශනය වන ටෙලි වෘත්තාන්ත (බණ කථා) විද්‍යුත් මාධ්‍ය මගින් සංස්කෘතිය විනාශ වන දේ බොහෝ සේ විකාශය කැරේ. වර්තමාන සමාජයෙන් දුරස්ථ වී දේශීය සංස්කෘතිය විකෘති කොට සංවරය වෙනුවට අසංවරයත් සුචරිතය වෙනුවට දුසිරිතට බර දේත් විකාශනය කිරීම මගින් බලවත් සමාජ ගැටලු නිර්මාණය වෙමින් පවතී. රූපවාහිනිය නිසා අද ගමේ පන්සලෙන් බොදු නුවන් ඈත් වී ඇත. ජාතක කතාවට පැරැණි සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබී තිබිණි. අද වන විට එම පිළිගැනීම අඩු වි ඇත. නමුත් ජාතක පොතේ ඇති ජාතක කථා මගින් වර්තමාන සමාජයට අනගි ආදර්ශ රැසක් ලබා දෙයි. එබඳු ජාතක කථා බොහොමයක් එහි අන්තර්ගත වෙයි.

රටක සංවර්ධනය උදෙසා ජනතාව ක්‍රියාශීලි විය යුතුය. කම්මැලි කමින් තොරව උපායශිලි ක්‍රමවේද අනුගමනය කිරීමත්, ව්‍යාපාර සිදු කිරීමේ දී කාලයට අවශ්‍ය භාණ්ඩ සඳහා ශක්තිය කැප කිරීම යන කරුණු ඒත්තු ගන්වන ජාතක කථාව අපණ්ණක ජාතකයයි. වාණිජ යනු කර්මාන්ත ක්ෂේත්‍රයයි. එහි නියැලෙන්නෝ සෙට්ඨි යනුවෙන් සඳහන් කරයි. සෙට්ඨි යන වර්තමානයේ සිටින ව්‍යාපාරිකයාය. වචනය වෙනස් වුවද ක්‍රියාවලිය එකම වේ. වෙළෙඳ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය රඳා පවතින්නේ පුද්ගලයා සතු උත්සාහය උපායශීලි භාවය පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනිම යන සංකල්ප මත වේ.අපණ්ණක ජාතකය මගින් පැහැදිලි වන්නේ එම ක්‍රමවේද ප්‍රගුණ කළ ව්‍යාපාරිකයකුගේ චරිතය විග්‍රහ කිරීමයි. එබඳු චරිත කිහිපයක් සඳහන් ජාතක කථා ලෙස වණ්ණුපථ ජාතකය , සේරිවාණිජ ජාතකය, චුල්ල සෙට්ඨි, ජාතකය නිදසුන් ලෙස ගත හැකිය. මේ ජාතක කතා මගින් පැහැදිලි කරන්නේ වෙළඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය රඳා පවතින්නේ එහි නිරතවන්නන් තුළ දැඩි උත්සාහය තිබීමෙන්ය. කටුක, බාධක හා ඇද වැටීම් ආදියේ දී පවා නොසැලී නිරන්තර උත්සාහ ඇතිව කටයුතු කළ යුතුය. වණ්ණුපථ ජාතකය මගින් විදෙස් වෙළඳාමේ දී ඇති දුෂ්කරතා මනාව පැහැදිලි කර දෙයි. ඒ කාලයට වඩා අද දියුණුය. ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික නැව් ගුවන්යානා යාන වාහන ඕනෑ තරම් ඇත. මේ කථා වල දේශිය බවත් භාවිතා කළ උපකරණ වල වෙනස්වීමත් මිස පුද්ගල ගත සිතුවිලි හා ක්‍රියාදාම වෙළෙඳ ව්‍යාපාරිකයා සතුව ඇත්තේ එකම අයුරිනි. එය මනාව පැහැදිලි වන්නේ සේරි වාණිජ ජාතකය තුළ තරඟකාරි ආර්ථිකයේ කූට උපාය හා වංචා පවා සිදු කළ ද ඒ මගින් රඳා පැවතීම තාවකාලික බව පෙන්වයි. ව්‍යාපාරිකයා තම පාරිභෝගික ජනයාගේ විශ්වාසය දිනා ගත යුතුය. එසේ නොමැති වූ විට ඔහුගෙන් ජනයා වෙන්වී වෙනත් දිසාවකට යොමුවේ. ඉතාම සාධාරණ අයුරින් භාණ්ඩ ගැනීම හා අලෙවිය මෙන්ම මිල නියම කිරීම පිළිබඳ මෙන්ම පාරිභෝගිකයා දිනා ගැනීමේදී භාවිතා වන වචන රටාද සේරිවාණිජ ජාතකය මගින් මනාව පැහැදිලි කර ඇත. වර්තමානය වන විට අප රටේ ව්‍යාපාරිකයා ජනතාව ගිල ගැනීමේ තත්ත්වයට පත්ව ඇත. දවසින් දවස බඩු මිල ඉහළ දමමින් පාරිභෝගිකයා ගසා ගෙන කෑමෙහි නිරත වෙළ¼ඳ ප්‍රජාවක් දක්නට ලැබේ. පාරිභෝගිකයා කළ යුත්තේ එවන් භාණ්ඩ වර්ජනය කර වෙළෙඳ ව්‍යාපාරිකයා මට්ටු කිරීමයි. වංචාව, හොරහිත, විවිධ වැරදි ක්‍රම, එනම් තුලා, කූට, මාන කූට, කංස කූට ආදී හෝ මිනුම් කිරුම් ක්‍රම මගින් ජනයා සුරා ගෙන කෑම නුසුදුසු බව මේ ජාතක කථා මගින් මනාවූ ආදර්ශයක් වර්තමාන ලෝකයාට ලබා දෙයි.

