Home
2013 අප්‍රේල් මස 17 වැනිදා බදාදා
ලෝවැඩ සඟරාව

ලෝවැඩ සඟරාව

දැහැමින් මියයන්න

අදමින් ජීවත් වෙනවා විතර ට
දැහැමින් මිය යනු සොඳමයි දනහ ට
මෙලෙසින් වදහළ මුනිබණ සිහිකො ට
සැබැවින් පින්කොට පැමිණෙව් නිවන ට

අධාර්මිකව ජීවත්වීමට වඩා ධාර්මිකව මැරීයාම ජනයාහට හොඳමැයි. මෙලෙසින් වදාළ වු බුදුබණ සිහි කොට සැබැවින් පින් කොට නිවනට පැමිණෙවු.

ණයට ගත් දෙයක් වැනි සැපය

පිරුළෙන් අරගත් අබරණ මඟුල ට
දමමින් ගැතිවන අයමෙන් අනූන ට
පෙරපින් ඇති තෙක් විඳිනා සැපත ට
තෙපි දැන් උඩඟුව නොවදිව් නිරය ට

මඩ්ගලය සඳහා ණයට ගත් ආභරණයක් පැලඳ ගනිමින් අනුන්ට දාසවන අය මෙන් පෙර කළා වූ පින් ඇති තෙක් විඳින සැපත ගැන දැන් තෙපි උඩඟු වී නිරයට නොයව්.

සැපතට නොරැවටෙන්න

වද යට බැඳගන ගෙන යන සොරු ටා
වද මල් දම් ලූ බෙර පිරිවර ටා
ලද ඉසුරෙහි ලොබ වූවොත් පින ටා
එද සැපතෙහි කළකම් මරු රව ටා

මැරීම පිණිස බැඳ ගෙන යන්නා වූ සොරුට පිරිවර වශයෙන් දමන ලද වධ හඳුන්වන මල්දම්වලටද වද බෙර වලට ද සමානව ලබන ලද ඓශ්චර්්‍යයෙහි පින් කිරීමට ලොභ වූවොත් එය ද සම්පත්තියෙහි ක්ලේශ මාරයාගේ රැවටීමෙන් කරන ලද කර්මයෙකි.

තණසුළක් වැනි සැපය

උඩුසුළඟට අල්වා ගෙන යන්නේ
තණසුළ නොදැමී නම් අත දන්නේ
වරපයි යයි කම්රස තෙප ලන්නේ
එද කළ කම් නිරයේ පැස වන්නේ

තණසුළක් සුළඟ හමා එන පැත්තට අල්වාගෙන යන තැනැත්තේ එය ඉවත නොදැමී නම් අත දන්නේය. එමෙන්ම පස් කම්රස උතුම් පලයක් යයි අඥයා කියන්නේය. එහෙත් ඒ පස්කම් රස විඳීමෙහි කරන ලද කර්මය නිරයෙහි පැසවන්නේය.

Home