Home
2013 මැයි මස 15 වැනිදා බදාදා
වෙසක් මාසයේ මස් මාංශ නොකෑවොත් ආනිසංස බොහොමයි

වෙසක් මාසයේ මස් මාංශ නොකෑවොත් ආනිසංස බොහොමයි

මීගහවෙල සුමනශාන්ත හිමි

අනුන් ගේ ලේ, මස් නො කෑවාට අප්‍රමාණ පෝෂ්‍යදායී ආහාර අපේ රටේ කොතෙකුත් ඇති බවත් මේ වෙසක් මාසය තුළ සතුන්ට අභය දානය දීමේ චේතනාවෙන් මස් මාංශ කෑමෙන් වැළකී සිටීමෙන් මහානිසංස අත්වන බවත් 'ආලෝකෝ උදපාදී' වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මීගහවෙල සුමනශාන්ත හිමියෝ පැවසූහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ මස් හෝ මාළු ලබා ගන්නට නම් සතුන් මරණයට පත් කළ යුතුයි. දිනකට මේ රටේ ලක්ෂ ගණනින් මසකට කෝටි ගණනින් සතුන් ඝාතනය කරන්නේ වළදන, අනුභව කරන අය නිසයි.

නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සත්වයෝ සුවපත් වේවා යනුවෙන්. එසේම මස්මාංශ වෙළඳාම නොකළ යුතුයි කියලා උන්වහන්සේ තහනම් නීතියකුත් පනවලා තිබෙනවා. පංචශීලයෙහි පළමුවැනි සිල්පදයෙනුත් කියවෙන්නේ ප්‍රාණඝාතය නො කරනු කියලයි.

මේ ආකාරයට උන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සතුන් මැරීම පමණක් නොවෙයි සතුන් මැරීමට අනුබල දීමත් පාපයක් බවයි. එසේම මස් මාංශ අනුභවය ශරීර සෞඛ්‍යයටත් අහිතකරයි. මස් මාංශ අනුභවයෙන් ලේ විෂ වීමත්, මේදය වැඩිවීමත් හේතුකොට ගෙන හෘදයාබාධ වැනි විපත් බලපෑමෙන් ඇතැම්විට අදකාලේ ජීවිත හානි පවා සිදුවිය හැකියි.

මස්මාංශ නොකෑවාට හෙරලි, පොලොස්, දඹල, සෝයා, කුරහන්, උදු, මං, පලා වර්ග වැනි පෝෂ්‍යදායක නිර්මාංශ ආහාර ගැනීමෙන් නීරෝගී ජීවිතයක් මෙන්ම දීර්ඝායු ලබාගන්නත් පුළුවන්.

Home