ජාතක කථා මගින් පුද්ගලයා තුළ සංයමය හා ඉවසීම යන කරුණූ පිළිබඳව හෙළි කරන ජාතකය වන්නේ චුල්ලසෙට්ඨි ජාතකයයි. මේ මගින් සමාජයේ ජීවත්වන අයගේ දෛනික අවශ්‍යතා තේරුම් ගැනීම වඩාත් වැදගත්වෙයි. එමෙන් වෙළඳ ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසෙන විට ඇති වන බාධා යටපත් කරගෙන මහත් උත්සාහයෙන් ක්‍රියා කිරීම ඉතාම වැදගත් බව චුල්ලසෙට්ඨි ජාතකය පෙන්වා දෙයි. සුළු පරිමාණයෙන් පටන් ගත් වෙළඳාම මගින් මහා දැවැන්ත ව්‍යාපාරිකයකු බවට එදා චුල්ලන්තේවාසික පත්විය . ඔහු තුළ තිබූ කැප කිරීම හා විවිධ උපක්‍රම අනුගමනය කිරීම එහි දැකිය හැකිය. අලුත් අලුත් දේ වෙළඳ පොළට පිවිස වීම මගින් ව්‍යාපරිකයා අභිවෘද්ධිය කරා ළඟා වෙයි. මෙය වර්තමානයේ උදාසීන පිරිස් වෙත ඉතා වටිනා මගක් කියා දෙයි. අද වන විට කරපිංචා නැට්ට , පළා කොළය ආදියේ සිට සෑම දෙයකටම විවෘත ආර්ථික රටාවෙන් මිලක් ලබාගත හැකිය. සිය දහස් ගණන් තරුණ පිරිස් නිකරුනේ කාලය කා දමමින් තැන් තැන්වල ගැවසීම , රටේ ආර්ථීකයට බරක් ඇති කරයි. තරුණ ඔබ ලැජ්ජාව ඇති කර ගත යුත්තේ පවට බව මතක තබා ගන්න. දියුණු වීමට නම් ලැජ්ජා වීමෙන් පලක් නැත. එදා මළ මී කුණ ලැජ්ජාවෙන් බැහැර කළා නම් චුල්ලසෙට්ඨි කෙනකු ගැන ජාතක කථාවේ සඳහන් වන්නේ නැත. මේ නිසා තරුණ ඔබට දියුණුවීමට සමාජයට අහිතකර නොවන බොහෝ දේ කළ හැකිව ඇත. අවශ්‍ය වන්නේ වීර්ය පමණකි. උත්සාහයෙන් දියුණුව සැළසෙන අතර නිරුත්සාහය මගින් ලැබෙන්නේ දුප්පත්කම පමණකි. එසේ වූ කල, ඇති අයට ශාප කොට පලක් නැත. එය චුල්ලසෙට්ඨි ජාතකය මගින් අපට දෙන මහඟු ආදර්ශයයි. අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීමෙන් සංවර්ධනයේ ඉලක්ක කරා යා හැකි බව තරුණ ඔබ හොඳට හිතට ගන්න.

දියුණුවන්නාට මඟක් තිබේ. මගක් ඇත්තාට දර්ශනයක් ඇත. මේ නිසා තුරුණු වයස රටේ සංවර්ධනයට ඵලදායකව ශ්‍රමය වැය කළ යුතුය. දුරාචාරය දුරු කොට සදාචාරයට එළඹ සිහි නුවණින් දිවිමග ගමන ජයග්‍රහණය ලද හැකි බව සිතන්න. ජාතක කථා වල සමාජයේ විවිධ පැති කඩ පිළිබඳ විවරණයක් කළ හැකිය.

එනම්

01.අධ්‍යාපන අංශය
02.දේශපාලන අංශය
03. ආර්ථික අංශය
04. පවුල් සංස්ථාව
05. ආගමික අංශය

මේ අයුරින් සමාජයේ වැදගත් අංශ ගණනාවක් විවරණය කරයි.

අධ්‍යාපන අංශය පිළිබඳ සඳහන් කිරීමේ දී තක්ෂිලා විද්‍යායතනයක් පිළිබඳ කරුණු සඳහන්වේ. එහි මහා ඇඳුරු වන්නේ දිසාපාමොක් නම් ආචාර්යවරයාය. ඔහුගේ සහායට ගුරුවරු සමූහයක්ද සිටිති. සිසුවා ගුරු ගෙදර නේවාසිකව අධ්‍යාපනය හැදෑරිය යුතුය. ඇතුළත් වීමේ දී කහවනු දහසක් අය කරනු ලබන අතර ඒ ශිෂ්‍ය අවධිය අවසන් වනතුරුය. දිසාපාමොක් ඇදුරු යටතේ වනපොත පමණක් නොව දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් සිදු කිරීම පිළිබඳව පවා උගන්වනු ලබයි. තක්ෂිලාවට ඇතුළත් වන්නේ එකල සමාජයේ ඉහළ පෙළේ දරුවන් (රජ , බ්‍රාහ්මණ, වෛශ්‍ය යන කොටස්) පමණකි’ අද මෙන් පාසල් ක්‍රමයක් නොවුවද එදා යුගයට ගැලපෙන පරිදි අධ්‍යාපනය ලබා දී ඇත. එහි දී දරගෙන ඒම, දර පැලීම , වතුර ගෙන්වීම වතු පිටිවල වැඩ කිරීම වැනි දෛනික දිවියට අවශ්‍ය පැවැත්ම පිළිබඳව උගන්වයි. තීලමුට්ඨි ජාතකය මගින් එබඳු දිසාපාමොක් ආචාර්යවරයකු පිළිබඳ සඳහන් වේ. බ්‍රහ්මදත්ත නම් රජකුමරු තක්ෂිලාවේ අධ්‍යාපනය හදාරද්දී ගුරුවරයා සමඟ නෑමට යන අතර මග දී අව්වේ වේලන තල මිටක් රැගෙන දින තුනක්ම කෑවේය. මෙය තල වේලු අසරණ මවට ඉවසුම් නුදුන් කරුණකි. ඇදුරුතුමා සමඟ යමින් මෙවන් ක්‍රියා කිරීමේ ඇති බලවත් වරද පෙන්වා දුන්නේය. වරදට දඬුවම් ලැබීමට රජකුමරුට නියමවිය. උණ පතුරක් රැගෙන පහරවල් කිහිපයක් ගැසීමයි. මේ නිසා රජකුමරු වෛර බැඳ ගත්තේය. මේ මගින් වර්තමානයේ අධ්‍යාපන රටාවෙන් දඬුවම බැහැර කිරීම මගින් බොහෝ ගැටලු නිර්මාණය වී ඇත. වරදට දඬුවම් දීමේ දී සමහර ගුරුවරු සිසුන්ට අමානුෂික ලෙස පහර දෙති. එය අපිද අනුමත නොකරමු. යම් ආකාරයක දඬුවම් ලබාදීම කළ යුතුය. එය වේවැල් පහරවල් කිහිපයක් නම් හොඳයි. නැතිනම් වැරැදි මග යන ළමයා මුළුමහත් සමාජයටම හිසරදයක් වීම අනිවාර්යවේ. එදා දිසාපාමොක්ලා රැකී ඇත්තේ අද මෙන් මානව අයිතිවාසිකම් නමැති හම් පොරවා ගත් වෘකයන් නොසිටි නිසාය. ඒ මොකද තරවටු කළත් මානව හිමිකම් කරා යන අඳබාල වැඩිහිටියන් අප රටේ ඕන තරම් සිටිති. වර්තමානයේ මානව අයිතිවාසිකම් නිසාම ගුණ ගරුක සදාචාරයට බර ළමා පරපුරක් හදා ගැනීමට නොහැකි වී ඇත. මෙය අධ්‍යාපනය නඟා සිටුවීමට බාධාවකි. නීතිගරුක පුරවැසියන් බිහිකිරීම භාර වන්නේ අධ්‍යාපන ආයතන වලටය. එයද බාධක මැද කර ගෙන යෑමට අද සිදු වී ඇත. කෙසේ වුවද වර්තමාන අධ්‍යාපන රටාවට ගුරුකොටගත හැති ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පෙර තක්ෂිලාව නම් වූ අධ්‍යාපන ආයතන මහඟු උදාහරණ හැටියට සැලකිය හැකිය.

ජාතක කථාවෙහි අන්තර්ගත දේශපාලන ධාරාව වන්නේ බ්‍රහ්මදත්ත නම් වංශයයි. රජ පරපුර එකල පැවති දේශපාලන භූමියේ කැපී පෙනෙන චරිතය වේ. එමෙන්ම පුරෝහිත ද, අමාත්‍ය මණ්ඩලයද සිටිති. පුරෝහිත බමුණු ප¼ඩිවරයෙකි’ සෑම ජාතක කථාවක්ම ආරම්භ වන්නේ බ්‍රහ්මදත්ත නම් රජු ගැන සඳහන් කිරීමෙනි. ඔහු තක්ෂිලාවේ සිසුවෙකුවෙයි. රාජ්‍ය පාලනට අවශ්‍ය සියලුම දැනුමෙන් හා හැකියාවෙන් පිරිපුන් අයකු වීම, එකල සිරිතයි. මේ නිසා රජු උගත් ගුණවත් රණශූ®ර අයකුවීම, රටේ අභිවෘද්ධිය පිණිස හේතු වන්නකි. ජාතක පොතෙහි දේශපාලන සන්දර්භය පිළිබඳව මනාව විවරණය කරනු ලබන්නේ උම්මග්ග ජාතකයයි.

වර්තමාන ලෝකයේ දේශපාලනය කරන අයට ඉමහත් ආදර්ශයක් ජාතක පොත ලබාදෙයි. උම්මග්ග ජාතකය තුළ, දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කර බල්ලෝභීත්වය මත අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් යුතුව පාලනය කරන චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට ආචාරීන් ය. තවත් පැත්තකින් පෙන්වන්නේ මහෝෂධ පඬිතුමා ඇතුළු රජ පිරිසයි. මෙහිදී එකල පැවති පාලන රටාවේ දූෂිත අකාර්යක්ෂමතාව අද ද ලොව පුරා රාජ්‍යවලද දැකිය හැකිය. රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් වංචා දූෂණ කරන ආකාරය හා ජනතා ;ද්පළ ගසා ගෙන කෑම හා පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති අයුරු එහි සඳහන් වෙයි. සේනක, පුක්කුස , කාවින්ද, දේවින්ද ,ආදීන් රජුට වැරදි උපදෙස් දී ජනතාවගෙන් ඈත් කිරීම සිදුවිය. කේවට්ට ආචාරීන් ඉතාම කපටි දේශපාලන උපදේශකයෙකි. අකාර්යක්ෂම රාජ්‍ය පාලනය ජනතා හිතවාදී බවින් තොරවීම ආදී කරුණු රැසක් වර්තමානයට උම්මග්ග ජාතකය මගින් හෙළි කරණු ලබයි. මහෞෂධ චරිතය මගින් පැහැදිලි ජනතා හිතවාදී නායකත්වය හා සංවර්ධන ඉලක්ක කරා රාජ්‍ය මෙහෙයවන ආකාරය ඉතා පැහැදිලිවම පෙන්වා දී තිබේ. වර්තමානයේ ලෝකයේ දේශපාලන රටාවට අවශ්‍ය සම්පත් ඒකරාශී කිරීමට උම්මග්ග ජාතකය උපදෙස් ලබා දෙයි. එමෙන්ම ධාර්මික ව අපක්‍ෂපාතීව නඩු විසඳීම ගැන අධිකරණමය කරුණක් එමගින් අවධාරණය කොට තිබේ. මෙයට අමතරව “ මහාකපී” ජාතකය මගින් රාජ්‍ය පාලකයා තම දිවි දෙවැනි කොට ජනතාව සුරක්‍ෂිත කළ යුතු බව අවාධරණය කර ඇත. මේ අනුව බලනවිට දේශපාලනික වශයෙන් ජාතක පොත ඉතාම වැදගත් පණිවිඩයක් වර්තමාන දේශපාලකයන්ට ලබා දෙයි. රජය නිතරම තම මාතෘභූමියේ ඒකීය බව රැකීමට බැඳී සිටියි. මෙය ජාතක කථා තුළින්ද දැකිය හැකිය. රජු තම දේශය මනා කොට සුරක්‍ෂිත කිරීම සිදුකළහ. රටත්, ජනතාවත්, ආරක්‍ෂා කළහ. විශේෂයෙන් අද මෙන් මහා පරිමාණයේ පරිසර දූෂණය එකළ නොවීය. අද වන විට ගහ කොළ ඇළ දොළ ගංගා මෙන්ම පාරිසරික සියලු සම්පත් විනාශයට ලක් වෙමින් ඇත. මහා පරිමාණ පතල් කැණීම් හා වැලි ගොඩ දැමීම් , ගහ කොළ කපා දැමීම මෙන්ම විෂ වර්ග වායුවට ජලයට මිශ්‍ර කිරීම සිදු කැරේ. මිනිසාට මෙන්ම තිරිසන් සතුන්ටද විවිධ ව්‍යසන වලට ලක්වීමට මේ නිසා සිදු වී ඇත. පැරැණි කල චතුරංගනී සේනාව බලවත් වුයේ ඇත් හමුදාව තුළින්ය. මේ වන විට අලි ඇතුන් හා මිනිසුන් අතර නිරන්තර ගැටීම් ඇති වෙයි. මෙයට හේතුව වන විනාශයයි. මේ නිසා අපට ජාතක කතා ආදර්ශ කොටගෙන පරිසරය සුරක්‍ෂිත කළහොත් හෙට ලොව යහපත් වන බව පෙන්වා දිය හැකිය.

මතු සම්බන්ධයි

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk